61 ක් ආරක්‍ෂිත ස්ථානවලට යවයි – වරාදොළවත්ත නාය යයි

1195

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අකංඩ ග්‍රාම නිලධාරි වසමෙහි වරාදොලවත්ත වතු නිවාස ආශ්‍රිත ප්‍රදේශය පෙරේදා (13 දා) උදෑසන නාය යෑමක් වාර්තා විය. මෙම ප්‍රදේශයේ නාය සක්‍රීය වීමට පෙර නායයෑම් ලක්‍ෂණ හඳුනාගැනීම නිසා වරාදොලවත්ත වතු නිවාස 21 ක පුද්ගලයන් 61 ක් ආරක්‍ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරනු ලැබීය.

අවදානම් නිවාසවල ජීවත් වූ පිරිස් ඉවත් කිරීමත් සමග සක්‍රීය වූ නාය හේතුවෙන් නිවාස සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති අතර විමලිසිමත්කම සහ නිසි සම්බන්ධීකරණය තුළින් මෙම නිවාසවල ජීවත් වූ පිරිස ඉවත් කිරීමට කටයුතු කිරීම නිසා සිදුවීමට තිබූ හානි අවම කර ගැනීමටත් නිවාසවල ජීවත් වූ පුද්ගලයන්ගේ ජීවිත ආරක්‍ෂාකර ගැනීමටත් හැකි විය.

හඳුනාගත් අවදානම් නිවාසවල ජීවත් වූ පිරිස තාවකාලිකව වරාදොලවත්ත සිංහල විද්‍යාලයේ ස්ථාපිත කර ඇති සුරක්‍ෂිත මධ්‍යස්ථානයට යොමු කිරීමට මොනරාගල ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු කරන ලදි. මෙම පිරිසට අවශ්‍ය ආහාර සහ අනෙකුත් සනීපාරක්‍ෂක පහසුකම් මොනරාගල දිස්ත්‍රික් ලේකම්ගේ අධීක්‍ෂණය යටතේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් සපයා දෙනු ලැබේ.

නාය යෑම් හෝ ආපදා අවදානම් ප්‍රදේශයක ජීවත් වන්නේ නම් පරිසරයේ ඇතිවන මෙවැනි වෙනස්කම් පිළිබඳව නිරන්තර අවදානය යොමු කිරීම සහ ඒ පිළිබඳව තාක්‍ෂණික ආයතන දැනුවත් කිරීම තුළින් සිදුවිය හැකි අනතුරු වළකාගත හැක. එබැවින් කිසියම් වූ ආපදා අවදානම් තත්ත්වයක් පිළිබඳ නිරීක්‍ෂණය වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථනයට දැනුවත් කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment