ටියුෂන් ගුරු ගෝරිය: ලක්ෂ 40ක් ගන්න ගුරු දොස්තර උස්සලා

738

සැකකාර ගුරා අල්ලයි

රට යවන්න ගත්ත මුදලක් ගැටුමට මුලලු

රුපියල් ලක්‍ෂ හතළිහක මුදලක් ලබා ගැනීම සඳහා බදුල්ල ප්‍රදේශයේ රෝහලක සේවය කළ විශේෂඥ වෛද්‍යවරයකු පැහැරගෙන ගොස් මීටියාගොඩ ප්‍රදේශයේ නිවසක දින දෙකහමාරක් සඟවාගෙන සිටි උපකාරක පන්ති ගුරුවරයකු හික්කඩුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන විශේෂඥ වෛද්‍යවරයා බේරාගෙන ඇත.

විශේෂඥ වෛද්‍යවරයා පැහැරගෙන ඇත්තේ ඔහුගේ මිතුරකු වූ උපකාරක පන්ති ගුරුවරයෙකු යැයි පොලිසිය කියයි. උපකාරක පන්ති ගුරුවරයා සහ විශේෂඥ වෛද්‍යවරයා කාලයක සිට උපකාරක පන්ති පවත්වමින් සිටි මිතුරන් බව ද විමර්ශනවලදී හෙළිවී ඇත.

විශේෂඥ වෛද්‍යවරයා විසින් උපකාරක පන්ති මිතුරා ඔස්ට්‍රේලියාවට යැවීම සඳහා රුපියල් ලක්‍ෂ 40ක මුදලක් ඉල්ලාගෙන එය නොදී සිටීම නිසා එම මුදල් ලබා ගැනීමට විශේෂඥ වෛද්‍යවරයා රැගෙන ගිය බව පොලිස් විමර්ශනයේදී සැකකරු ප්‍රකාශ කළේ යැයි හික්කඩුව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ගත් ලක්‍ෂ 40ක මුදල ආපසු ලබාදෙන බවට විශේෂඥ වෛද්‍යවරයා සාමදාන විනිශ්චයකාරවරයකු මගින් එකඟතාවකට පැමිණි බව උපකාරක පන්ති ගුරුවරයා පොලිසියට කියා ඇත. නමුත් ඊට අදාළ කිසිදු ලියවිල්ලක් පොලිසිය වෙත ඔහු ඉදිරිපත් කර නැතැයි ද පොලිසිය කියයි.

දැනට වෛද්‍යවරයා ද වෛද්‍ය වෘත්තියේ නියැළෙමින් නොසිටින බවත් ඔහු ද උපකාරක පන්ති පවත්වන බවත් විමර්ශනවලදී හෙළිවී තිබෙන බව පොලිස් නිලධාරියෙක් කීය. පසුගිය 05 වැනිදා වෛද්‍යවරයා උපකාරක පන්තියක් අවසන් කර බදුල්ලට යෑම සඳහා බස් රථ නැවතුම් පළක රැඳී සිටියදී උපකාරක පන්ති ගුරුවරයා ඔහුට අයත් මෝටර් රථයෙන් පැමිණ වෛද්‍යවරයා මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයාගේ නිවසට රැගෙන ගොස් ලක්‍ෂ 40ක මුදල ඉල්ලා ඇත.

එම මුදල මිතුරකුගෙන් හෝ කුමන අයකුගෙන් හෝ තමාට ලබා දෙන්නේ නම් මුදාහරින බවට ප්‍රකාශ කිරීමෙන් පසු වෛද්‍යවරයා තමාගේ මිතුරකුගෙන් මුදල් ඉල්ලා ඇමතුමක් ලබාදී ඇත. එම මිතුරා විසින් වෛද්‍යවරයා කිසියම් අපහසුතාවකට ලක්ව දුරකථන ඇමතුම ලබාදී ඇති බව වටහාගෙන ඒ සම්බන්ධයෙන් පොලිස් සහන මැදිරියට දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ සහන මැදිරියේ නිලධාරීන් දුරකථන අංකය ලැබුණු ප්‍රදේශය ජී.පී.එස්. තාක්‍ෂණය ඔස්සේ හඳුනාගෙන වෛද්‍යවරයා සිටින ස්ථානය පිළිබඳව හික්කඩුව පොලිසියට දැනුම්දී ඔහු බේරාගන්නා ලෙසට දැනුම්දී ඇත. ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයා මුදාගත් බව ද එම නිලධාරියා කීය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත, ගාල්ල කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති කුමාරසිරි යන මහත්වරුන්ගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ, හික්කඩුව කලාප භාර සහකාර පොලිස් අධිකාරි සමරසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් හික්කඩුව පොලිස් ස්ථානාධිපති ලලිත් සඳසිරි මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රභාත් ගුණරත්න, උ.පො.ප. වරුන් වන මෙන්ඩිස්, විතානාරච්චි, පොලිස් සැරයන් (24646) වික්‍රමරත්න, පොලිස් කොස්තාපල් (36132) තිළිණ යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ. සැකකරු ඊයේ (8 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇප හිමි විය.

චමින්ද සිල්වා, අහංගම-සුගතපාල දීයගහගේ, වංචාවල-ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment