පොදුරද මඩුලු ක්‍රීඩා මංගල්‍යය විචිත්‍රවත් ලෙස නිමා වේ

224

සමස්ත ශූරතාවය ඔස්‌ට්‍රේලියාවට
අනුශූරතාවය සත්කාරක එංගලන්තයට
ශ්‍රී ලංකාව 31 වෙනි ස්ථානයට

වරෙක අහස උසට නැඟි ගිනි කෙළි දසුනින් ද, තවත් විටෙක විචිත්‍රවත් නැටුමෙන්, ගැයුමෙන් සහ රැඟුමෙන් ද පෙරේදා දින (08 දා) අඩුවක් නොමැති වූ එංගලන්තයේ බර්මින්හැම් හි ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණය 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙතෙකින් නිමි යැයි පණිවිඩය ලෝකය ඉදිරියේ තැබීය.

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 72 ක් නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික පිරිසකගේ දස්කම් විස්කම් මැන බලමින් පැවති මෙම තරගාවලිය පුරා දින 11 ක් මුළුල්ලේ බර්මින්හැම් නුවරදී පැවැත්විණි.

රන් පදක්කම් 67 ක්, රිදී පදක්කම් 57 ක් සහ ලෝකඩ පදක්කම් 54ක් සමගින් මෙවර තරගාවලියේ දී සමස්ත පදක්කම් 178ක් ජයග්‍රහණය කළ ඔස්‌ට්‍රේලියාව 22 වෙනි පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් විය.

රන් පදක්කම් 58ක්, රිදී පදක්කම් 66ක්, ලෝකඩ පදක්කම් 53 ක් සමගින් සමස්ත පදක්කම් 176ක් ජයග්‍රහණය කළ සත්කාරක එංගලන්ත කණ්ඩායමට එහි අනුශූරතාව හිමිවිය.

කැනඩාව තුන්වන ස්ථානයත්, ඉන්දියාව හතරවන ස්ථානයත්, නවසීලන්තය පස්වැනි ස්ථානත් දිනා ගැනීමට සමත් විය.

රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ 31 වෙනි ස්ථානය හිමිකර ගත්තේය.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 50 දෙනකු සහ ක්‍රීඩිකාවන් 60 දෙනකු සහභාගි වූහ. එහිදී මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වූ අතර පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත්විය. බර එසවීමේ ඉසව්වෙන් ඩිලංක ඉසුරු ලෝකඩ පදක්කමක් සහ මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නෙත්මි අහිංසා සමත්විය.

සිංගප්පූරු ජාතික ක්‍රීඩිකාව ෆෙන් ටියාන්වෙයි මෙවර තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩිකාව සම්මානය දිනාගත්තාය. මේස පන්දු ක්‍රීඩාවෙන් මෙවර දිනාගත් රන් පදක්කම් 3ත් සමගින් රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් ඇතුළුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගවලදී සමස්ත පදක්කම් 13ක් ඇය ජයග්‍රහණය කර ඇත.

තරගාවලියේ සමාප්ති උළෙල සඳහා පැමිණ සිටි ආරාධිත අමුත්තන් අතර එංගලන්ත රජ පවුල නියෝජනය කරමින් එඩ්වඩ් කුමරු ද සහභාගි වී සිටීම කැපී පෙනුණි.

advertistmentadvertistment
advertistmentadvertistment