ළදරු පෝෂණය අනුව රටේ මානව සම්පත තීරණය වෙනවා – සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ (ශ්‍රීලපොපෙ)

235

මන්දපෝෂණය දුරු කිරීමට සියලු දෙනා එක්විය යුතුයි
මහින්දානන්ද අලුත්ගමගේ (ශ්‍රීලපොපෙ)
ළමා සෞඛ්‍යය මේ තරමින් හෝ රැකී ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ කැප කිරීම නිසයි

රෝහිණී කුමාරි කවිරත්න (සජබ)

මේ වන විට වතුකරයෙන් සහ යාපනයෙන් මෙරට වැඩිම මන්දපෝෂණ තත්ත්වය වාර්තා වන බවත් මෙම තත්ත්වය දුරු කිරීම සඳහා පක්ෂ විපක්ෂ බාධාවකින් තොරව සියළු දෙනා එක්ව යුතුව ඇතැයි හිටපු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමේන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (06) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ.

ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, පක්ෂ නායකයන් විසින් 27(2) යටතේ සිදු කරන විශේෂ ප්‍රකාශ සිදු කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව මේ වන විට වාර්තා වී ඇති මෙරට දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ දිනට නියමිත වූ කල්තැබීමේ විවාදය ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින්, මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය (සජබ)

මන්දපෝෂණය තියෙන දරුවන් ගැන විශේෂ අවධානය යොම කළ යුතුයි. රාජපක්‍ෂ පාලන කාලයේදී ගැඹිනි මව්වරුන්ගේ පෝෂණ මල්ල කපා දැම්මා.

අද වන විට පෝෂ්‍යදායි ආහාර වේලකට යන වියදම අධික වෙලා. පාසැල් දරුවන්ට දිවා ආහාරවේල දුන්නා අද එය දීමට නොහැකි වෙලා. එක් දරුවෙකුට දවසකට රුපියල් 60යි වෙන් කර තියෙන්නේ බිත්තරයක්ම රුපියල් 60 යි. එහෙනම් පෝෂණ වේල අසාර්ථකයි.

කොවිඩ්වලින් පසුව එක රැයින් පෝෂණ ප්‍රතිපත්තිය ආවා ඒ නිසා පොහොර නැතිවී වගාවන් විනාශ වුණා. ආර්ථික අහේනියක් ආවා. අද ත්‍රිපෝෂ හදන්න අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය ලංකාවේ නැහැ.

අද මේ තරම්න්වත් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය රැකී තිබෙන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ කැපවීම නිසයි.

අඩු ආදායම්ලාභීන් 61000කට රුපියල් දහදාහක් දෙනවාලු. ග්‍රාම නිලධාරි කොට්ඨාස ගනනින් ගත්තාම එක කොට්ඨාසයකට පවුල් 4යි වැටෙන්නේ. මේ නිසා පවුල් තේරීම කරන්නේ කොහොමද. නිසි ක්‍රමවේදයක් තෝරා ගන්න.

බිඳ වැටුණු සැපයුම් ජාලය යළි පණවගන්වන රජය අසමත් වෙලා. ගොවියාට කුඹුරු වැඩට ඉන්ධන අවශ්‍යයි. කෘෂිකර්මයට පමණක් ඩීසල් නැවක් ඕනවෙයි. මේ කන්නයට අවශ්‍ය තෙල් දෙන්න පුළුවන්ද.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනි තලතා අතුකෝරල (සජබ) – යෝජනාව ස්ථීර කරනවා.

දරුවන්ගේ පෝෂණය තුළින් තමයි වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය තීරණය වන්නේ.

ත්‍රිපෝෂ දීමනාව කඩා වැටිලා. බඩඉරිඟු දේශීයව සපයා ගන්න බැරිවෙලා. ආනයනය කරන්නත් බැහැ. ඉඩඉරිඟු වෙනුවට හාල්පිටි දාලා ත්‍රිපෝෂ හදන්න නියාමක ව්‍යාපෘතියක් ආරම්භ කරලා. මෙහෙම කරන්න පුළුවන්ද.

අද දරු පරම්පරාව තව අවුරුදු පහළවකින් තරුණ පරම්පරාවෙ වැඩිහිටියො. ඔවුන් දුර්වල පුද්ගලයන් වීම සිදුවෙනවා. වරායවල් ගුවන්තොටුපළවල් හදනවා. ඇමැතිවරු පත්කරනවා වරප්‍රසාද ගැන නොවෙයි බරපතළ ප්‍රශ්නයක් වුණු දරුවන්ගේ පෝෂණය ගැන බලන්න.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි සිසිර ජයකොඩි – අඩුබර උපත් ප්‍රමාණය අඩු කරන්න අපේ සෞඛ්‍ය අංශයට හැකි වුණා. විපක්‍ෂය කතා කරන්නේ පරණ වාර්තා උපුටාගෙනයි. 2016 සෞඛ්‍ය ලේකම්ගේ ප්‍රකාශය බලන්න. යුනිසෙෆ් ප්‍රකාශ අසත්‍ය බව ලේකම් සඳහන් කර තිබෙනවා.

කොවිඩ් වසංගත කාලයේත් රට වහන්න කියලා විපක්‍ෂය බල කළා. අභියෝගය ජය ගන්න ආණ්ඩුවට හැකි වුණා. රට වහපු නිසා ආර්ථික තත්ත්වය අඩාළ වුණා. දේශීයත්වය ගැන දැනුම ඇතිකර ගන්න.

අපේ රටේ ගහකොළවල උපරිම පේෂණය තියෙනවා. හැම දරුවෙකුට අනුමත කැඳ කෝප්පයක් දෙන්න කියන්න. මුරුංගා පානයෙ අධිපෝෂණය තියෙනවා. පලා වර්ගවල අලවර්ගවල හොඳ පෝෂණයක් තියෙනවා. ඒගැන කතා කරන්න.

මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රි ගයාශාන් නවනන්ද (ශ්‍රීලපොප) – මේ රටේ මේවනතුරු අඩු ආදායම් පවුල්වලට ආහාර දීමේ හෝ කිසිම සැලැස්මක් නෑ. දැන් අමාත්‍යාංශය විසින් එන්න පුළුවන් අවදානමකට මුහුණ දෙන්න අවශ්‍ය සැලසුම් හදනවා.

මේ වෙලාවේ ආර්ථික ප්‍රශ්න තියෙද්දී මූලිකවම සෞඛ්‍යට අවශ්‍ය මුදල් ඉල්ලනවා. මෙහිදී ළමුන් ගැන ප්‍රමුඛතාව ලබා දෙනවා. අනාගතයේ ප්‍රශ්න එන්න තියෙන ඉඩ වළක්වමු. අද තියෙන මන්දපෝෂණය ගිය ආණ්ඩුව කාලයේ අඩුපාඩු නිසා ඇති වූවක්.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම (සජබ) – දරුවන් මෙන්ම මව්වරුන්ගේ මන්දපෝෂණය ගැනත් සිතා බැලිය යුතුයි. ආර්ථික අර්බුදය මේ හැම ප්‍රශ්නයකටම බලපා තිබෙනවා. යුනිසෙෆ් සංගණනයන් අනුව ආහාර වේල් ගණන අඩුවෙලා. මන්දපෝෂණය

ගැන සිතා යහපාලන ආණ්ඩුව පෝෂණ මල්ලක් දුන්නා. සමෘද්ධි දීමනා වැඩි කළා. 2016 – 20 අතර කාලය තුළ දරුවන්ගේ උපත් බර හොඳ මට්ටමක තිබූ බව වාර්තා වුණා.

මේ ව්‍යසන සමයේ දරුවන්ගේ පෝෂණය ගැන නොසිතා කටයුතු කළහොත් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් ඇති කරන්න බැරිවෙනවා.

මේ වනවිට ගැබිනි මව්වරුන්ට දීමනාව ලබාදීම නවත්වලා. අලුතෙන් කාටවත් දෙන්නේ නැහැ. මව්වරුන්ට පමණයි ත්‍රිපෝෂ දෙන්නෙ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අනුප පැස්කුවල් (ශ්‍රිලංපොප) – මන:කල්පිත දත්ත මත කතා කළොත් ප්‍රශ්නය නිවැරදිව කතා කරන්න බැහැ. 2001 වසරේ සියයට 29.7ක් අඩුබර උපත් වාර්තාවුණා. 2018 දී සියයට 14.00යි 2020 සියයට 13යි. මන්දපෝෂණය අඩු වුණේ ආහාරවේල වෙනස් වූ නිසයි. කොළ කැඳවර්ග, කොස්, අලවර්ග කන්න පටන් ගත්ත නිසා මන්දපෝෂණය අඩුවුණා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – දරුවන්ට ගර්භණී මව්වරුන්ට ඉතා අවදානම් කාලයක් අද ගතවන්නේ. 2021 දී සියලු දුර්වලතා අඩු වුණා. ඒත් දැන් යළි අවදානමක් මතුවෙලා. ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ අද ප්‍රශ්නයක් ඇතිවෙලා. උද්ධමනය වේගවත්ව ඉහළ යෑම නිසා ආහාර ප්‍රශ්නය ඇතිව තිබෙන්නේ. සියයට 10ක් දරිද්‍රතාවයෙන් පෙළනවා. ඉන් සියයට 80ක් ග්‍රාමීය ප්‍රදේශවලයි.

දරුවන්ගේ පළමු අවුරුදු තුන ඉතා වැදගත්. ඒ කාලයේ පෝෂණය අනුවයි රටේ මානව සම්පත තීරණය වන්නේ. දැන් තත්ත්වය උග්‍රයි. ආහාර මිල අධිකයි. ආදායම් අහිමිවෙලා. පවුල් ආහාර ගන්න ප්‍රමාණය වේල් ගණන අඩුවෙලා. මස් මාළු බිත්තර ගැනීම අඩුවෙලා. මේ ගැන හැමෝගෙම ක්‍ෂණිකව මැදිහත්වීම අත්‍යවශ්‍යයි. දේශපාලනය සම්බන්ධ කරගන්න එපා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි හර්ෂණ රාජකරුණා (සජබ) – අනාගත පරම්පරාව අබාධිත නොවන නිරෝගී පරපුරක් කරගත යුතුයි. එහෙත් අද දරු පරපුර ගැන ලොකු අවදනාමක් ඇවිත්. ආහාර උද්ධමනය විශාල ලෙස ඉහළ ගිහින්.

ඉන්ධන, ජල බිල, විදුලි බදු වැඩිවීම හැමෝටම බලපාලා. අඩු ආදායම්ලාභීන්ට තදින්ම බලපානවා. ජීවන වියදම ජනතාවට දරා ගන්න බැහැ. සමබල ආහාර වේලක් ගන්න බැරි වාතාවරණයක් ඇතිවෙලා. වතුකරයේ ජනතාව අන්ත අසරණ වෙලා. මේ රට බංකොලොත් කිරීමට කටයුතු කළ අයට එරෙහිව වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ – මේ විවාදයේ අරමුණ හොඳනැහැ. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිගේ තීන්දු නිසා මේ තත්ත්වය ඇතිවුණා කියලා විපක්‍ෂය කියනවා. අමාත්‍යාංශ දත්ත අනුව ගත්තොත් මේ ගැන විපක්‍ෂය කතා කරන්නේ නැහැ. අවුරුදු 5ට අඩු දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා නම් ඉන් මුදා ගැනීමට කළ යුතු දේ කතා කළ යුතුයි. හැම දේම දේශපාලන කෝණයෙන් කතා නොකළ යුතුයි. කොවිඩ් වසංගතය, යුක්රේන් යුද්ධය නිසා ලෝකයේ රටවල්වලට අවදානමක් මතුවේවි. වතුකරයේ ජනතාවට අර්බුදය දරුණුවට බලපානවා.

රසායනික පොහොර තහනම් කිරීමට තීන්දුව ගද්දි මම විරුද්ධ වුණා. ජනාධිපති කිව්වා කාර්යසාධක බලකාය හා පොහොර අමාත්‍යාංශය ක්‍රියා කරයි කිව්වා. අවසානයේ මටයි මේ හැම දේටම වගකියන්න වුණේ. චීන අසුචී නැවට මම වගකියන්නේ නැහැ. කිසිම නැවක් ටෙන්ඩර් හෝ කිසිදේකට කෘෂිකර්ම ඇමැති ලෙස මගේ මැදිහත්වීමක් නැහැ. ඔය නැවට කිසිම

වැරැද්දක් සිදුවී නැහැ

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි වෛද්‍ය තිලක් රාජපක්‍ෂ (ශ්‍රිලංපොප) – අපට පාර්ලිමේන්තුවේ කතා කරන්නවත් අයිතියක් නැතිවෙලා. පොදුජන පෙරමුණ කණ්ඩායම් 4කට කැඩිලා. එක එක කාණ්ඩායමට විවිධ වෙන් කිරීම්.

එන්නත්කරණයෙන් ලංකාව ඉදිරියෙන්ම ඉන්නවා. ඒ සඳහා නිලධාරීන් විශාල කැපකිරීමක් කරනවා. මාතෘ මරණ ළදරු මරණ දර්ශක දියුණු රටවලට වඩා අපේ හොඳයි. ප්‍රජා සත්කාර සේවය අපි හොඳින් කළා.

පත් කළ මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණ (ශ්‍රීලපොපෙ) – මන්දපෝෂණයෙන් පෙළෙන අයට ඉන් මිදීමට ක්‍ෂණික මැදිහත්වීමක් ලබා දිය යුතුයි. කාර්ය සාධක බලකායක් හදලා එමගින් ඒ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි.

සෑහෙන පවුල් ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවට අහුවෙලා මන්දපෝෂණ තත්ත්වයට පත්වෙලා. ඊට විසඳුම් අවශ්‍යයි. ආදායම් වැඩිකරන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි.

අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් මට්ටම වැඩි කළ යුතුයි. ගොවි ජනතාවගේ නිෂ්පාදනවලට නිසි මිලක් නැහැ. සමුපකාර ක්‍රමය වහා ක්‍රියාත්මක කර

පාරිභෝගිකයන් නිෂ්පාදකයන් ගසාකෑමට ලක්වීම වැළැක්විය යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන (සජබ) – අද රෝහල්වල ඖෂධ සහ සේලයින්වත් නැහැ. ජනතාව අසරණයි. ආණ්ඩුව බොරු කියමින් යනවා. අර්බුදයට විසඳුම් නැහැ. වහාම විසඳුම් දෙන්න.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් (ශ්‍රීලනිප) – මන්දපෝෂණ තත්ත්වයන් නැති කිරීමට යම් යම් ආණ්ඩු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. පෝෂණ තත්ත්වය වැඩි කිරීමට දේශීය ආහාර වට්ටෝරු පවතිනවා. ඒවා ඉතාම හොඳයි දරුවන්ටත් වැඩිහිටියන්ටත්.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ (සජබ) – මේ රටේ දූෂිත දේශපාලනය තමන්ගේ සාක්කුව පුරවා ගන්න උත්සාහ කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජය පුපුරා ගියා. රනිල් වික්‍රමසිංහ මහතා සැබෑ දෙයක් කරනවා නම් විශාල වැඩ ටිකක් කළ යුතුයි. රට වැටුණු තත්ත්වයට විපක්‍ෂයත් වගකිව යුතුයි. විපක්‍ෂය නිද්‍රාශීලී වූ විට ආණ්ඩුව තමන්ට ඕන විදිහට කරගෙන යනවා.

විපක්‍ෂ නායකවරයා ඖෂධ ලබාදීමට කටයුතු කරනවා. පාසල්වලට පරිගණක දීමට කටයුතු කරනවා. විපක්‍ෂය වැඩ කරනවිට ආණ්ඩුවට රට වෙනුවෙන් වැඩ කරන්න බැරි ඇයි. රනිල් ජනපතිවරයාට පහුගිය වැඩ ටිකම කරගෙන යා යුතු නැහැ. නිවැරැදි වැඩපිළිවෙළක් අවශ්‍යයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතාන (ශ්‍රීලපොපෙ) – අපේ රටේ මන්දපෝෂණයක් තියෙනවා. සහලින් ස්වයං පෝෂිත කිව්වත් පෙරදිග ධාන්‍යාගාරය කිව්වත් මන්දපෝෂණයෙන් පෙළෙන පිරිසක් රටේ ඉන්නවා. රටේ ජාතික ප්‍රතිපත්තියක් නැහැ. බහුජාතික සමාගම් තමයි ප්‍රතිපත්ති හදන්නේ. කෙටි ආහාර රස කාරක නිසා තමයි දරුවන්ගේ ශරීරය දුර්වල වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් නිහඬයි. අපේ රටේ සෞඛ්‍ය නිලධාරීන් රෝහල් පද්ධතිය හොඳ තැනක තියෙන්නේ. මන්දපෝෂණය ලොව රටවල්වලින් 141 තැන ලංකාව. බොරු වාර්තා විපක්‍ෂය ඉදිරිපත් කරනවා.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස (ශ්‍රීලපොපෙ) – අපට නිවැරැදි ගමනක් යන්න තිබුණා. විවෘත ආර්ථිකය තමයි ඒ ගමන නැවැත්වූයේ. විපක්‍ෂයත් රටේ ජනතාවගෙන් සමාව ගත යුතුයි. දැන් ආණ්ඩුව විතරක් නොවෙයි විපක්‍ෂයත් රටට වැරදි කළා. පාලකයෝ ඉතිහාසයේ ඉඳලා රට වළට ඇදලා දාලා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි (සජබ) – යුනිසෙෆ් එක දෙන වාර්තා බොරු කියලා කියනවා. මන්දපෝෂණය ගැන නොවෙයි කතා කරන්නේ තමන්ගේ ඇමැතිකම් හෝ වරප්‍රසාද ටික ගැන. ජනාධිපති සමග ජනතාවගේ ජීවත්වීමට අවශ්‍ය වැඩපිළිවෙළක් කතා කරන්නේ නැහැ.

රටේ වියදම් කපල හිස් කොලයක් ලෙස වැඩ කරන්න බැහැ. ගැබිනි මවට පෝෂණය අවශ්‍යයි. දරුවා නිරෝගීව වැඩෙන්නේ මව නිසයි. සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් බිහිවන්නෙ එවිටයි. දුර්වල පුරවැසියන් බිහි වුවොත් අනාගතයේ රට ඉවරයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් (සජබ) – වාර්තාවලට අනුව වැඩි ප්‍රමාණයක් කෑම රටාව වෙනස් කරලා. අද වනවිට පරිප්පු ඇතුළු ආහාර වර්ගවල මිල දෙගුණ තෙගුණ වෙලා. ජනතාවට ජීවත් වෙන්න විදිහයක් නැහැ.

ගෝඨාභය පාලනය තුළ රට විනාශයට ගෙන ගියා. තෙල්, ගෑස්, අර්බුද ඇති කළා. එක වේලක් කන තැනට පත් කළා. එහෙම කරලා රටින් ගිය ගෝඨාභය රාජපක්‍ෂ යළිත් ඇවිත් රජයේ නිවසක ඉන්නවා. ඔහු තවත් බරක් වෙලා වහාම හම්බන්තොටට යන්න. තවත් බර ජනතාවට පටවන්න එපා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න – අද අපේ රට සෞඛ්‍ය වගේම අධ්‍යාපන දර්ශක මගින් ඉදිරියෙන් ඉන්නවා. ඊට අදාළ නිලධාරීන්ට ගෞරව කළ යුතුයි. ඒ දර්ශක 2009 තිබුණට වඩා අද වනවිට හොඳ තත්ත්වයට ඇවිත්.

2020, 21 අවුරුදු කොවිඩ් වසංගතයෙන් වැඩි ගැටලු ඇති වුණත් හොඳ දර්ශක මට්ටමක් පවත්වාගන්න පුළුවන් වුණා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය චන්න ජයසුමන – රටපුරා ලැබෙන තොරතුරු අනුව රෝහල්වලට එන දරුවන්ගේ පෝෂණයේ අඩුවක් දකිනවා. ඒවගේම දරුවන්ගේ බර අඩුවක් තියෙනවා. මේ ගැන වහාම අවධානය යොමු කළ යුතුයි. දරුවන් කුඩා කල දුර්වල වුණොත් බුද්ධි හීනතාවක් ලොකුවෙනවිට ඇතිවිය හැකියි. සභාව අවධානය යොමු කරන්න.

දුෂ්කර පළාත්වල ජනතාව සමග කතා කළහම තුන්වේල කන පිරිස අඩුවෙලා. ආහාර වේලක ගුණාත්මක බවත් අඩුයි. සමබල ආහාර වේල වෙනස් වෙලා. රටේ පාසල් දරුවන්ගේ වැඩි පිරිසකට සමබල ආහාර වේලක් ලැබෙනවා කියා හිතන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය වහා මැදිහත් විය යුතුයි.

ග්‍රාමීය පාසල් තෝරාගෙන එක වේලක්වත් පෝෂණයකින් යුතුව ලබා දීමට එක්වන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලනවා.

ආහාර සුරක්‍ෂිතතාව නැති පවුල් බැලීමේදී පුද්ගලයන් ලක්‍ෂ 61ක් වත් රටේ ඉන්නවා. ඒ ගැන වහා පිළියම් යෙදිය යුතුයි.
පාර්ලිමේන්තුව යළි අද (07) පෙරවරු 9.30ට යළි
රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment