පාපන්දු නංවන්න සහාය දෙන බවට ජනපති කියයි

67

පාපන්දු ක්‍රීඩාව නැංවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අතර හමුවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවති අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය.

කොළඹ තුරඟ තරග පිටියේ පැවති සිව්කොන් පාපන්දු තරගාවලියේ භූතානයට එරෙහි තරගයේදී වසර 11කට පසු විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වූ අතර එම ජයග්‍රහණය අගය කළ ජනාධිපතිවරයා පාපන්දු කණ්ඩායමට සුබපැතුම් පිරිනැමීමට ද කටයුතු කළේය. ලබන වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ශූරතා පාපන්දු තරගාවලිය (සාෆ්) ජයග්‍රහණය කිරීම සඳහා පාපන්දු කණ්ඩායම දිරිමත් කිරීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කළේය.

ක්‍රීඩකයන් සමඟ ද එහිදී සුහද කථාබහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන් සමග සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි මොරිසන් මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment