අද්භූත රෝගයට ප්‍රතිකාර ගන්න දේවාලයට ගිය දැරියට කපුවා අතවර කරලා

1031

රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට නිට්ටඹුව ප්‍රදේශයේ සිට, සිය මව සමග කොකාවැව ප්‍රදේශයේ දේවාලයකට පැමිණි පාසල් සිසුවියකට ලිංගික අතවරයක් සිදු කළ බවට සැක කෙරෙන කපුවෙකු ඊයේ (12 දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොකාවැව පොලිස් වසමේ අලුත් දිවුල්වැව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි.

නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේ දැරියකට අද්භූත බලවේගයක් වැළඳී ඇතැයි පවසමින්, එම දැරිය මව සමග සාත්තුවක් කර ගැනීමට මෙම දේවාලයට පැමිණ සිටියදී මෙලෙස අතවරයට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

දැරියට වැළඳී ඇති අද්භූත බලවේග ඉවත් කිරීම සඳහා සාත්තුවට අවශ්‍ය වැඩකටයුතු සූදානම් කර, දැරිය සහ මව දේවාලය තුළට කැඳවා යාතිකා කරමින් සිටියදී කපුවා විසින් මවට එළියට යන ලෙස පවසා ඇතැයි පොලිසිය කියයි.

පසුව සැකකාර කපුවා මායම් වී ‘කඩවර දෙවියන් පැමිණ ඇති බව’ පවසමින් දැරියට ඇඳුම් ගලවා දමන ලෙසට පවසා ඇති අතර, දැරිය එයට විරුද්ධ වූ පසු සැකකාර කපුවා කිහිප වතාවක්ම ‘කඩවර දෙවියන් පැමිණ ඇති බව’ පවසමින් ලිංගික අතවර සිදු කර ඇති බව පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාර කපුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මේ සම්බන්ධයෙන් දැරිය නිවෙසට ගොස් මවට පැවසීමෙන් පසු, මව නිට්ටඹුව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව, එම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොකාවැව පොලිසියට භාරදී තිබේ.

කොකාවැව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පෙරේරා මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීහු පිරිසක් වැටලීම සිදු කර සැකකාර කපුවා අත්අඩංගුවට ගත්හ.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment