පනත සම්මත වුණොත් මාධ්‍ය ආයතන 33ක ලයිසන් මාස 6න් අහෝසියි – ජී. එල්. පීරිස්

140

යෝජිත විකාශන අධිකාරී පනත සම්මත වුවහොත් මාස හයක් යන විට මාධ්‍ය ආයතන 33 ක බලපත්‍ර අහෝසි වන බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (12 දා) පැවසීය.

විකාශන අධිකාරී පනත පනතක් නොව යෝජනා මාලාවක් බවට ආණ්ඩුව කරන ප්‍රකාශ කිසිසේත් අනුමත නොකරන බවද නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී.එල්. පීරිස් මහතා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තුවට වරප්‍රසාද කමිටුවට කැඳවීමෙන් උත්සාහ ගන්නේ යම් ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය හීන කිරීමට දැයි සැකයක් ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා පිළිනොගන්නා තත්ත්වයකට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවද මන්ත්‍රීවරයා කීය.

ජනතා ගැටලු විසඳීම වෙනුවට ආණ්ඩුව කරන්නේ විවිධ අණ පනත් මගින් මහජනතාව මර්දනය කිරීම බවත් එයට කිසිසේත් ඉඩ නොතබන බවත් පැවසූ ජී. එල්. පීරිස් මහතා ලබන වසරේ ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර එසේ නොකරන්නේ නම් ජනමත විචාරණයක් හෝ පැවැත්විය යුතු බවත් ජනාධිපතිවරණය ඊට පෙර පවත්වනවා නම් නිදහස ජනතා සභාව එයට සහය ලබාදෙන බවත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment