ගුරුවරුන් 44 දෙනාගේ පී.සී.ආර්. වාර්තා පොලිසිය අවුරුදු දෙකකට පස්සේවත් උසාවියට දී නෑ – නීතිඥයා කියයි

281

වැටුප් වැඩි කිරීම ඇතුළු සහන ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක නිරතවූ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් 44 දෙනකු අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකර නිරෝධායන නීති කඩ කළේ යැයි චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කර වසර දෙකකට අධික කාලයක් ගත්වී ඇතත් අල්ලපු වැටේ පිහිටි පොලිසිය විසින් ලබාගත් පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා ඉන් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව පොලිසියට නොහැකිවීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් වන්නේ යැයි නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා ඊයේ (13 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පැවසීය.

2021.08.04 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට රථ පෙළපාලියකින් හා පාගමනින් පැමිණි පෙළපාලිකරුවන් අතරින් 44 දෙනකු අත්අඩංගුවට ගෙන වරාය පොලිසියට රැගෙන ගොස් සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා අනුව එකී ගුරු භවතුන් හෝ විදුහල්පතිවරුන් කිසිවකු ‘කොවිඩ්-19’ රෝගය වැළඳුන අය නොවන බවට සනාථ කර තිබියදීත් ඒවා ඉදිරිපත් කර චෝදනා ගොනු කිරීමට කොටුව පොලිසිය මේ දක්වා පියවර ගෙන නැතැයිද නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා අධිකරණයට පැවසීය.

රටේ දුර බැහැර ප්‍රදේශවල සේවය කරන සිය සේවාදායකයන් වසර දෙකකුත් මාස දෙකක් තිස්සේ නඩුව කැඳවන සෑම දිනකම අධිකරණයට පැමිණෙන බවත් යුක්තිය ඉල්ලා හඬ නැඟූ ගුරුවරුන්ට දඬුවක් ලෙස එලෙස දිගින් දිගටම රස්තියාදු කරනුයේ ගුරුවරුන්ගෙන් ශිල්ප දැනුම ලබාගත් නිලධාරීන් දැයි සිතාගත නොහැකි බවත් නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා වැඩිදුරටත් අධිකරණයට පැවසීය.

එම කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව පවරා තිබූ එම නඩුව ලබන ජනවාරි 26 වැනිදා යළි කැඳවීමට දින නියම කර එදිනට අදාළ ලේඛන ඉදිරිපත් කර චෝදනා ගොනු කරන්නේද නැතිද යන කාරණය අධිකරණයට දැනුම්දෙන ලෙසට කොටුව පොලිසියට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment