හයියෝ.. විදුලි සංදේශ මාධ්‍ය මධ්‍යස්ථානය: කෝටි 71ක් බහිරවයන්ට

95

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් හම්බන්තොට තොරතුරු තාක්ෂණ උද්‍යානයේ විදුලි සංදේශ මාධ්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා අදාළ කොන්ත්‍රාත්කරු සමග එළඹ තිබූ ගිවිසුම අවසන් කිරීම නිසා මෙකී ව්‍යාපෘතිය සඳහා දරනු ලැබූ රුපියල් හෑත්තෑ එක්කෝටි දාසයලක්ෂ අටදහස් හත්සිය හැටනමයක (711,608,769) මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී විදුලි සංදේශ මාධ්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා කොමිෂන් සභාව 2014 ජුලි මස 28 වැනිදා අදාළ කොන්ත්‍රාත්කරු සමග ගිවිසුම්ගතව තිබුණි. එහෙත් ආයෝජන මණ්ඩලයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත 2016 වර්ෂයේ අගෝස්තු මස 10 වැනිදා අදාළ ගිවිසුම අවසන් කර තිබුණි.

එම තීරණයට එරෙහිව කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට අනුව කොන්ත්‍රාත්කරුට වන්දි ඇතුළු මුළු බේරුම්කරණ වියදම් ලෙස රුපියල් හතලිස් දෙකෝටි හැටඅටලක්ෂ අනූහත්දහස් පන්සිය අනූ අටක මුදලක් (426,897,598) කොමිෂන් සභාව විසින් 2022 වර්ෂයේ දී ගෙවා තිබුණි.

කොන්ත්‍රාත්තුව නිම කරන දිනට ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සියයට 33ක් බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉදිකිරීම් සැලසුම් කිරීමට පළමුව අදාළ ආයතනවලින් අනුමැතිය ලබාගත යුතුව ඇති බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත.

මේ පිළිබඳ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ කළමනාකාරිත්වය විසින් විගණන නිරීක්ෂණ නිවැරදි බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment