මේ දිනවල ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය උණුසුම් වූ ක්‍රිකට් පිටියක් වැනිය. ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණුලාභියා වී ඇත්තේ එක් පැත්තකින් සජිත් ප්‍රේමදාසය. දේශපාලන කරළිය ක්‍රිකට් පිටියක් නම් ඔහු දැන් සිටින්නේ ජයග්‍රහණයට ඔන්න මෙන්න තියාය. මේ රටේ ජනාධිපතිවරණය පවත්වපු ගමන් ඔහු බලා සිටින්නේ රටේ ජනතාවගේ බහුතර ඡන්දයෙන් දිනන්නටය. කොටින්ම කිවහොත් ක්‍රිකට් පිටියේ ඔහු සිටින්නේ සෙන්චරියක් ගැසූ ආරම්භක පිතිකරුවෙක් ලෙසටය.

සජිත් මේ කෙළවරේ ඉන්නාවිට අනික් කෙළවරේ මාලිමාවේ නියමු අනුර කුමාර දිසානායකය. සමාජ මාධ්‍යවලට අනුව නම් ඔහු සිටින්නේ සජිත් මෙන් ජයග්‍රහණය අබියස නොව, ජයග්‍රහණය ලබා දිවුරුම් දීමේ අවස්ථාව අභියස ය. ඔහුටද මේ රටේ සැලකිය යුතු ජන කොටසකගේ කැමැත්ත ඇති බව දැන් දැන් පෙනෙමින් තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේත් නැති මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් ලොකු කුඩා පක්ෂවල හා ස්වාධීන අපේක්ෂකයන්ගේ බලාපොරොත්තුව ඡන්ද පිටියේ මේ පාර්ශ්වයන් දෙක දවාලීමය. ඒ සඳහා ඉදිරිපත් වීමට පොදු අපේක්ෂකයෙක් සොයමින් එක් පිරිසක් වෙහෙසමින් සිටිති. ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නට තවත් පිරිසකගේ සූදානමකි. පහුගිය දිනවල අපේ දේශපාලන කරළියේ වැඩිපුර පැවතුණේ ඒ පිළිබඳ ලොකු කුඩා කතාබස්ය.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය දැන් රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කර අවසන්ය. පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, ලේකම් පාලිත රංග බණ්ඩාර, ජනාධිපති උපදේශක ආශු මාරසිංහ ඇතුළු කථිකයෝ හා පක්ෂයේ ක්‍රියාකාරිකයෝ රැසක්ම පසුගිය දිනවල පළාතෙන් පළාතට යමින් සම්මන්ත්‍රණ පවත්වමින් ඊළඟ ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂක රනිල් ඉදිරිපත් කිරීමේ සටන සමාජගත කරමින් සිටියහ. ඔවුන්ගේ මතය වූයේ පොදු අපේක්ෂකයෙක් ලෙස නොව, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

ගාල්ල, තංගල්ල, කළුතර හා රත්නපුරයේ පැවැත්වූ සම්මන්ත්‍රණ මාලාවට විශාල ජනකායක් සහභාගි ව සිටි අතර එය කාගේ කාගෙත් පැසසුමට ලක්ව තිබුණි. “මේ වැඩේ දිගටම රටපුරා ගෙනි යන්න.” කෝට්ටේ සංවිධායක දිනේෂ් විදානපතිරණ වජිරගෙන් ඉල්ලා සිටියේය.

“මහලේකම්තුමා මේකට වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒක අපි ඉස්සරහට ගෙනියමු.” වජිර කීවේ දිනේෂ්ගේ පිටට තට්ටුවක් ද දමමිනි.

ගාල්ලේ පැවැති සම්මේලනයට රට තුළ මේ මොහොතේ රැඳී සිටින සියලු නායකයන් සහභාගීවීම ද විශේෂත්වයක් විය. පාර්ලිමේන්තුවේදී මහාචාර්ය ආශුව මුණ ගැසුණු දොලවත්ත මන්ත්‍රීවරයා අපූරු කාරණයක් කීවේය.

“සෞඛ්‍ය වර්ජනයට පළාත් සෞඛ්‍ය රියදුරන් එකතු වෙලා නෑ කියලා ආරංචියක් ආවා. ඒ කට්ටිය ඔබතුමා බා ගෙන කියලා තමයි කට්ටිය කියන්නේ.” දොළවත්ත කියද්දී මහාචාර්ය ආශු කීවේ “නෑ නෑ ඒ අය අපේ මතය විශ්වාස කරනවා පමණයි” කියාය.

කෙසේ වෙතත් මේ දිනවල දේශපාලන කරළියේ තාමත් ප්‍රශ්නය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව මේ පිළිබඳ දක්වන නිහැඬියාවයි. පොදු අපේක්ෂකයෙකුට සහාය දෙනවාද නැතහොත් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද යන ප්‍රශ්නයට ඔවුන් තවමත් ස්ථිරසාර විසඳුමක් සමාජගත කර නැත.

තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තයේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා පිටත්ව ගියේ එහි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වන්නටය. ලොව සතර දිග් භාගේම සිටින අති ප්‍රබල ප්‍රකට ව්‍යාපාරිකයින් හා ආයෝජකයින් මෙන්ම ලෝක නායකයෝ රැසක් මේ සමුළුවට සහභාගි වන නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වාස කළේ ලංකාවේ ඇති ආයෝජන අවස්ථා ගැන ඔවුන්ට පහදා දීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇතැයි කියාය. ජනාධිපතිවරයා ගිය මොහොතේ සිට උත්සාහ කළේ එම අරමුණ ජය ගැනීම සඳහා ය.

පාරක් නැති කඳු මුදුනක රනිල්ට රෑ කෑමවේලක්

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 54 වන වාර්ෂික රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වූයේ ඉකුත් සඳුදා හවසය. ඇමරිකානු රාජ්‍ය නිලධාරීන්, ලෝකප්‍රකට ව්‍යාපාරිකයින් මෙන්ම ලෝකප්‍රකට ව්‍යවසායක උපදේශකයින් ගණනාවක්ම හමුවන්නට ජනාධිපතිවරයා මෙහිදී අවස්ථාව උදාකරගත්තේය. දේශගණික විපර්යාස පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපති ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරි මුණගැසී සාකච්ඡා කිරීමට ද මෙහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට අවස්ථාව උදාවීම විශේෂත්වයකි. එපමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජීවා මහත්මියද මුණගැසී අපි රටේ ආර්ථිකය ගැන සාකච්ඡා කරන්නට මෙහිදී ජනාධිපතිවරයාට අවස්ථාව උදාවිය.

ඒ අතර ජනාධිපතිවරයාට තරමක් නුහුරු නුපුරුදු අත්දැකීමකට ද මුහුණ දෙන්නට අඟහරුවාදා රාත්‍රියේ අවස්ථාව උදාවිය. ඒ වූකලී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකි. එය සූදානම් කර තිබුණේ වාහන ගමන් කළ නොහැකි තැනක කඳු මුදුනක හෝටලයකය. ගමන් කළ හැක්කේ කේබල් කාර් මගින් පමණි. මෙරටින් ගිය සුවිශේෂී ව්‍යාපාරික පිරිසක් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය භෝජන සංග්‍රහයක් ලෙස සූදානම් කර තිබූ මෙම විශේෂ භෝජන සංග්‍රහය භුක්ති විඳින්නට අප ජනාධිපතිවරයාට අමතරව ලෝකප්‍රකට ව්‍යාපාරිකයින් රැසක් ද පැමිණ සිටීම විශේෂත්වයක් විය. මේ රටේ ණය කළමනාකරණය කිරීම සහ ආයෝජන බහුල කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් මෙම භෝජන සංග්‍රහය අතරතුර ඇති වූ සංවාදයේදී සාකච්ඡාවට ලක් වූ බවට තොරතුරු වාර්තා විය.

“මට පුළුවන් ලෝකප්‍රකට ආයෝජකයන් හා ව්‍යාපාර ලංකාවට රැගෙන ගෙන එකට පහසුකම් හා වටපිටාව හදලා දෙන්න. හැබැයි ඒගොල්ල ලංකාවට එක්කගෙන එන එක ඕගොල්ලන්ගේ වැඩක්…” ජනාධිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් පිරිසක් අමතා කියනු ලැබීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම සංචාරය පසුගිය කාලයේ ජනාධිපතිවරු ශ්‍රී ලංකාවෙන් පිටත්ව එපිට රටකට ගිය දීර්ඝතම සංචාරය වනු ඇතැයි බොහෝ දෙනෙක් මත පළ කර තිබිණ. ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන කණ්ඩායම්වල මතය වූයේ ජනාධිපතිවරයාගේ මෙබඳු සංචාර රටට අනවශ්‍ය බරක් බවය. ජනාධිපතිවරයාගේ විදේශ සංචාරයන් සඳහා අයවැයෙන් සාමාන්‍ය ලෙස අනුමත කරන මුදලට වඩා පසුගිය දිනක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර රජය මුදලක් ඉල්ලීම හෙළා දකිමින් ජවිපෙ නායක අනුර දිසානායක මේ ගැන බරපතල විවේචනයක් එල්ල කළේය. ජනාධිපතිවරයාගේ විදේශ ගමන්, ටෙලිකෝම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට පහසුකම් සැලසීම හා තවත් කරුණක් වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තු මගින් බිලියන ගණනක මුදලක් ඉල්ලීම වැනි කරුණු තුනක් මෙහිදී අනුරගේ දැඩි විවේචනයට ලක් විය.

පසුගිය බ්‍රහස්පතින්දා ඇමැති ප්‍රසන්න මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි විය.

අමාත්‍ය කංචන විජේසේකර, නිපුණ රණවක, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඇතුළු පිරිසක් එයට සහභාගි වූහ.

“සර්… මේ පාර විමධ්‍යගත අරමුදල්වලට මොකද වෙන්නේ” ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකය.

“මේ පාර විමධ්‍යගත අරමුදල් කියල එකක් නෑ. වෙන්කරල තියෙන්නේ දිස්ත්‍රික් සංවර්ධන අරමුදල්. ඒ සල්ලි දෙන්නේ ආණ්ඩුවට සහය දක්වන මන්ත්‍රීවරුන්ට විතරයි” ප්‍රසන්න පැහැදිලි කළේය.

“ඩලස් ඇමැතිතුමා ලියුමක් එවල තියෙනවා. විමධ්‍යගත අරමුදල් ගැන අහල. ඇමැතිතුමාම ඒකට උත්තර දෙන්න.” මන්ත්‍රී නිපුණ යළි විමසීය.

“මේකට උත්තර දෙන්න ඕන අමුවෙන්ද, නිවිලද” ප්‍රසන්න ඇසීය.

“අමුවෙන්ම දෙන්න. හැබැයි මීඩියා ඉන්නවා” ඒ ඇමැති කංචනය.

ඉර හඳ හා සත්‍යය සඟවන්න බැරිලු

පසුගිය සතිය පාර්ලිමේන්තුව පැවැත්වුණු සතියක් නොවීය. පාර්ලිමේන්තුවේ බොහෝ මන්ත්‍රීවරු නිවාඩු පාඩුව ගම්බිම්වල ගොසිනි. එහෙත් කොළඹ හා තැන් තැන්වල දේශපාලනය පිළිබඳ යම් යම් වාද විවාද සංවාද පැවැත්විණ.

පොහොට්ටුවේ දේශපාලනයට හා රාජපක්ෂවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය මගින් හා විවිධ මාධ්‍ය උපක්‍රම මගින් ගෙන යන මඩ ප්‍රචාරවලට හා සාවද්‍ය විවේචනවලට එරෙහිව උත්තර දෙන්නේ කෙසේද කියා පසුගිය දිනවල පොහොට්ටුව ඇතුළාන්තයේ කතාබහක් ඇති විය.

ඒ සඳහා ගමින් ගමට ගොස් ජනතාවට බිම් මට්ටමින්’ කරුණු පැහැදිලි කළ යුතු බවට යෝජනාවක් පැමිණ එය ක්‍රියාත්මක කිරීමට ව්‍යාපෘතියක් ඇති විය. “ඉර හඳ හා සත්‍යය දිගුකල් සඟවාලිය නොහැක” යනුවෙන් නම් කර තිබූ ව්‍යාපෘතිය තුළින් යෝජනා වූයේ රාජපක්ෂවරු හොරකම් කළා යැයි නගන චෝදනාවට ගම් මට්ටමින් උත්තර දීමයි.

එම ව්‍යාපෘතියට අනුව සනත් නිශාන්ත විසින් පසුගිය සතියේ ආණමඩුව ආරච්චිකට්ටුවේ ග්‍රාමීය සංවිධායකවරුන්ගේ රැස්වීමක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා කොළඹින් ගියේ නාමල් රාජපක්ෂ හා සාගර කාරියවසම් ය. ශාලාව පිරෙන්නට රැස්ව සිටි සෙනඟ අමතා ඔවුන් දෙදෙනා පොහොට්ටුවේ දේශපාලනඥයන්ට එරෙහිව නගන බොරු චෝදනා ගැන මැනවින් කරුණු පැහැදිලි කළහ.

“මේ කතිකාව අතරතුර පොහොට්ටුවේ මන්ත්‍රීවරු කීපදෙනෙක් සිටින තැනක සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි මත ප්‍රචාරය කරන ආකාරය ගැන කතාබහක් ඇති විය.

“ෂෝෂල් මීඩියා එකෙන් සමාජයට වැරදි පණිවිඩ දෙන එක, මඩ ප්‍රචාරය කරන එක නවත්වන්න ලබන 23-24 පාර්ලිමේන්තුවට පනතක් එනවා ඔන්ලයින් පනත කියලා. ඉතින් අපි ඒකට සහයෝගය දෙමු.” එක් පිරිසක් කීහ.

“හැබැයි ඉතින් ෂෝෂල් මීඩියා එක නැතුවත් බැහැ. අපි වුණත් ෂෝෂල් මීඩියා එකෙන් කොච්චර හොඳ දේවල් කරනවද…”

“හොඳ දේවල් නවත්තන්න නෙමෙයිනේ. නරක දේවල් වෙන එක වළක්වන්නනේ පනත ගේන්නේ.” මන්ත්‍රීවරයෙක් කීවේය. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ගෙන එන ඔන්ලයින් පනත ගැන හෝ ඒ සඳහා දැනට තිබෙන නීතිය ගැන එතන සිටි බොහෝ දෙනෙකුට දැනුමක් තිබුණේ නැත. නීතිඥයකුද වූ මන්ත්‍රීවරයෙක් අන් අය දැනුවත් කරමින් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළේය.

“ඉස්සර වෙලා ෂෝෂල් මීඩියා සම්බන්ධයෙන් දැන් තියෙන නීතිය ගමු. දැන් තියෙන නීතිය තමයි කවුරු හරි කෙනෙක් ගැන මඩ ප්‍රචාරයක් හෝ සාවද්‍ය මතයක් ඕනම කෙනෙක්ට අප්ලෝඩ් කරන්න බැහැ. උදාහරණයක් හැටියට ලංකාවේ ලොකුම කෝටිපතියන් දහදෙනා කියලා අරන් එතන පළමුවෙනියා මහින්ද රාජපක්ෂ කියල පෝස්ට් එකක් හැදුවා කියන්න. හැබැයි ඔප්පු කරන්න සාධක නැතුව එබඳු කතාවක් අප්ලෝඩ් කරන එක වරදක්. හැබැයි කවුරුහරි අප්ලෝඩ් කරපු ඒ කතාව ශෙයා කරන එක වරදක් නෙවෙයි. ඒකට දඬුවම් නෑ. ඒක නිසා දැන් ඔය සංවිධානාත්මකව වැරදි මත ප්‍රචාරය කරන ෂෝෂල් මීඩියා කාරයෝ කරන්නේ අරවගේ කතා හදලා ඒක පිටරටකින් අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ මෙහේ මිනිස්සු හෝ ගාලා ශෙයා කරනවා.

අලුත් පනතට අනුව එහෙම කතාවක් අප්ලෝඩ් කරන්නත් ශෙයා කරන්නත් දෙකටම හේතු (එවිඩන්ස්) පෙන්නන්න ඕන. එහෙම නැත්නම් තහනම්. මම නම් කියන්නේ කාට වුණත් මඩ ගහන එක නවත්තන්න එහෙම නීති තිබුණට කමක් නෑ. නැත්තං ෆේස්බුක් වගේ දේවල් ඔස්සේ ඔය විදියේ වැරදි මත සමාජගත වෙනවා.” නීතිඥයාගෙ පැහැදිලි කිරීමෙන් පසුව බොහෝ දෙනෙක් තුළ ඒ පනත පිළිබඳ අවබෝධයක් හා ප්‍රසාදයක් ඇති විය.

“එහෙනම් ඔය ලංකාවේ ලොකුම කෝටිපතියන් දහදෙනා අතර පළමුවැන්නා මහින්ද මහත්තයා කියලා කියන ආරංචිය බොරුවක්…” මන්ත්‍රීවරයෙක් ඇසීය.

“ඒ කතාව ඇත්ත නං ඉස්සරහට එන නීතිය අනුව එහෙම කියන අයට ඒකට හේතු කියන්නත් වේවි… නැත්තං නඩු වැටේවි කියමින් මන්ත්‍රීවරයා හිනාවුණේය…

මඩ බාල්දිකරුවන්ට ඔන්ලයින් පොල්ලක්

කෙසේ වෙතත් මේ ඔන්ලයින් පනත පිළිබඳව පසුගිය සතිය වන විට රටේ ඇතිව තිබුණේ යහපත් ප්‍රතිචාරයක් නම් නොවේ. ආණ්ඩු පක්ෂයේ අය කුමක් කීවත් විපක්ෂයේ බොහෝ දෙනා මේ පනතට විරෝධය පාමින් සිටියහ.

පනතට විරෝධය පෑම සඳහා සංවිධානය වූ සාකච්ඡාවක් ද පසුගිය දිනක විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙනි. රාජිත, එරාන්, හර්ෂ, කබීර්, අජිත් මාන්නප්පෙරුම, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු දේශපාලනඥයෝ රැසක්ද පාක්‍යසෝති, රෝහණ හෙට්ටිආරච්චි ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක්ද මේ සාකච්ඡාවට පැමිණ සිටියහ.

“ආණ්ඩුව හදන්නේ ෂෝෂල් මීඩියා මට්ටු කරන්න. මේ පනත රටකට විනාශයක්. විසිතුන් වෙනිදා ගෙනල්ලා 24 වෙනිදා සම්මත කරගෙන පනත ක්‍රියාත්මක කරන්නයි ලෑස්ති…” සාකච්ඡාවේදී කියවුණි.

“ෂෝෂල මීඩියාවලට නියාමනයක් තියෙන්න ඕන. ඒක නිසා ලෝකයේ රටවල් එකසිය දහතුනක මේ පනතට අඩංගු කරුණු ඇතුළත් කරලා නීති ගෙනල්ලා තියෙනවා. දැනට අපි ගෙනාපු මේ පනත සාකච්ඡාවට ලක්වෙනවා නීතිය ඉදිරියේ. සමාජයට අහිතකර දේවල් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කරලා තියෙන්නේ. මේ තියෙන දේවල් ප්‍රශ්නයක් නෑ…” රංග කලංසූරිය පෙන්වා දුන්නේය.

“එංගලන්තයත් අවුරුදු හතර හමාරක් සාකච්ඡා කරලයි මේ පනත සම්මත කරගත්තේ. අපි දවස් දෙකකින් සම්මත කරගත යුතු නෑ…” තවත් අයෙක් කීවේය.

“අවුරුදු හතරක් ගන්න ඕන නෑ. එදා සිංහ රත්නතුංග වැරදිකරු වෙච්ච වෙලාවේ අපි කවුරුත් එකතුවෙලා 2015 ආපු ආණ්ඩුවේදී යෝජනාවක් ගෙනාවා ඉස්සෙල්ලා ආචාර ධර්ම පද්ධතියක් ගේන්න. හැබැයි ආචාර ධර්ම පද්ධතිය හැදුනේ නෑ. ඒ වැඩේ ඉස්සරහට ගියේ නෑ. මම නම් කියන්නේ ආචාර ධර්ම පද්ධතියක් ගෙනල්ලා ඒ ආචාර ධර්ම පද්ධතියට අනුව වැඩ නොකරන අයව නීතිය ඉදිරියට ගන්න පනතක් හදන්න…” රාජිත සේනාරත්න කීවේය.

සාකච්ඡාව ඒ අයුරින් අවසන් විය. මන්ත්‍රීවරු හා සිවිල් ක්‍රියාකාරිකයෝ තවත් බොහෝ දේ ගැන කතා කරන්නට වූහ.

“එතකොට දවස් දෙකෙන් මේ පනත සම්මත වෙනවා. ඒකට අපි විරුද්ධයි.”

“අපට නං ආරංචි ලබන සතියෙන් පස්සේ මේ සැසිවාරයත් ඉවරයි කියලයි. විසිහතර පනත සම්මත කරගෙන විසිපහ විසිහය නිවාඩු දීලා ජනාධිපති සැසිවාරය අවසන් කරාවි. ඊට පස්සේ ඔය තියෙන කාරක සභාත් ඉවරයි. පරීක්ෂණත් අහෝසියි. ඊට පස්සේ ඉතින් ජනාධිපතිවරයාට පුළුවන් අලුත් වැඩපිළිවෙළක් රාජාසන කතාවෙන් ඉදිරිපත් කරලා අලුත් අවුරුද්දේ වැඩ පටන් ගන්න…” ආණ්ඩුවටත් විපක්ෂයටත් දෙපැත්තටම සම්බන්ධකම් ඇති ප්‍රවීණ මන්ත්‍රීවරයෙක් එසේ කීවේ සිනහසෙමිනි.

මේ අවුරුද්දෙත් මැතිවරණ අහෝසියි

පසුගිය දිනවල දේශපාලන කරළියේ ඇතිවූ සාකච්ඡාවලට අනුව මෙම වසර මැතිවරණ වසරක් බව කියැවිණි. එහිදී ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණයක් නිසැකව පවත්වනු ඇතැයි බොහෝ දෙනාගේ මතය වූහ. එහෙත් ඊට වෙනස් කතිකාවතක් පසුගිය සතියේ සමාජයෙහි යම් යම් තැන්වල මෝදු වෙමින් පැමිණෙන්නට විය. එම කතාවෙන් කියැවුණේ ජනාධිපතිවරණය කල් යෑමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බවකි.

ඒ බැව් සනාථ කරවන අන්දමේ අදහසක් මතුවූ තවත් සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ ජානකී හෝටලයේ පැවැත්විණි. විශේෂත්වය වූයේ මෙය එක්තරා අන්දමකට විපක්ෂයට සම්බන්ධ සාකච්ඡාවක් වූ නිසාය.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සාකච්ඡාවක් ලෙස හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව ජානකී හෝටලයේ පැවති අතර රටේ විවිධ දේශපාලන කණ්ඩායම්වල මත නියෝජනය කරන නියෝජිතයන්ට මේ සඳහා ආරාධනය කර තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව කරු ජයසූරිය, මෛත්‍රිපාල සිරිසේන පාක්‍යසෝති සරවනමුත්තු, රෝහණ හෙට්ටිආරච්චි, මහාචාර්ය නිහාල් ජයවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු දේශපාලනඥයෝ හා සිවිල් ක්‍රියාකාරිකයෝ ගණනාවක් මේ සඳහා සහභාගී වී සිටියහ.

මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ විධායක ජනාධිපති ක්‍රමය රටින් ඉවත් කිරීම සම්බන්ධවයි. විධායක ජනාධිපතිවරයෙක් රටක සිටීම තුළ ඇතිවන ඒකාධිපති පාලනය ගැන බොහෝ කරුණු සාකච්ඡා වූහ. පළමුව පාක්‍යසෝති හා රෝහණ හෙට්ටිආරච්චි දේශන පවත්වමින් ඒ ගැන පැහැදිලි කිරීම් කළහ.

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන තමයි. හැබැයි ඉක්මනට ජනාධිපතිවරණයක් තියන්න ඕන. මොකද ඒක හේතුවෙන් ජනාධිපතිවරණය කල් දාන්න ඉඩ තියන්න බෑ…”

“ඔව්… ඔව්… හැමදාම කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ජනාධිපතිවරණ කල් දාන එක. එහෙම නැත්තං ඒ ගැන සාකච්ඡා කර කර ජනාධිපතිවරණය තියලා ජනාධිපතිත් පත්වෙලා මාතෘකාව අමතක කරනවා. ඒක නිසා මොනවා කරන්නත් මැතිවරණ තියලා ඉවර කරන්න ඕන…” මෛත්‍රීපාල සිරිසේන කීවේය.

“හැමෝම දැන් අවුරුදු විසි තිස් ගාණක් මේ මාතෘකාව ගැන කතා කළා. හැබැයි කතාව විතරයි. කවුරුවත් කළේ නෑ. අනිත් එක මේ තියන ජනාධිපති ක්‍රමය අහෝසි වුණොත් පළාත් සභා ක්‍රමය බිඳ වැටේවි කියලා මේ රටේ ජාතික බලවේග අතර මතයක් තියනවා. කෝකටත් ජනාධිපතිවරණය තියලා මාස හයක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන…” දයාසිරි ජයසේකර යෝජනා කළේය. ඉන්පසු ඊළඟට කතා කළේ රාජිත සේනාරත්න යි.

“ඒක මොන විහිළු කතාවක්ද… විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනලු. ඊට කලින් ජනාධිපතිවරණ තියන්න ඕනලු. අහෝසි කරන්න ඕන බම්බුවක් වෙනුවෙන් මොකටද රුපියල් බිලියන ගාණක් වියදම් කරල මැතිවරණ තියන්නේ. ඒ සල්ලිවල දුක් විඳින මිනිස්සුන්ට කන්න බොන්න ටිකක් දෙන්න බැරිද. විධායක ජනාධිපති බලය විධායක අගමැතිට ලැබෙන ලෙස ව්‍යවස්ථාව හදන එකනේ කරන්න ඕන. අනිත් එක පළාත් සභා සම්බන්ධයෙන් විධායක ජනාධිපතිට තියෙන බලය විධායක අගමැතිට දුන්නම ඉවරයි. ඉන්දියාව වගේ මහා විශාල රටක් විධායක අගමැති කෙනෙක් පාලනය කරනවා. ඉතින් මොකද ලංකාවේ බැරි…” එලෙසින් කරුණු කියමින් රාජිත දිගු කතාවක් කළේය. ඉන්පසුව කතා කළ සියලුම දෙනා රාජිතගේ මතය අනුමත කරමින් කතා කළා විනා ජනාධිපතිවරණයක් පැවැත්වීම ගැන කතා කරන්නට උත්සාහ කළේ නැත.

කෙසේ වෙතත් ඉදිරි සැප්තැම්බරයේදී ජනාධිපතිවරණය පැවැත්වේදෝ නැද්දෝ යන සැකය මේ සාකච්ඡාවේදී වඩ වඩාත් තීව්‍ර විය. ජනාධිපතිවරණය නොමැතිව මහ මැතිවරණයක් ඉදිරියට එනු ඇතැයි කියා බොහෝ දෙනා සැක පහළ කරේ ඒ අනුවය.

නව සන්ධානයේ අනුර ආණමඩුවේ කිව් කතාව

මේ අතර නව සන්ධානයේ කටයුතු සඳහා සහාය දීමට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන එහෙත් ජාතික දේශපාලනයේදී තීරණාත්මක සාධක වන පක්ෂ සහ කණ්ඩායම් ගණනාවක් ද මේ දිනවල සාකච්ඡා පවත්වමින් තිබේ. එවැනි සාකච්ඡාවක් පසුගියදා රාජගිරිය පක්ෂ මූලස්ථානයේදී අනුර යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එවැනි පක්ෂ සහ කණ්ඩායම් 20ක් නියෝජනය කරමින් එහි විධායක සභිකයින් 100 කට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. ඒ අතරට ජාතික ජනතා පෙරමුණ, දමිළ ජනතා ප්‍රගතිශීලී පක්ෂය, මව්බිම සංවර්ධන පෙරමුණ, ශ්‍රී ලංකා එක්සත් පෙරමුණ, මඩකලපුව මහජන සංගමය, පොදුජන එක්සත් දේශීය පක්ෂය, මුලතිව් සිවිල් ක්‍රියාකාරී සංගමය ඇතුළු කණ්ඩායම් එක්වූහ. මෙම පිරිස් එකහෙළාම ඉල්ලා සිටියේ රාජපක්ෂ කඳවුර සමග වැඩ කරන්නට කතා කරන්න එපා කියාය.

“ඔබතුමාල අපි ගැන විශ්වාසය තියන්න, අපේ කණ්ඩායමේ කිසිවෙක් ආයෙත් නමක් දිනවන්න වැඩ කරන්නෙ නෑ, අපි දිනවන්නෙ වැඩපිළිවෙළක්” අනුර කීවේය.

මේ අතර නව සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවක් පියංකර ජයරත්න මන්ත්‍රීවරයාගේ ආණමඩුව පිහිටි නිවසේදී පැවත්වුණේ අනුර යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා ආණමඩුව ආසනයේ කලාප නියෝජිතයින් සහ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් මෙන්ම පාක්ෂිකයින් පිරිසක් ද එක්ව සිටියහ.

මෙහිදී පියංකර ජයරත්න මන්ත්‍රීවරයා පිරිස අමතමින් කීවේ තමන් යළි කිසිදා රාජපක්ෂ නමක් ගෑවුණු තැනක දේශපාලනය නොකරන බවය. එවිට පැමිණි සිටි පිරිස මහ හයියෙන් අත්පොළසන් දෙන්නට පටන් ගත්තේ ඔහුට දිරියක් වශයෙනි. පැමිණි පිරිසට දිවා ආහාරය සූදානම් කළේ ද මන්ත්‍රීවරයාගේ නිවසේය.

ඒ සඳහා දේශීය ආහාර වේලක් සූදානම් කර තිබූ අතර මන්ත්‍රීවරයාගේ බිරිඳ අතින් එම ආහාර සකසා තිබීම ද කාගේත් කතාබහට ලක්වූහ.

බැසිල් කියූ රහසක් ප්‍රසන්න හෙළි කරලා

ගම්පහ සහ මිනුවන්ගොඩ ආසනවල පොහොට්ටු නියෝජිතයන් හා ඉදිරිපෙළ ක්‍රියාකාරීන් ඇමැති ප්‍රසන්න හමුවූයේ පසුගිය සඳුදා ය. සාමාන්‍යයෙන් ඇමැති ප්‍රසන්න මේ ආසන දෙකේ නියෝජිතයන් හා ඉදිරිපෙළ ක්‍රියාකාරීන් මාස්පතා හමුවී සාකච්ඡා කරති.

“සර්… අපි දැන් ජනාධිපතිවරණයෙදි මොකද කරන්නේ” මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල ඇමැති ප්‍රසන්නගෙන් කෙළින්ම ඇසීය. එය බොහෝ දෙනෙකු ඇසීමට බලා සිටි පැනයකි.

“මෙහෙමයි, ආර්ථිකය ගොඩ නඟා රට ස්ථාවර කරන්න ජනාධිපතිතුමාට තවත් අවස්ථාවක් දෙන්න ඕන කියන තැන මම පුද්ගලිකව ඉන්නවා. මට පේන විදියට මේ ආර්ථික අර්බුදයෙන් රට බේරා ගන්න පුළුවන් එකම කෙනා මෙතුමා විතරයි.” ඇමැති ප්‍රසන්න කීය.

“ඒත් සර්, පක්ෂය එක එක කතා කියනවා. පහුගිය දවසක එක්කෙනක් කියල තිබුණා පොහොට්ටුවේ අපේක්ෂකයා එයා කියලා.” තවත් කෙනෙකු ඇසීය.

“මම ඔය ගැන බැසිල් සර්ගෙන් ඇහැව්වා. බැසිල් සර් මට කිව්ව එහෙම තීරණයක් නෑ. ඔයා බය නැතුව ඕන කෙනෙක්ට කියන්න කියල” ඇමැති ප්‍රසන්න රහසක් හෙළි කළේය. ප්‍රසන්න මෙහිදී පසුගිය මැතිවරණයේදී සිදු වූ සිද්ධියක් මතක් කළේය.

“පහුගිය මැතිවරණය වෙලාවෙදි මම ශ්‍රී ලංකා එක එක්ක එකතු වෙන්න කැමැත්තෙන් හිටියෙ නෑ. මම කිව්වෙ අපි වෙනම තරග කරමු කියල. ඒකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට බැන්න. ඒ වෙලාවෙදි කිව්වා ප්‍රසන්න පවුලේ අයත් තරහ කරගෙන අපි වෙනුවෙන් වැඩ කරන්නෙ මහින්ද මහත්තය, හිටපු ජනාධිපතිතුමා කිව්වා. කොච්චර මඩ ගැහුව්වත් මම එදත් හරි පැත්තේ හිටියා. අදත් එහෙමයි.”

“හැම පක්ෂයක්ම අපේක්ෂකයෝ නම් කරල. පොහොට්ටුව තවම නෑ. ඒක තමයි මේ ප්‍රශ්න” කෙනෙක් කීය.

“කලබල වෙන්න එපා. අපි හරි වෙලාවට හරි තීන්දුව ගන්නවා. ඒක පක්ෂයේ නායකයො නියම වෙලාවට කියාවි. එතකන් අපි අපේ වැඩ ටික කරගෙන යමු.” ඒ ඇමැති ප්‍රසන්නය.

පොහොට්ටුව වෙනුවෙන් අපේක්ෂකයෝ හයක්..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව පසුගිය කාලයේදී විවිධ පිරිස් ජනගත කරන ලද අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබිණි. ඒ සඳහා නාමල් රාජපක්ෂ විශේෂ දායකත්වයක් දක්වා තිබිණි. ඒ සඳහා නාමල්, බැසිල් ඇතුළු කණ්ඩායම එම චෝදනාවන්ට පිළිතුරු දීමට කණ්ඩායම් සූදානම් කිරීම ආරම්භ කළේ කොළඹ පැවති හෝටලයකදීය. මේ සඳහා පොහොට්ටු ක්‍රියාකාරීන් තුන්සිය පනහක් පමණ සහභාගී වී තිබිණි. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි විය. මෙහිදී මාධ්‍ය විමසනු ලැබුවේ කවුරුන් ජනපති සටනට පැමිණෙයි ද යන්නයි. මහින්දගේ පිළිතුර වූයේ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දාන්නත් පුළුවන් නොදාන්නත් පුළුවන් යන්නයි.

නාමල් රාජපක්ෂ මීට පෙර පවසා තිබුණේ අපේක්ෂකයින් හය දෙනෙක් පොහොට්ටුවෙන් ජනාධිපති වීමට උත්සාහ දරමින් සිටින බවයි. කෙසේ හෝ නාමල් පොදුජන පෙරමුණේ එනම් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සියලුම දෙනාව මුණ ගැසීමට නියමිතය. ඒ කණ්ඩායම් වශයෙනි. මෙහි පළමු කණ්ඩායම පසුගිය සතියේ මුණ ගැසී තිබුණේ මලලසේකර මාවතේ නාමල්ගේ නිල නිවසේදීය. පළමු කණ්ඩායමට මන්ත්‍රීවරු 30ක් පමණ සහභාගී වී සිටියහ. නාලක කෝට්ටේගොඩ, ප්‍රේම්නාත් දොලවත්ත, ඉන්දික අනුරුද්ධ, මිලාන් ජයතිලක, සහන් ප්‍රදීප්, ඩී.වී. චානක ඇතුළු මන්ත්‍රීවරු මෙම සාකච්ඡාවට සහභාගී වී තිබිණි. මෙහිදී නාමල් සියල්ලන්ටම පෙන්වා දී ඇත්තේ සහයෝගයෙන් පොහොට්ටුව ගොඩනැංවිය යුතු බවයි.

තවද මෙහිදී සියලු ආසනයන් ආවරණය පරිදි විවිධ පක්ෂවලින් සමාජගත කරන බොරුවට පිළිතුරු දීමේ පිරිස් සංවිධානය කිරීම සිදු කිරීම පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.

ලබන සතියේදී නාමල් රාජපක්ෂ තවත් මන්ත්‍රී කණ්ඩායම් දෙකක් මුණ ගැසීමට සූදානමින් සිටියි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment