සර්වජන ඡන්දය සහ වචීපරම ප්‍රජාතන්ත්‍රවාදය නිදහසේ අභිමානය සහ සර්වජන ඡන්දය

138

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව විසින් ගෙන යනු ලබන අතාර්කික ක්‍රියාන්විතය පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර අවධානය ද යොමු වී තිබේ. ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටු සභාපති බොබ් මෙනෙන්ඩෙස් ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ‘ශ්‍රී ලංකාවේ ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම ප්‍රයත්නයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, එලෙස ජනතාවගේ හඬ උදුරා ගැනීම ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත්ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම පොහොට්ටුවේ දේශපාලනඥයන් අතර ද ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා අයිතීන් පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් සහිත ස්වල්ප දෙනෙක් හෝ සිටිතියි යන්න අපගේ අවබෝධයයි. බල තෘෂ්ණාවෙන් අන්ධ වූ හා දේශපාලන වසයෙන් අන්ත ජරාජීර්ණත්වයට පත්වූ පසුබිමක් තුළ වුවද තවමත් මෙරටේ මැතිවරණ සම්ප්‍රදාය පිළිබඳ ගෞරවයක් හා විශ්වාසයක් ජනතාව තුළ ද තිබෙන බව අපි හඟිමු. ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම මෙන්ම ජනතා පරමාධිපත්‍ය පිළිබඳ මෙරටේ බහුතර ජනතාව විසින් දක්වනු ලබන සාධනීය ප්‍රතිචාර කෙබඳු ද යන්නත් දේශපාලන නායකයෝ ද දනිති. එහෙත් ඇමෙරිකාවේ සෙනෙට් සභාව ඇහැට ඇඟිල්ලෙන් ඇන ප්‍රජාතන්ත්‍රවාදයේ පාඩම් මතක් කිරීම ගැන ආණ්ඩුවට ලැජ්ජාවක් නැතිවීම විස්මය දනවන්නකි.

මේ වනවිට රටක් වසයෙන් අප පත්ව සිටින අවදානම් තත්ත්වය මෙන්ම එයට තුඩුදුන් උග්‍ර ආර්ථික අර්බුදය පිළිබඳව ද බහුතර ජනතාවකට ප්‍රමාණවත් අවබෝධයක් ඇත. එසේම ඒ ආර්ථිකයේ පීඩනය කෙතරම් වුවද ජනතාව යම් විශ්වාසයකින් ජනාධිපති රනිල්ගේ ක්‍රියාකාරකම් දෙස බලා සිටි බවද අපගේ අදහසය. පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් පසුගිය දිනක ඍජුව ප්‍රකාශ කළේ ද මේ මොහොතේ ආණ්ඩුව තනි නොකරන බවය. ඇය එයින් අපේක්‍ෂා කළේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව හිකිම් සුරකින ශිෂ්ට රටක් ලෙස ජාත්‍යන්තරය සමග ද අවබෝධ්‍යකින් ක්‍රියා කරන රටක් විය යුතු බව විනා ඒ සමාජ දේශපාලන සාරධර්මවලට උඩින් පියාඹන රටක් නොවිය යුතුය යන්න නොවේ.

කෙසේ හෝ මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවම මැදිවී සිටින්නේ උභතෝකෝටික අර්බුද දෙකකටය. පළමුවැන්න ඉහත සඳහන් කළ පළාත් පාලන මැතිවරණය හා සම්බන්ධ වූවකි. දෙවැන්න ආණ්ඩුවේ බදු සංශෝධනය හා ඔරොත්තු නොදෙන තරමට ඉහළ දමා තිබෙන විදුලි බිලය. ඇත්ත වසයෙන්ම දැන් ආණ්ඩුව සිටින්නේ ආපසු හැරෙන්නට නොහැකි පසුබිමකද? නොඑසේ නම් කිසිසේත්ම ඉදිරියට තැබූ ඒ කිසිම පියවරක් ආපසු නොගන්නෙමු යන දැඩි අහංකර ස්ථාවරයකද? ආණ්ඩුවට හිතවත් බොහෝ දෙනෙකු විසින් පුන පුනා සඳහන් කරන්නේද රටේ ආර්ථික ස්ථාවරත්වය ඇතිවන තෙක් මැතිවරණ හෝ වෘත්තිකයන්ගේ ඉල්ලීම්වලට සවන් දීමට දුෂ්කර බවය. එහෙත් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන ජනමතයක් තිබෙන බව ඔව්හු කල්පනා නොකරති.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධ ක්‍රියාවලියේදී ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය පිළිබඳ දැඩි විවේචන තිබේ. මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදායක් අනුගමනය කරන රටක, ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රබල ලක්ෂණයක් වන මැතිවරණ පැවැත්වීම ප්‍රශ්නකාරී වී තිබේ. ලබන 9 හා 10 වැනි දිනවල ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විදායක් පැවැත්වීමට ද නියමිතය. වසර පනහකට වැඩි කාලයක් සර්වජන ඡන්දය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් හා වර්ධනයක් තිබෙන රටක් එබඳු තත්ත්වයකට ඇදවැටීම ඛේදවාචකයකි. ඉහත සඳහන් කළ ඇමෙරිකානු සෙනෙට් සභාව අවධාරණ්‍ය කරන්නේ ද ජනතා හඬ උදුරා ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය. අපට පෙනෙන ආකාරයට ද ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒ ජනතා හඬ මැඬලීමටය. ඇත්ත වසයෙන්ම ආණ්ඩු පාර්ශ්වයේ දේශපාලන තර්කවල හරය වී තිබෙන්නේ රටේ ආර්ථික දුෂ්කරතාවන්, නැතහොත් මූල්‍ය අර්බුදය සමනය වන තෙක් මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවය. එහෙත් ඒ ආණ්ඩුවේ ප්‍රමුඛ පාර්ශ්වය වන පොහොට්ටුවේ ඉදිරි පෙළ පවසන්නේත් මැතිවරණය කල් දැමීම නුසුදුසු බවය. එය වංක ප්‍රකාශයක්ද නැතහොත් ජනතාවගේ අභිලාෂයන් හඳුනාගෙන එයට එකඟතාව පළකිරීමක් ද යන්න දන්නේත් ඔවුන්ම පමණි.

සර්වජන ඡන්දය සහ වචීපරම ප්‍රජාතන්ත්‍රවාදය නිදහසේ අභිමානය සහ සර්වජන ඡන්දය

පළාත් පාලන මැතිවරණයට දිගින් දිගටම බාධා කරමින් ආණ්ඩුව විසින් ගෙන යන ලද දුෂ්ට ක්‍රියාන්විතය ගැන දැන් බොහෝ දේ රටට හෙළිවී තිබේ. ජනාධිපති රනිල් විසින් ඒ සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාර මෙන්ම, ඔහුගේම පාර්ලිමේන්තු කතාවද ඉමහත් සමාජ දේශපාලන ආන්දෝලනයකට තුඩු දුන්නකි. ඔහුගේ සමස්ත ක්‍රියාදාමය ප්‍රජාතන්ත්‍රවාදයට උඩින් පැනීමක් මෙන්ම දේශපාලන සාරධර්ම සමච්චලයට ලක් කිරීමක් ලෙසද විපක්‍ෂ පමණක් නොව සිවිල් සංවිධාන, මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම් මෙන්ම විද්වත්හුද අවධාරණය කළහ. රටේ රාජ්‍ය නායකයා ව්‍යවස්ථාදායක සභාවට ගොස් නැති ඡන්දයක් ගැන කතා කරන්නේ කොහොම දැයි ප්‍රශ්න කිරීම පුරවැසියන් වන අපට ද ගැටලුවකි. එසේම එදා පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් ඒ අතට මේ අතට ඇඟිලි දික් කරමින් පැවසුවේ විපක්‍ෂයේ සමහරුන් ඡන්දය කල් දැමීමට ඉල්ලා සිටි බවකි. හොඳයි මට එහෙම කිව්වෙ නැද්ද? කිව්වද නැද්ද?” ආදී වසයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශ පිළිබඳව විපක්‍ෂ දැඩි අප්‍රසාදය පළ කළේ වේදිකාවලය. ඇත්තටම ඔවුන් ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයාගෙන් එය ප්‍රශ්න කළ යුතුව තිබුණි. අනෙක් අතට තමන්ගෙන් එබඳු ඉල්ලීම් කළ අය ගැන සවිස්තරව දැක්වීමට හා ඒවා සත්‍ය බව තහවුරු කිරීමට ද ජනාධිපතිවරයාට හැකි වූයේ නම් එය මෙරටේ දේශපාලනයේ නිරුවත විදහා පෑමක් වන්නට ද ඉඩ තිබුණි.

මෙරටේ දේශපාලන ඉතිහාසයට එබී බලන ප්‍රබුද්ධ පුරවැසියකුට ඒ ඉතිහාසය මත පහරන ලද මුග්ධ දේශපාලන යුග පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම අසීරු නැත. 1975 දී එවක අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක මෙරටේ මැතිවරණය දෙවසරකින් කල් දැමුවාය. එහි අශීලාචාර ක්‍රියාකාරකම් වඩාත් සංවිධානාත්මකව සිදු වූයේ 1977 දී බලයට පත් වූ ජයවර්ධන යුගයේදීය. එදා සිරිමා ආණ්ඩුවට අභියෝග කරමින් සිය මන්ත්‍රී අසුනෙන් (බටහිර කොළඹ) ඉල්ලා අස්වී අතුරු මැතිවරණයකට තරග කළ ජයවර්ධනගේ ප්‍රතිචාරය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ අභීත ක්‍රියාවක් ලෙස ද එදා හැඳින්විණි. එහෙත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා කපටි ආරක්‍ෂකයකු බව ජනතා තීන්දු කළේ ඔහු බලයට පත්ව සිදුකළ ක්‍රියාකාරකම් දෙස බලමින්ය. ශ්‍රී ලංකාවේ මැතිවරණ සිතියම ටික කලකට හෝ හකුලා දැමීම ඔහුගේ අභිමතය විය. 1982 ජනමතවිචාරණය ඒ ක්‍රියාදාමයේ එක් ප්‍රකාශනයක් වැන්න.

ජයවර්ධන විසින් ආණ්ඩුක්‍රම ව්‍යන්‍ස්ථාව අවභාවිත කරන ලද බවට චෝදනා පවා නැගුණි. ජනමතවිචාරණය ව්‍යවස්ථානුකූල පියවරක් ලෙස පෙනුනත් එය නිසැකයෙන්ම මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ දරුණු ප්‍රහාරයක් ලෙස හැඳින්වේ. ඔහුගේ යුගය තුළ සිදුවූ ඡන්ද මංකොල්ල ද ඉතා ප්‍රකටය. 81 සංවර්ධන සභා මැතිවරණය ඉන් එකකි. එසේම මහර අතුරු මැතිවරණයෙන් එවක ප්‍රබල දේශපාලන චරිතයක් ලෙස ඉදිරියට එමින් සිටි විජය කුමාරතුංගට අත්වූ ඉරණම ද ඒ ඉතිහාසයේම අඳුරු මෙහෙයුමක් වැන්න. මහර අසුන ජයගත් විජයට ඒ ජයග්‍රහණය අහිමි කිරීමට තුච්ඡ දේශපාලන මෙහෙයුමක් කළ එජාපය විජයගේ දිනුම උදුරාගත් අයුරු රහසක් නොවේ. මේ හැරුණු විට මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ඡන්දයට බාධා කිරීම් කෙණෙහිලි කිරීම්, බියවැද්දීම් ආදිය ගැන ද සාක්‍ෂි බොහෝය. වයඹ මැතිවරණය (චන්ද්‍රිකා යුගය) මෙහි දූෂිතම ක්‍රියාන්විතයකි. එසේම 82 ජනමතවිචාරණයේදී මෙරටේ කීර්තිමත් දේශපාලනඥයකු වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ඡන්දය ද හොරෙන් දමා තිබුණි. කොබ්බෑකඩුවට ඇමති ධුර හෙබවූ මෙන්ම මෙරටේ ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ද තරග කළ අයෙකි. (ඔහුගේ ඡන්ද මධ්‍යස්ථානය වූයේ ලින්ඩ්සේ බාලිකා විදුහලය) මේවායින් තහවුරු වන්නේ අපේ දේශපාලන නායකයන් මෙන්ම ඔවුන්ගේ පක්‍ෂ විසින්ද මැතිවරණ සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාර කෙබඳුද යන්නයි. ජ.වි.පෙ. ද මෙරටේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් චූදිතයෙකි. එයට මුල් වූ දේශපාලනයක් ද විය. ජයවර්ධන පාලන යුගයේ ජ.වි.පෙ. තහනම් කර කැලයට එලවා දැමීම ද එයට හේතු වූ බව කියති. කුමක් වුවත් අද ඔව්හු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්ව සාමකාමී විරෝධතාවල නිරතව සිටින බවද කිව යුතුය. එසේම මෙරටේ දේශපාලන සංස්කෘතිය හා එහි භාවිතය පිළිබඳ ශාන්තුවරයෝ නම් නොවෙතියි කීමට අපි බිය නොවෙමු. ඒ කුමක් වුවත් දේශපාලනය වෙනුවෙන්, වඩාත් නිවැරදිව කිවහොත් බලය වෙනුවෙන් අප විසින් මොනතරම් රුධිර ගංගා වගුරුවන ලද්දේද? මොන තරම් වටිනා ජීවිත බිලිගන්නා ලද්දේද? භීෂණය, ඝාතනය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ පමණක් නොව මනුෂ්‍යත්වයේ සදාචාර පද්ධතියට ද එරෙහි වූ අධම අසෝබන ක්‍රියාකාරකම්ය.

මේ වනවිට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ ජා.ජ.බ. නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්‍ෂකයකු ලෙස සිටි නිමල් අමරසිරි පිළිබඳව ද විවිධ විග්‍රහ – විශ්ලේෂණ සිදු වෙයි. එය ඝාතනයක් බව ජ.ජ.බ. නායකයන් කියද්දී තවත් පිරිසක් උත්සාහ දරන්නේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ගැන පෙන්වා දීමටය. එහෙත් ඍජුවම දේශපාලනයට සම්බන්ධ වූ පුද්ගලයකු ලෙස ඔහුගේ එම සහභාගිත්වය නොමැතිවැයි කිව හැකිද? අනෙක් අතට අපේ දේශපාලනයෙහි නිරතව සිටින බෙහෙවින් වියපත් අය වුවද හැරමිටියෙන් යන තුරුත් දේශපාලනය අත්හැරීමට සූදානම් නොවෙති හැරමිටියෙන්, රෝද පුටුවෙන් පැමිණ හෝ ඒ දේශපාලනයෙහි නිරත වන අයගේ අපේක්‍ෂාව රටට සේවය කිරීම පමණක්ම විය නොහැක. ඒ අතින් ජාත්‍යන්තරයෙන් ලැබෙන ආඩම්බර පරමාදර්ශ කොපමණ අගනේද?

නිමල් අමරසිරිගේ මරණයට හේතුව තවම ප්‍රකාශයට පත්ව නැති වුවද ඔහුගේ මරණය සිදු වූයේ මැතිවරණය ඉල්ලා ඔහුගේ පක්‍ෂය විසින් පවත්වන ලද විරෝධතාවකට එක්ව කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීම නිසා බව කිසිවකුට ප්‍රතික්‍ෂේප කළ නොහැකි සත්‍ය වේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදෙසා අරගල කළ යුතු වයස සීමාවක් දැක්විය නොහැක. එනිසා ඔහුගේ ජීවිතය අහිමි වූයේ ඒ පොදුජන අරගලයකට එක්ව සාමකාමීව විරෝධය දැක්වීම නිසාය. මෙබඳු විරෝධතාවලට එක්වීමට පෙර කිසිවෙක් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණවලට ද සහභාගි නොවෙති. බන්දුල ඇමැතිවරයා කී පරිදිම විරෝධතා උද්ඝෝෂණවලට යන අයට එබඳු ප්‍රහාර පොදු ප්‍රතිචාර වේ. එහෙත් එබඳු අවස්ථාවක බලය යොදන ආකාරය ගැන පාලකයෝ වගකිව යුතු වෙති. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් අරගල කිරීමට හැම පුරවැසියකුටම අයිතියක් තිබේ. තම කැපවීම, උද්යෝගය අනුව පුරවැසියෝ ඒවාට දායක වෙති. එහෙත් එබඳු විරෝධතාවලට එක්ව මැරුම්කෑමට තබා ගෑස් ප්‍රහාරවලට ලක්වීමට ද ඔව්හු සූදානම් නොවෙති. එහෙත් පොලිසිය යොදවා අරගල විරෝධතා මැඬලීම හැම ආණ්ඩුවකම ස්වභාවයයි. පක්‍ෂවල අය ඒවා බලන්නේ ද පක්‍ෂවලම දෘෂ්ටි කෝණවලිනි. එහෙත් සත්‍ය වෙනම පවතී.

ආණ්ඩුව මේ මරණය දේශපාලනිකව මෙන්ම සදාචාරාත්මකවද කියවා බලා තම කාර්ය සංවිධානය කර ගත යුතුය. තොපිට දෙඤ්ඤම් හොඳ ඡන්දයක්’ යන අධම යන අධම මානසිකත්වයකින් ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ට ක්‍රියාකළ නොහැක. දැනටමත් ආණ්ඩුව මේ පළාත් පාලන ඡන්ද විරෝධය නිසා හත් පොලේම ගාගෙන සිටියි. මැතිවරණ කොමිසමේ පුංචිහේවාට දේශපාලන අංචි අදින ආණ්ඩුව කපාගන්නේ තමන්ගේම දේශපාලන වළය. 75 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සැමරූ ලංකාවට ජනතා හඬ මර්දනය කිරීමට ඉදිරිපත් නොවන ලෙස ඇමෙරිකාවේ සෙනෙට් සභාව අවවාද කරන්නේ නිකම්ම නොවේ.

ලංකාව අතිශය මූල්‍ය අර්බුදයක පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී මාත හැර දේශපාලන වනාන්තරයක වල්මත්ව සිටින බව සැඟවිය නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පනවා තිබෙන කොන්දේසි අනුව අද ආණ්ඩුව මහ බැංකුව ස්වාධීන කිරීමේ කෙටුම්පතක් ද සම්මත කරයි. දේශපාලන කෙළි මඬලක් බවට පත්ව තිබුණු ආයතනයක් ඉන් මුදාගැනීමට ඇමෙරිකාව කියද්දී, ඇමෙරිකාවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ හරයත්, ජීව ගුණයත් අපේ පාලකයන්ට පෙන්වා දී තිබීම සරදමකි. ‘ඡන්දය ගන්නයි අපි ආවේ’ කියමින් ජනතාව වීදි බසිද්දී ‘කොච්චර කිව්වත් ඡන්දය දෙන්නෙම නෑ රාලේ’ යැයි කියමින් ආණ්ඩුවට මුරණ්ඩු පිළිවෙතක් අනුගමනය කළ හැකිද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment