ඇඟට පෙට්‍රල් දාලා මට ගිනි තිබ්බා – සෞදියේ ගෘහ සේවයට ගිය ගොතටුවේ තිදරු මව කියයි

85

සෞදියේ ගෘහ සේවයට ගොස් සිටි ශ්‍රී ලාංකික තිදරු මවක වන තමාට තමා සේවය කළ නිවසේ හිමිකරු සහ හිමිකාරිය එක්වී ශරීරයට පෙට්‍රල් දමා ගිනි තැබූ බව ගොතටුව පදිංචි 45 හැවිරිදි නයනා දිල්රුක්‍ෂි මහත්මිය සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කළාය.

තමන් මීට මාස 7කට පමණ උඩදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන් බව ද ඇය හැඬූ කඳුළින් කියා සිටියාය.

මාස ගණනාවක් සෞදියේ රෝහලක තමන් ප්‍රතිකාර ලබමින් සිටි බවත් පසුව එරට පොලිසියේ මැදිහත්වීමෙන් තමාව රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළ බවත් ඇය කියා සිටියාය.

දැඩි දුෂ්කරතා මධ්‍යයේ මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ එම රැඳවුම් මධ්‍යස්ථානයේ තමන් ජීවත්වන බැවින් ඉක්මනින්ම තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඈ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටී.

ඇය පසුගිය පෙබරවාරි 8 වැනිදා විදේශ රැකියාවක් සඳහා සෞදියේ රියාද් නගරයට පිටත්ව ගොස් ඇත්තේ කුරුණෑගල විදේශ රැකියා නියෝජිත ආයතනයක සහාය ඇතිවය.

එම විදේශ රැකියා නියෝජිත ආයතනයට ඇය යොමුකර තිබුණේ තවත් කාන්තාවක් විසිනි.

ඒ අනුව ඇය සෞදියේ මහල් 3කින් සමන්විත නිවසක සේවයට පැමිණ තිබේ.

ඇය එම නිවසේ සේවය කරමින් සිටියදී පසුගිය මාර්තු 13 වැනිදා නිවසේ හිමිකාරිය සහ හිමිකරු විසින් ඔවුන්ගේ දරුවන්ට නිසි ලෙස ආහාර ලබා නොදුන් බව පවසමින් ඇයට පහරදී තිබේ.

පසුව එම කාන්තාව, නයනා දිල්රුක්‍ෂි මහත්මියගේ ශරීරයට පෙට්‍රල් විසිකර ගිනි තබා තිබේ.

ඉන් බේරීමට ඇය කෑ ගා ඇතත් ඉන් ඵලක් වී නැත.

පසුව නිවසේ හිමිකරු එම ගින්න නිවා දමා ගිලන් රථයක් ගෙන්වා ඇය රෝහලකට යොමුකර තිබිණි.

පසුව එම නිවසේ හිමිකාරිනිය පොලිසියට පවසා තිබුණේ නයනා දිල්රුක්‍ෂි විසින් ඇගේ සිරුරට ගිනි තබාගෙන ඇති බවය.

එහෙත් නයනා මහත්මිය පවසනුයේ තමා එවැනි දෙයක් සිදුකර නොගත් බවය.

තමා විදෙස් රැකියාවකට යොමුවූයේ තමන්ගේ මව රැක ගැනීමට හා නිවසක් තනා ගැනීමට තිබූ අවශ්‍යතාවය මත බව නයනා මහත්මිය කියා සිටියාය.

මේ සම්බන්ධයෙන් නයනා දිල්රුක්‍ෂි මහත්මිය විදේශ රැකියා ආයතනයට යොමුකර අදාළ තැරැව්කාර කාන්තාවගෙන් සිද්ධිය පිළිබඳ විමසීමේදී ඇය පවසා ඇත්තේ තමන්ට පැවරී ඇත්තේ එම විදේශ රැකියා නියෝජිත ආයතනයට කාන්තාවන් යොමු කිරීමට පමණක් බවත් ඒ සඳහා තමන්ට මුදලක් ලබාදෙන බවත්ය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment