උණට බෙහෙත් ගන්න රෝහලට ගිය 8 හැවිරිදි දැරියට අතක් අහිමි වෙයි

320

උණ රෝගය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අට හැවිරිදි දැරියකගේ අතක් වෛද්‍යවරුන් විසින් 4 දා ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කර තිබේ.

මෙම දැරියට දින හතරක් පමණ උණ රෝගය තිබී ඇති අතර පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත්තත් සුව නොවීම නිසා යාපනය ශික්ෂණ රෝහලට රැගෙන විත් තිබේ. දැරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වාට්ටුව භාර හෙදිය දැරියගේ අතට කැනියුලාවක් සවිකර ඇති අතර පසුව ක්‍රමයෙන් ඇගේ අත අකර්මන්‍ය වන්නට පටන් ගෙන තිබේ.

මේ පිළිබඳව වෛද්‍යවරුන්ට දැනුම් දීමෙන් පසු දැරියගේ ජීවිතය බේරා ගැනීමට නම් වහාම ඇගේ අත ඉවත් කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කොට ඇත. ඒ අනුව දැරිය ශල්‍යාගාරයට රැගෙන ගොස් අත ඉවත් කොට ජීවිතය බේරා ගෙන තිබේ. උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් මෙසේ අතක් අහිමි වී ඇත්තේ යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි යාපනය හින්දු විද්‍යාලයේ තුන් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අට හැවිරිදි පාසල් සිසුවියකටය.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී. සත්‍යමූර්ති මහතා පැවසුවේ යාපනය ශික්ෂණ රෝහලේ එවැනි සිද්ධියක් සිදු වී ඇති බවයි. කැනියුලාවේ යම් දෝෂයක් නිසා මේ තත්ත්වය උද්ගත වූයේද එසේත් නොමැති නම් වෙනත් හේතුවක් ඊට බලපෑවේද යන්න පිළිබඳව සොයා බැලීමට වෛද්‍යවරුන් දෙදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කොට ඇති බවත් එම කමිටු වාර්තාව ලද වහාම සිද්ධිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණිය හැකි බවත් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment