දළදා සාහිත්‍යය දළදා පෙරහැර

247
පාලි වංසකතා සාහිත්‍යයෙහි අද්විතීය කෘතිය වශයෙන් සැලකෙන මහාවංසයෙහි කෝට්ටේ යුගයේ දළදා වහන්සේ පිළිබඳ විස්තර සැකෙවින් විස්තර වේ. පස්වන බුවනෙකබාහු රජතුමා විසින් රිදී හත්දාහක් පමණකින් නිම කරන ලද රිදී කරඬුවක දළදා වහන්සේ ගෞරවයෙන් යුක්ත ව වඩාහිඳුවා නිරන්තරයෙන් රාජකීය ගෞරව පුදසත්කාර සිදු කළ බව එහි සඳහන් වේ.

රජසතතසහසෙසහි කාරෙත්‍වාන කරණඩකං
දනතධාතුං පවඩෙඪත්‍වා පූජෙනෙතා සතතාදරො

එසේම හය වැනි පැරකුම් රාජ්‍ය කාලයේ දී දළදා වහන්සේ උදෙසා සිදුකළ පුදසත්කාර ආදිය ද මෙහි ලා ඉතා වැදගත් වේ. සූර්ය වංශයෙහි උපන්නා වූ ඒ පරාක්‍රමබාහු රජු ජයවර්ධන නම් වූ රම්‍ය වූ පුරවරයෙහි රාජ්‍යත්වයට පැමිණ බුදුරජාණන් වහන්සේගේ දළදාව උදෙසා තුන්මහල් මනරම් වූ රුචිර දර්ශන ඇති ප්‍රාසාදයක් කරවා ඇති බව මහාවංසයෙහි සඳහන් වේ.

මුනින්‍දදාඨාමුදදිසස තිභූමකමනොහරං
චාරුදසසනපාසාදං කාරෙත්‍වා සො මහීපතී

කෝට්ටේ යුගයෙහි දළදා සාහිත්‍යය පිළිබඳ කරුණු රාශියක් එම යුගයෙහි රචිත සිංහල සන්දේශ සම්ප්‍රදායයෙන් ප්‍රකට වේ. කෝට්ටේ යුගයේ සිටි සුවිශේෂී යති රුවනක් වශයෙන් රාජගුරු ශ්‍රී සංඝබෝධි ශ්‍රී විජයබාහු ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටක වාගීශ්වර විජයබා පිරුවන්පති තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ හිමියන් අවිවාදයෙන් සැලකේ. උන්වහන්සේගේ කාව්‍යකරණයෙහි සුවිශේෂීත්වය ප්‍රකට කරන අද්විතීය නිර්මාණයක් වශයෙන් සැළලිහිණි සන්දේශය හැඳින්වේ.

ලොව විහිදා සුදුපැහැ සඳ රැසෙව් සැදි
දෙන නොමදා සිරි සඟමොක් සැප නිසැඳි
ලද මුනිඳා දම්කඳ පහස මන බැඳි
වඳු දළඳා හිමි තෙමහල් පහය රැඳී

ඉහත කවිය සැළලිහිණියාට දළදා සමිඳුන් වඳින්නට පවසන අවස්ථාව යි. එකල දළදා වහන්සේ වැඩ සිට ඇත්තේ තුන් මහල් ප්‍රාසාදයක ය. දළදා සමිඳුන්ගේ කාන්තිය සුදු සඳ රැස් මෙන් ලොව පුරා පැතිරී ගොස් ඇත්තේ ය. ඒ මඟින් නිතර ම ස්වර්ග මෝක්‍ෂ සම්පත්තිය බහුලව වහනය කෙරෙයි. බුදුන්ගේ සිත්හි ඇති මහාධර්මස්ඛන්ධයේ ස්පර්ශ ලැබුයේ ද දත්ත ධාතූන් වහන්සේ ය. සැළලිහිණියෙහි එම කවියෙන් දැක්වෙන්නේ ද ඉහත පාලි මහාවංසයෙහි සඳහන් තුන් මහල් දළදා මන්දිරය යි.

හයවන පරාක්‍රමබාහු රජු ඊට අමතරව නවරත්නයෙන් මනාකොට බඳනා ලද රන් කරඬුවක් ද එය වසා නානාප්‍රකාර කාන්ති බබලන්නා වූ උතුම් මැණික් බඳනා ලද අන්‍ය වූ කරඬුවක් ද භේද ඇතුළු කොට රන් කරඬුවක් ද දළදා වහන්සේ උදෙසා කළේය. අතුල්‍ය වූ මහත් උතුම් කරඬුවක් ද කොට උතුම් කාන්තිමත් වර්ණයෙන් ආලේප කොට භව සුව හා නිවන් සුව පතන්නා වූ ඒ රජ තෙමේ උතුම් වූ කරඬු සතරෙහි දළදාව වැඩ වූ බව පහත පරිදි මහාවංසයෙහි දැක්වේ.

නවරතනසුබදධං සොණණචඞෙගාටකං ච
විවිධජුතිජලනතං තමපි ඡාදෙත්‍ව මඤඤං
පවරමණිසුබදධං කමබුචඞගාටකඤච
අකරි තමපි අනෙතාකත්‍ව හෙමං කරණඩං

පරෙවි සන්දේශය යනු පැරකුම්බා රජු ප්‍රමුඛ රජය ආරක්‍ෂා කරන ලෙස දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙත පරවියෙකු මගින් හසුනක් යැවීමයි. බුදුන් වහන්සේ අතීතයෙහි තමන්ට කළා වූ උතුම් ගුණය සිහි කොට සක් රජු පූජා කළ කිරුළ වැනි ස්ථීරසාර උස් වූ විචිත්‍ර ප්‍රාසාදය ඇතුළෙහි බබළන්නා වූ රශ්මි සමූහය සහිත ස්වර්ණ මාණික්‍යමය කරඬුව තුළට පැමිණියා වූ ධවල වර්ණ කාන්තිය පතුරුවා ලෝක සත්වයාගේ නේත්‍ර (නමැති) තරංග මනාව අලංකාර කොට ලංකා ද්වීපය නමැති ආකාශයෙහි ළපටි සඳ මෙන් බබළන සියලු කල්හි දිව්‍ය මනුෂ්‍ය නාගයන්ගේ මනස සතුටු කළ දළදා ස්වාමින් වැඳ දිව්‍ය මෝක්ෂ ප්‍රතිඵල ලබන්න. යනුවෙන් පරෙවි සන්දේශයෙහි දළදාව පිළිබඳ පහත අයුරින් කරුණු දක්වයි.

විහිදා කැලුම් සිත ලෙව්සත නෙත තරඟ
සුසදා රඳන හෙළ දිව’ඹර ළසඳ රඟ
ඇමදා සතන් නඳ කළ සුරනර උරඟ
දළදා හිමිඳු වැඳ පල ලබ සග’පවග

කර්තෘවරයා අඥාත යැයි සැලකෙන ගිරා සන්දේශය ද කොට්ටේ යුගයෙහි දළදා වහන්සේ පිළිබඳ ඇති සාහිත්‍ය මූලාශ්‍රයකි. හය වැනි පරාක්‍රමබාහු රජතුමා, සම්බුද්ධ ශාසනය, රටවැසියන් රෝග බියෙන් මුදා ආරක්‍ෂා කර දෙන ලෙස නාථ දෙවියන්ට කියා සිටීම සඳහා තොටගමුවේ විජයබා පිරුවන්පති තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වෙත ගිරවෙකු මගින් කවි 254 ක හසුනක් යැවීම මෙහි අරමුණ යි.

පෙර උවිඳා ගෙන ගිරිඳා කිරි සයුර
කළඹනදා නැඟි නොමඳා ගොස අයුර
තුරු සමුදා නද ඇමදා දෙන නොහැර
වැද දළදා ගෙට දළදා වඳු මිතුර

අතීතයේදී විෂ්ණු මන්දාර පර්වතය ගෙන, එය වාසුකී නාග රාජයාගේ දරණින් වෙලා කිරිසයුර කැළඹූහ. ඒ සිද්ධිය මෙහි දී කවියා සිහි කෙරේ. කිරි මුහුද කැලඹීමෙන් එදා නැගුණා වූ විශාල ශබ්දයේ ස්වභාවයම මේ ජයවර්ධනපුර නුවරින් නැගෙයි. මන්ද දළදා මැඳුරෙහි පූජාවට නගන තූර්ය නාදයෙනි. විෂ්ණු දෙවියන් කිරි මුහුද කැලඹීමෙන් නැගෙන ශබ්ද හා ශබ්දයක් එකල දළදා මැඳුරෙහි ශබ්ද පූජාව පැවැත්වීම තුළින් නැඟුන බව මෙයින් ප්‍රකට වේ.

කෝට්ටේ යුගයේ දී කෑරගල පත්මාවතී පිරිවෙනෙහි වැඩ සිටි වනරතන සංඝරාජ මාහිමියන් වෙත හංසයකු මගින් යවන ලද කවි 204 න් සමන්විත හසුන හංස සන්දේශය නම් වෙයි.

මුනිදා පින්පිඬුව පෙනුණා මෙන් ලොවට
විහිදා රන් රුවන් රැස් දිගත එළිකොට
ඇමදා දිළි සතුන් නෙත් සිත් සතුටු කොට
දළදා මැඳුරතට වැද නැමැද පුද කොට

ජයවර්ධනපුරයෙහි දළදා මැඳුර බුදුරදුන්ගේ පින් පිඬුවක් වී පවත්නා අයුරින් දිස් විණි. බුදුරදුගේ පින් මෙපමණැයි කිව නොහැකියි. එවන් පින් පිඬු වූ තැන පින්බිමක් වශයෙන් කොතරම් විශිෂ්ට වන්නේ ද යන්න සිතිය නොහැකිය. කවිසමය අනුව පින සුදු ය. ඒ අනුව මේ කියන දළදා මැඳුර ද සුදෙන් බැබළුණු බව ද හැඟැවෙයි. එහි රන් රුවනින් කළ විසිතුරු කර්මාන්තයන්හි ආලෝකය දිශා කෙළවර තෙක් පැතිරෙයි. මෙසේ හැමදා දිලෙන දළදා මැඳුර දුටුවන්ගේ නෙත් සිත් සතුටු කරවයි. එවන් දළදා මැඳුරට පිවිස වැඳ නමස්කාර කරන්න යැයි ඉහත හංස සන්දේශ කවියෙන් පැවසේ.

අතීතයේ සෑම රාජධානියකම පාහේ දළදා වහන්සේට වැඩ සිටීම සඳහා රාජරාජමහාමාත්‍යවරු තුන් මහල් ප්‍රාසාද ගොඩනඟා ඇති බව ප්‍රකට කරුණක් වුවත් වර්තමානයේ මහනුවර දළදා මාලිගාවේ ඇත්තේ උඩ මාලය සහ පාත මාලය යනුවෙන් මහල් දෙකක් පමණි. මහනුවර මුල් ම දළදා මාලිගාවෙහි මහල් තුනක් තිබුණත් පසුකාලීන පරසතුරු උවදුරු හමුවේ එය විනාශ වීම නිසා වර්තමානයේ මහල් දෙකකින් යුක්තව මහනුවර දළදා මාලිගාව ඉදි වී ඇත. කෙසේවෙතත් හය වැනි පැරකුම්බා රජතුමා දළදා වහන්සේ උදෙසා ඉදි කළ තුන්මහල් දළදා මැඳුර පිළිබඳ මහාවංසයෙහි සහ සැළලිහිණි සන්දේශයෙහි එක සමාන ව සඳහන් වේ.

● තාවකාලික කථිකාචාර්ය
පූජ්‍ය ඇහැලේපොල මහින්ද හිමි
ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය – අනුරාධපුරය

advertistmentadvertistment
advertistmentadvertistment