චීන තානාපති අගමැති හමුවෙයි

80

චීනය, ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහාය ඉතා ඉහළින් අගය කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ෂෙන්හොං (Qi Zhenhong) මහතා (26 ) දින කොළඹ අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ආර්ථික ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුම් වෙනුවෙන් චීනයෙන් ඍජු ආයෝජන මෙන්ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන අපේක්ෂා කරන බවයි.

නව ආයෝජන ව්‍යාපෘති, චීනය සමග වෙළෙඳාම පුළුල් කිරීම, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහන්, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සංස්කෘතික හුවමාරු , ඉහළ පෙළේ සබඳතා සහ අඩු වරප්‍රසාදලත් අයට ආධාර සම්බන්ධ කරුණු මෙම සාකච්ඡාවේදී ආවරණය කෙරිණී.

චීනයේ යුනාන් ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන ලද ඉහළ අස්වැන්නක් සහිත සහල් වර්ග හඳුන්වා දී මෙරට වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය ජනයාට සහාය වන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී චීන තානාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

තානාපති කිව් ෂෙන්හොං මහතා දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය දැකීමෙන් සතුටු වන බව පැවසූ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රයත්නයන් සපුරාලීම සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට සහතික විය. බදුල්ල සහ බුත්තල වැනි දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට ගොස් අධ්‍යාපන අවශ්‍යතා ලබාදීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා චීනය ලබාදෙන සහාය පිළිබඳව ස්තුතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සමුළුවලදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් චීනයේ ස්ථාවරය පිළිබඳව විශේෂ සඳහනක් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment