හාල් මිලට මෝල්ලු ඇවිළෙති

387

● තොපි හැමදාම මාෆියාව ඇති කළා මාව හැමදාම අහුවුණා…. – රජය පාලන මිලට හාල් දිය යුතුයි – ඩඩ්ලි සිරිසේන (අරලිය)

● ඔය කියන මිලට හාල් දෙන්න බැහැ

● වියදම් වැඩිවීම නිසා රු.25 කින් මිල  වැඩි කළ යුතුයි – මිත්‍රපාල (නිව් රත්න)

● අපි ඩඩ්ලි කියන ගානට සහල් දෙනවා – මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති රංජිත්

රටේ සහල් හිඟයක් ඇතිවන බවට දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශව අදහස් ප්‍රකාශ කරන විට මහ මෝල් හිමියන් දෙදෙනකු වන ඩඩ්ලි සිරිසේන සහ ලංකේෂ්වර මිත්‍රපාල යන මහත්වරුන් මත දෙකක සිටීම නිසා ඊයේ (22 දා) පැවැති මෝල් හිමියන්ගේ මාධ්‍ය හමුව දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගත්තේය.

ඩඩ්ලි සිරිසේන මහතා “අරලිය” සහල් හිමිකරු වන අතර ලංකේෂ්වර මිත්‍රපාල මහතා “නිව් රත්න” සහල් හිමිකරුවේ. ඩඩ්ලි සිරිසේන මහතා රජයේ පාලන මිලට හාල් ලබාදිය යුතු බව තම මතය බව කීමේදී එම මිලට වඩා රුපියල් 25 ක් වැඩියෙන් සහල් අලෙවි කළ යුතු බව මිත්‍රපාල මහතා ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

මෙතෙක් කලක් සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය වෙනම මාධ්‍ය හමු පැවැත්වූ අතර ඔවුන්ද ඊයේ (22 දා) මහ මෝල් හිමියන් දෙදෙනා සමග එකම මාධ්‍ය හමුවකට සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.

ඩඩ්ලි සිරිසේන මහතා නාඩු රුපියල් 220 ක්, සම්බා 230 ක්, කීරි සම්බා 260 ක් වන පාලන මිලට තමා සහල් අලෙවි කරන බවත් අනෙක් මහමෝල් හිමියන්ද එම පාලන මිලටම සහල් අලෙවි කළ යුතු බවටත් දැඩි ස්ථාවරයක සිටි අතර තමාට එයට එකඟ විය නොහැකි බවත් එම සහල් වර්ග තුනම පාලන මිලට වඩා රුපියල් 25 බැගින් වැඩිකර අලෙවි කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත් මිත්‍රපාල මහතා කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන මහතා මෙසේ කියා සිටියේය.

අපි අවුරුදු 40 ක් තිස්සේ මේ රටේ ජනතාවට සහල් අලෙවි කර ලාභයක් ලබා ගත්තා. අපේ ජීවිතයේ දුක් විඳපු අවස්ථා සියයට 10 යි. සියයට 90 ක් ලාභ ලැබුවා. මෙච්චර කල් හම්බ කළේ ජනතාවගෙන් නිසා ඒ ලබපු ලාභයෙන් කොටසක් සියලුම ව්‍යාපාරිකයන් විසින් (සහල් නොවන අයත්) දිය යුතුයි කියලා මම කියනවා.

අපි ජනතාව විඳින දුක බලන්න ඕනෑ පාර්ලිමේන්තුවේ 225 ම වැඩක් නැහැ. ඒ අයට ජනතාවගේ දුක දැනෙන්නෙ නැහැ. ඉන්ධන මිල, බැංකු පොලී ඇතුළු සියලුම වියදම් වැඩි වුණත් ජනතාව ගැන හිතලා පාලන මිලට සහල් දිය යුතුයි කියන මතයේම මම ඉන්නවා. මුදිත පෙරේරා යැයි කියන අයෙක් මම දිනකට රුපියල් කෝටි 10 ක් ලාබ ලබනවා කිව්වා. කෝටියට බිංදු අටයි. නාඩු 220 ගානේ වික්කොත් කිලෝ 45 ක් විකුණන්න ඕන. මේ කෙනා කියන්නේ මම දවසකට වී කිලෝ ලක්‍ෂ 25 ක් විකුණනවා කියලයි. මගේ දෛනික නිෂ්පාදනය සහල් කිලෝ ලක්‍ෂ 04 යි. රටේ දෛනික සහල් පරිභෝජනය මා විසින් සිදුකරනවා කියලයි මෙයා කියන්නේ. රටේ මුදල් හොරාකාපු අයෙක් කියන මේ ප්‍රකාශ ගැන සොයා බලා වාර්තා කරන්න.

නිව් රත්න සහල් හිමිකරු ලංකේෂ්වර මිත්‍රපාල මහතා- අපි දෙන්න එකට සිටියට අදහස්වල වෙනස්කම් තියෙනවා. ඉන්ධන මිලේ සිට සියලු වියදම් ඉහළයෑම නිසා සහල් මිල රුපියල් 25 කින් වැඩිකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළා. අපි ගොවියාවත් රැකගන්න ඕන නිසයි මේ ඉල්ලීම කළේ. නාඩු රුපියල් 245 ට දෙනකොට වෙළෙන්දට රුපියල් 05 ක් දෙන්න පුළුවන්. රුපියල් 220 ට සහල් විකුණන්න රුපියල් දෙකක් (218) අඩුවෙන් අරන් සහල් විකුණන්න වෙළෙන්දන් ඉදිරිපත් වෙන්නේ නැහැ.

ගොවියාගේ පොහොර මිටිය 30,000 යි. 40,000 යි. ඉන්ධන මිල ඉහළ ගිහින්. රුපියල් 25 ක් වැඩි කළත් හිඟයකින් තොරව සහල් දෙන්න පුළුවන් මට සියයට සියයක් පාඩුවට සහල් දෙන්න බැහැ.

මෙහිදී ඩඩ්ලි සිරිසේන මහතා මිත්‍රපාල මහතාගේ අදහසට දැඩි විරෝධය දක්වා මාධ්‍ය හමුවෙන් නැගිට යන ලෙසට මිත්‍රපාල මහතාට බල කිරීමත් සමග මෙම මාධ්‍ය හමුව දැඩි උණුසුම් ස්වභාවයක් ගත්තේය.

ඩඩ්ලි සිරිසේන මහතා – මිත්‍රපාල මහත්තයා මගේ මිත්‍රයා හිතවතා අසල්වැසියා වුණාට වැඩිම නාඩු වී තියෙන්නේ එයා ළඟයි. මගේ ගාව තියෙන්නෙ ලොකු මිනිස්සු කන කීරි සම්බා. මම කියන්නේ රජයේ පාලන මිලට සහල් දෙන්න ඕනෑමයි (මාධ්‍ය හමුවෙන් නැගිටිමින් අදහස් දක්වයි) මේ ගානට දෙන්න ඕනෑ.

මාධ්‍ය – මිත්‍රපාල මහතා මේ මිලට එකඟද?

ඩඩ්ලි සිරිසේන මහතා – බම්බුවද? ආයේ අහන්නේ. රජයේ පාලන මිලට දිය යුතුමයි. මේවා දෙන්නේ නැත්නම් රජයට පවරා ගන්න. වී ටික අරගෙන සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට දෙන්න.

මිත්‍රපාල මහතා – මේ මිලට එකඟ වෙන්න බැහැ.

ඩඩ්ලි සිරිසේන මහතා – එකඟ නැත්නම් රජය මැදිහත් වෙන්න ඕනෑ. මේ ආණ්ඩුවට කොන්ද පණ නැහැ. අපි එකතු වෙලා මේ ටික කරමු. ජනතාවට සහල් ගන්න බැරි තත්ත්වයට පත්වෙලා.

මිත්‍රපාල මහතා – මේ වනවිට ජනතාව කීරි සම්බා කන එක අඩු කරලා. නාඩු සහල්වලට යොමුවෙලා. කීරි සම්බා වී මිලත් අඩුවෙලා.

ඩඩ්ලි සිරිසේන මහතා – බොරු කියන්න එපා. හාල් මිල වැඩි කරන්න මෙතන කථා කරන්න එපා. මුන් හැමදාම එකතු වෙලා සහල් මිල වැඩි කළා. නිපුන, ලක් සහල්, රත්න මේ අය තමයි හැමදාම මාෆියාව ක්‍රියාත්මක කළේ. අරලිය ඩඩ්ලි සිරිසේන තමයි මාෆියාව හෙළි කළේ. ඔය කියන අයගේ සහල් මිල වැඩි කරලා දින කිහිපයක් ගියාම තමයි හැමදාම අරලිය මිල වැඩිවෙලා තියෙන්නේ.

මිත්‍රපාල මහතා – මට මේක පැහැදිලි කරන්න දෙන්න. එක එක්කෙනා කියන විදියට සහල් මිල අඩු කරන්න බැහැ.

ඩඩ්ලි සිරිසේන මහතා – වී දෙනවා ඕයි පාලන මිලට. තොපි හැමදාම කළේ ඕක තමයි. අපි ගාව තියෙන්නේ රුපියල් 7500 ට ගත්ත වී. මේ අය මිල හදලා තියෙන්නේ 10,000 ට ගත්ත විදියටයි. මිල ඉහළ ගියාම ඒක බලමු. පාලන මිලට දිය යුතුමයි. අපි මෙච්චර කල් ලාභ ලැබුවනේ. අපි සහල් මිල අඩු කරලා ගොවියා ආරක්‍ෂා කරන්න වී මිලදී ගැනීම වැඩි කරමු. දැන් රට හාල් තියෙනවා. මේ රට හාල් රුපියල් 190 වෙන්න ඕන. අපි කියන්නේ කඩ හිමියන්ට හාල්වලින් රුපියල් දෙකක් තියන් විකුණලා වෙනත් බඩුවලින් ලාභයක් තියාගන්න. සහල් කියන්නේ ප්‍රධාන ආහාරය. තුන්වේල කන්න සහල් ඕනෑ. මුලින්ම රටේ ජනතාව අපහසුතාවයෙන් ඉන්න එක තේරුම් ගන්න.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩී. කේ. රංජිත් මහතා

රජයේ පාලන මිලට සහල් දීමට මහ මෝල් හිමියන් එකඟ වීමට අපිත් සහාය දෙනවා. සහල් මිල තීරණය කරන්න පාර්ශව 07 ක් එක්වෙනවා. ඒ තමයි ගොවියා සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියා ගමේ වී එකතු කරන කෙනා. මහා පරිමාණ හාල් මෝල් හිමියා තොග වෙළෙන්දා. සිල්ලර වෙළෙන්දා. මේ පාර්ශවවලට අමතර ප්‍රවාහන, ගබඩා කිරීම ඇතුළු තවත් කරුණු රැසක් මතයි මිල තීරණය වෙන්නේ.

කෙසේ වෙතත් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ප්‍රකාශ කර සිටියේ ඩඩ්ලි සිරිසේන මහතාගේ මතයේ තමන්ද සිටින බවයි.

චමින්ද සිල්වා, ඡායාරූපය – නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment