රිදීතිරය අඹරන 800 දූස්රාව

133

මගේ ජීවිතය වගේම මේ චිත්‍රපටයත් පටන් ගත්තෙ ප්‍රශ්න ගොඩක් මැද්දේ
විජය සේතුපතිට අයින් වෙන්න කිව්වේ මම

ලොව බිහි වූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය කරන ලද 800 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගිය මාසයේ 05 වැනිදා ඉන්දියාවේ මුම්බායිහිදී එළිදක්වන ලදී. දමිළ සිනමාවේ සුප්‍රකට අධ්‍යක්ෂවරයකු වන එම්. එස්. ශ්‍රීපතිගේ සිනමා නිර්මාණයක් වන 800 තිර රචනය ද එම්. එස්. ශ්‍රීපති සහ ෂෙහාන් කරුණාතිලක විසින් සිදුකර ඇත. මුරලි ගේ චරිතයට පණපොවන්න විජය සේතුපති තෝරා ගෙන තිබුණත් තමිල්නාඩුවේ ඇතැම් පාර්ශ්වයන්ගේ දැඩි බලපෑම් මත සේතුපති ඉන් ඉවත්වීමට තීරණය කරන ලදී. ඒ අනුව ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ Slumdog millionaire චිත්‍රපටයේ සලීම්ගේ චරිතයට පණපෙවූ මධූර් මිට්ටාල්, මුරලිගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා 800 චිත්‍රපටය මේ මස 06 වැනිදා සිට භාෂා හතරකින් ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය. 800 සිනමා නිර්මාණය ලංකාවට ගෙනැවිත් බෙදාහරිනු ලබන්නේ ලයිකා නිෂ්පාදන සමාගම සමග ඊ. ඒ. පී. සිනමා මණ්ඩලය විසිනි. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පසුගියදා පවත්වන ලදී. එම අවස්ථාවට මුත්තයියා මුරලිදරන්. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංග ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන වගේම අර්ජුන රණතුංගගේ චරිතය රඟදක්වන කිංග් රත්නම් ද සහභාගි වූහ.

රිදීතිරය අඹරන 800 දූස්රාව

මෙහිදී පැමිණ සිටි මාධ්‍යවේදීන් හමුවේ මුත්තයියා මුරලිදරන් 800 සිනමා පටය ගැන පැවසුවේ මෙවැනි අදහසකි.

“මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනෑ අර්ජුන අයියට. එයා තමයි මාව මුලින්ම බලල කණ්ඩායම ඇතුළට දැම්මේ. ඒක කවුරුවත් දන්නේ නැති කතාවක්. 1992 ටෙස්ට් තරගයේදී තමයි මම මුලින්ම කණ්ඩායමට එකතු වුණේ මේ චිත්‍රපටයෙත් ඒ කතාව තිබෙනවා. ඒ කාලෙ ඉඳලා අර්ජුන අයියා මාව අපේ තාත්තා වගේ තමයි බලාගත්තේ. එයා හිටියෙ නැතිනම් මම මෙතැන කතා කරන එකක් නැති වේවි. ඒ වගේම කඩුලු 800 ක කතාබහක්වත් ඇතිවන එකක් නැති වේවි. මේ වගේ චිත්‍රපටයක් හැදෙන එකකුත් නැති වේවි. එක නායකයකුවත් ඒ වගේ කරලා නැහැ. ඒ වගේ කරන්නත් බැහැ. ආයෙ ජීවිතයට කරන්නෙත් නැහැ. ඒ නිසාම මම අර්ජුන අයියට ගොඩක් ගරු කරනවා.

රිදීතිරය අඹරන 800 දූස්රාව

මේ වෙලාවෙ මම ඇමැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. සිංහල භාෂාවෙන් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දුන්නාට. මම දන්නවා මේ රටේ ඉන්න සිංහල මිනිස්සු හැමෝම මට ආදරය කළා කියලා. ඒ වගේම මට හුඟක් උදව් කරලත් තිබෙනවා. ඒ අය ඇවිල්ල මගේ තරග නරඹලා උද්‍යෝග කරපු හින්දයි, අපි මේ තැනට ඇවිත් තිබෙන්නේ. ඉතින් මේ චිත්‍රපටය සිංහල ජනතාව අනිවාර්යයෙන්ම සිංහලයෙන් නරඹන්න ඕනෑ.

මට ඇත්තටම චිත්‍රපටයක් කරන්න ඕනෑ කියලා ආසාවක් තිබුණේ නෑ. මම ක්‍රීඩාවෙන් විශ්‍රාම අරගෙන ගෙදරට වෙලා ඉන්නකොට තමයි මේ යෝජනාව එන්නේ. ඒ 2018 වර්ෂයේදී ෆවුන්ඩේෂන් ගුඩ්නස් කියලා පදනමක් තිබෙනවා. ඔවුන් තමයි මේක මුලින්ම පටන් ගත්තේ.

රිදීතිරය අඹරන 800 දූස්රාව

මේ ලෝකෙ ගොඩක්දෙනෙක් දන්න අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. වෙනක්ට් ප්‍රභූ කියලා. එයා මේ රටේ මිනිසුන්ට කරන්න ඕනෑ කියලා මේ පදනම හොයාගෙන ආවා. එතකොට 800 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු එම්. එස්. ශ්‍රීපති සමග තවත් දෙදෙනෙක් ආවා. මේ පදනමට ගියහම එතැන තිබුණ මගේ පින්තූර දැකල තිබෙනවා. ඒ වෙලාවෙ කුෂිල් අයිය කියල තිබෙනවා මේ පදනමට මුරලිත් සම්බන්ධයි කියලා. වෙන්කට් ප්‍රභූ මගේ බිරිඳ ගේ ගෙවල් ළඟ ඉන්නේ. ඒ චෙන්නායිවල. අනික පොඩි කාලෙ ඉඳල මගේ බිරිඳගේ යාළුවෝ. අපේ ගෙදර බලන්න ඕනෑ කිව්වහම කුෂිල් අයිය වෙන්කට්ව එකක්ගෙන ආවා. එහිදී මගේ කුසලාන දැකල තමයි මේ අදහස ඔහුට ආවේ. වෙන්කට් ක්‍රිකට්වලට ආස හින්දා මගෙන් ඇහැව්වේ බයෝජික් එකක් කරමුද කියලා.

රිදීතිරය අඹරන 800 දූස්රාව

මුලදී නම් මගේ කැමැත්තක් තිබුණේ නැහැ. අන්තිමේ මේක නිර්මාණය කරන්න ආවහම ප්‍රශ්න ගොඩක් ඇති වුණා. 2019 වසරෙ මේක රූගත කිරීම් සිදුකරන්න හදනකොට මෙහි මගේ චරිතය කරන්න හිටියේ විජය සේතුපති. ඉන්දියාවේ ඉන්න දක්ෂ නළුවෙක්. ඉන්දියාවේ හිටපු දේශපාලනඥයන් මාව බැලුවෙ වෙන විදිහකට. මගේ චරිතය දමිළ නළුවෙක් කරන්න හොඳ නැහැ කියලා විජය සේතුපතිට කරදර කරල එයාව අයින් කරන්න හැදුවා. අන්තිමේ මම කිව්වා විජය සේතුපතිට අයින් වෙන්න කියලා. මගේ ජීවිතය වගේම මේ චිත්‍රපටයත් පටන් ගත්තේ ලොකු ප්‍රශ්න ගොඩක් මැද්දේ. අන්තිමේ නිෂ්පාදකවරයාත් ඉවත් වුණා. අන්තිමේ ශ්‍රීපති මේ කතාව නිර්මාණය කරල තිබුණ හින්දා එයාම නිෂ්පාදකවරයෙක් සොයා ගත්තා. අන්තිමේ කොරෝනා වසංගතය ආවා. එහිදී කරගන්න බැරි වුණා. ඊට පස්සෙ මේක ෂූට් කරන්න යද්දී ආර්ථික වශයෙන් අපහසු තත්ත්වයක් ඇති වුණා. එතකොට මේගොල්ලො ඇවිල්ල තිබුණා ලංකාවට ෂූට් කරන්න. අවසානයේ පොලිසිය එහෙම ලොකු සහයෝගයක් ලබා දුන්නා. මට ඇත්තටම සතුටුයි මේක චිත්‍රපටයක් විදිහට එළිදක්වන්න ලැබීම ගැන. අනික ක්‍රිකට් ක්‍රීඩකයකු ගේ ජීවිත කතාවක් පළමු වතාවට තමයි නිර්මාණය කරන්නේ. ඒ වගේම අර්ජුන අයියාගේ කතාවයි, 96 ලෝක ශූරයන් ගේ කතාවයි කාටහරි නිර්මාණය කරන්න පුළුවන් නම් ඒකත් ලොකු ආදර්ශයක්. අපේ අලුත් පරම්පරාවට හොඳ පාඩමක් මේක. මේ රට ගැනවත් ගොඩක් දෙනෙක් දන්නේ නැතිවයි හිටියේ. ලංකාව කියන රට හඳුනාගත්තේ 96 ලෝක කුසලානයෙන් පසුවයි. වසර 5 ක් ගියා මගේ කතාව නිර්මාණය කරන්න.

රිදීතිරය අඹරන 800 දූස්රාව

එළැඹෙන 06 වැනිදා මුළු ලෝකයේම හින්දි, දෙමළ, තෙළිඟු, සිංහල කියන භාෂා හතරෙන්ම තිරගත වෙනවා ලංකාවෙ බෙදාහරින්න ඊ. ඒ. පී. සමාගම තමයි අරගෙන තියෙන්නේ.

● ඔබ බලාපොරොත්තු වුණ ආකාරයෙන් තිර පිටපත ලියැවිලා තිබෙනවාද?

මම තමයි මේක කරන්න අවසර දුන්නේ. චිත්‍රපටයේ පිටපත ලියන්න ලංකාවෙ ෂෙහාන් කරුණාතිලකත් සම්බන්ධ වුණා. මම හැම තිස්සේම කිව්වේ කතාව ඇත්ත වෙන්න ඕනෑ කියලයි. සත්‍ය නොවන සිද්ධි ඇතුළත් කරන්න එපා කියලයි මම කිව්වේ. පිටපතේ හැටියට සියල්ල ඇත්ත තමයි තියෙන්නේ. ඔබලා වගේම මමත් තවම චිත්‍රපටය නරඹලා නැහැ. පූර්ව ප්‍රචාරක පටය විතරයි නරඹලා තියෙන්නේ. මංගල දර්ශනයේදී මාත් චිත්‍රපටය නරඹන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පූර්ව ප්‍රචාරක පටය හොඳටම නිර්මාණය කරලා තිබෙනවා කියලා හිතෙනවා.

රිදීතිරය අඹරන 800 දූස්රාව

● “800” ලෝක ක්‍රිකට් ලෝලීන්ට ඔබ ලබාදුන් තෑග්ගක්ද?

මගේ නම අන්තර්ජාලයේ ගහපු ගමන්ම මුලින්ම එන්නේ ක්‍රිකට් තමයි. 800 චිත්‍රපටයෙන් පෙන්වන්නේ මගේ සම්පූර්ණ කතාව. මම ක්‍රිකට් ගහන කාලෙ මේ රටත් ලොකු ප්‍රශ්නවලට මුහුණ දුන්නා.

● ඇයි ඔබ රඟපෑවෙ නැත්තේ?

මෙහෙමනේ, මිනිසුන්ට පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තිබෙනවා. මම ක්‍රිකට්වලට දක්ෂයි. රඟපාන්නත් දක්ෂ වෙන්න එපායැ. දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගොඩක් ඉන්නවා. ඒගොල්ලො තමයි ඒකට දක්ෂ. රඟපාන්නේ නැති කෙනෙක් මේක කළොත් මිනිස්සු බලන එකක් නැහැ. මොකද ඒක හරියට තිරගත කරන්න බැරි වෙනවා. ඒ ඒ වෘත්තියට දක්ෂ වෘත්තීයවේඳීන් ඉන්නවා. මම දක්ෂ ක්‍රිකට් ගහන්නයි. පොඩ්ඩක් බිස්නස් කරන්නත් දක්ෂයි.

මුත්තයියා මුරලිදරන් ගැන නිර්මාණය වූ චිත්‍රපටය සම්බන්ධ මාධ්‍ය හමුවේදී මුරලි ළඟ සිටියදීම එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාව සිටි අර්ජුන රණතුංග පැවසුවේ මෙවැනි කතාවක්.

මේ රටේ හැමදෙනාම මුරලි කවුද කියල දන්නවා. ඒ වගේම මොනවද වුණේ කියලත් දන්නවා. මම ඒක අතකින් හරි වාසනාවන්තයි. මම මුරලි පොඩි කාලෙම දැක්කා. මුරලි නුවර ඉන්න වෙලාවක මුරලි පාසල් තරගයක් ක්‍රීඩා කරනවා බලන්න ගියා. එදා තමයි මම දැනගත්තෙ මුරලි කියන්නෙ ඉතාමත් දක්ෂතාවක් තියෙන ක්‍රීඩකයෙක් කියලා. පසුව පුහුණු සංචිතවලට ගෙනැල්ලා ක්‍රිකට් පටන් ගත්තා.

මම දැකපු දෙයක් තමයි මම ඇතුළුව හැම කෙනකුටම ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ ප්‍රශ්න ඇවිත් තිබෙනවා. එක එක විදිහේ ප්‍රශ්න එන්නේ. ක්‍රීඩාංගණයෙන් පිට වගේම ඇතුළතදීත් ප්‍රශ්න එනවා. ඒ වගේම පරිපාලනයෙන් ද, දේශපාලනයෙන් ද ප්‍රශ්න එනවා. මේ සියල්ලටම ක්‍රීඩකයකුට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මුරලිට හුඟක් ප්‍රශ්න ඇති වුණේ ක්‍රීඩාංගණය ඇතුළතදීයි. හැබැයි ඒ ප්‍රශ්න විසඳගන්න වෙන්නේ එළියේ. මුරලිට පන්දුව දඟකැවීමේ අතිවිශේෂ දක්ෂතාවක් තිබුණා. ඒ දක්ෂතාවය අනුවයි අපි මුරලිව තේරුවේ අපි මුරලිව තෝරා ගත්ත කාලෙත් දක්ෂතා දක්වපු දඟපන්දු යවන්නෝ හිටියා. 1996 වෙනකොටත් මුරලි එතරම් පළපුරුදු ක්‍රීඩකයෙක් නෙමෙයි.

මුරලිගේ ක්‍රිකට් ඉතිහාසයට වඩා මුරලිට ඇති වෙච්ච ප්‍රශ්නවලදී පුංචි ළමයෙක් වගේ තමයි හැසිරුණේ. සමහර වෙලාවට අඬපු වෙලාවල් තියෙනවා. ගෙදර යන්න ඕනෑ කියපු වෙලාවල් තියෙනවා. මගෙන් බැණුම් අහගත්තු වෙලාවල් තියෙනවා. ඒ සියල්ල එක්ක මම දැකපු අත්දැකීම් එක්ක මුරලිට ඔස්ට්‍රේලියාව සමග ප්‍රශ්න ඇති වුණ වෙලේ “මුරලි මට ඇවිත් කිව්වේ අයියෙ මාව ගෙදර යවන්න කියලා. මම කිව්වා නැහැ ඒව අපි බලාගන්නම් ඔයා අපි කියන එක කරන්න කියලා. අයියට මම හින්ද ප්‍රශ්න එනවා කියලත් කිව්වා. මම ඉතින් හොඳින් කතා කරලා බැරිම තැන ඒකට අවශ්‍ය විදිහට කතා කළා. එදායින් පස්සෙ ආපහු කතා කරන්න ආවෙ නැහැ මුරලි ආවේ ප්‍රශ්න ගොඩක් මැද්දේ. මුරලි බෝලෙ දමලගැහැව්වා නම් මම කවදාවත් මුරලිව ගස්සන්නේ නැහැ. මුරලිගේ අතේ තිබුණ ප්‍රශ්නය ලෝකය දැක්කේ වෙනස් විදිහට. හැබැයි අපිට ලෝකයට පෙන්වන්න පුළුවන් වුණා. අපි කළේ වරදක් නෙමෙයි කියලා. මුරලිට හුඟක් ප්‍රශ්න ආවෙ ඔස්ට්‍රේලියාවෙන්. මුරලිගේ කඩුලු 800 ට වඩා ලොකුම ජයග්‍රහණය තමයි අන්තිමේ මුරලිව දඟපන්දු යවන පුහුණුකරු හැටියට ඔස්ට්‍රේලියාවට ලබාගන්න සිදුවීම. මම ඒක දකින්නේ දෛවයේ සරදමක් හැටියට. එතැනින්ම අපි ඔප්පු කරල පෙන්නුවා අපි වරදක් කළේ නැහැ කියලා. හැබැයි මම අවුරුදු 17 දී දැක්ක මුරලියි අද දකින මුරලියි එකම කෙනා. අපේ රටට ලැබුණ විශාල දායාදයක් තමයි මුරලි.

මුරලි ක්‍රිකට් ක්‍රීඩාවේ සැනසීම සොයා ගත්ත ආකාරයත්, හිරිහැර කරන්නන්ට එරෙහිව නැඟී සිටින ආකාරයත්, උද්වේගකර දඟපන්දු යවන්නකුගේ සිට ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පරිවර්තනය වන ආකාරයත් ‘800’ චිත්‍රපටයෙන් පෙන්වයි. ඉතින් එළැඹෙන සිකුරාදා (06 දා) සිට යළි රිදී තිරයේ පන්දුව දඟකවන සැටි පෙන්වන්න මධුරි චිට්ටාල් සූදානමින් සිටී. එය හරිම කතාව ද කියලා බලන්නත් මුරලිත් හරිම ආසාවෙන් පසුවේ.

දිනේෂ් විතාන
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත
ප්‍රවීන් ලෝචන /වේතිය ලහිරු

advertistmentadvertistment
advertistmentadvertistment