ඔව්… රනිල් හරි.ඒත් දූෂණයට ඉඩ දුන්නොත් රටටම සොරි!

383

මේ වූකලී සමාජ, ආර්ථික හා දේශපාලන කැළඹිලිවලින් ද ආන්දෝලනාත්මක සිදුවීම්වලින්ද බෙහෙවින් උණුසුම් කරන ලද සතියකි. රටේ පළාත් කීපයක් මහ වැසිවලින් අසරණ වෙද්දී තවත් ප්‍රදේශ ගණනාවක් නියඟයේ පීඩනයට හසුව තිබුණේ හරියටම ආණ්ඩුවත් විපක්‍ෂයත් අතර තිබෙන දේශපාලන අවුල් හා බල අරගලය ද සිහිපත් කරවමින්ය. පසුගිය කාලයේ මෙතෙරට වඩා එතෙර රාජ්‍ය නායක සමාගම් මැද සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රශ්න වැලකට තුඩුදී තිබෙන සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් එක්කර ස්වාධීන මණ්ඩලයක් පිහිටුවන බවද සඳහන් කළේය. කුමක් වුවත් ජනාධිපති රනිල්ගේ සියලු ආර්ථික අපේක්‍ෂාවන් රැඳී ඇත්තේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එයින් ලැබෙන මූල්‍ය ශක්තියත් මත බවද රහසක් නොවේ. එසේ වුවද මූල්‍ය අරමුදල විසින් ලබා දෙන දෙවන ණය වාරිකය සම්බන්ධයෙන් යම් පසුබෑමක්ද දැකගත හැකිය. එයට හේතු වී ඇත්තේ ආණ්ඩුවට මූල්‍ය අරමුදලේ යම් යම් එකඟතාවන් සපුරාලීමට නොහැකිවීමය. ජනාධිපති රනිල්ගෙන් ද ප්‍රකාශ වූයේ ඔවුන්ගේ ඇතැම් යෝජනා පිළිගැනීම අසීරු බවයි. ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය මූල්‍ය අරමුදල මත පදනම් වූවකි. ඇත්ත වසයෙන්ම රටේ ආර්ථිකය තිබෙන්නේ ද යහපත් තැනක නොවේ.

මහ බැංකුවේ හිටපු අධිපති මෙන්ම පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුව ද නියෝජනය කළ අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ රටේ ආර්ථිකය මෙහෙයවීමට මූල්‍ය අරමුදලට භාර කර තිබෙන බවය. එය ලජ්ජාවක් බවද ඔහු පවසද්දී වත්මන් මහ බැංකු අධිපති සඳහන් කළේ මූල්‍ය අරමුදල සමග රට සාධනීය වර්ධනයක් ලබමින් ඉදිරියට යන බවය. මේ ආර්ථික විවාදයට පැටලීමට අපට අවශ්‍ය නැත. ඒ සඳහා ප්‍රාමාණික දැනුම් තේරුම් ඇති අය සිටිති. එහෙත් මේ ආර්ථික අගාධයට රට ඇදගෙන ගිය මූග්ධ දේශපාලනය ගැන අපට කතා කළ හැකිය. රටක ආර්ථිකය යනු එහි දේශපාලනය විසින් ජීවය ලබන්නකි. දේශපාලන ප්‍රතිපත්තිවල ඍජු බවත් නිරවද්‍යතාවත් ආර්ථිකයේ ජයග්‍රහණයට බලපාන ප්‍රමුඛ සාධක වේ. එහෙත් මේ වනතුරුත් ඒ ප්‍රතිපත්තිමය දේශපාලන ස්ථාවරත්වය අපට දැකගත නොහැකිය.

මේ දේශපාලන අසමත් බව නිසා අදත් මෙරටේ ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් වන්දි ගෙවමින් සිටිති. කුමක්ද හේතුව? කෙටිම එහෙත් පුළුල්ම පිළිතුර දූෂණය යනුයි. මේ දූෂණය විසින් ම ගිලගන්නා ලද රාජ්‍ය සේවයක් ද තිබේ. එහි අදහස සමස්ත රාජ්‍ය සේවය හොර නඩයකැයි කීම නොවේ. එහෙත් මේ දේශපාලනයේ මුදුනටම ගෑවුණු චෞර වළල්ලක් තිබෙන බව රටම දන්නා කරුණකි. ඒ දූෂිත චෞර වළල්ලට තක්කඩි නිලධාරීන්, කූට ව්‍යාපාරිකයන්, දේශපාලන වසයෙන් ප්‍රබල චරිත ආදීහු සම්බන්ධ වී සිටිති. මහජන කැමැත්තෙන් රට හැදීමට එන නායකයන්ට ළංවී ධනය ඉපයීම අරමුණ කරගත් ජාතික භ්‍රෂ්ටයන්ගේ ග්‍රහණයට නතු වන නායකයන්ට අත්වූ ඉරණම කුමක් වුවත් අදත් මේ චෞරයෝ සඳලුතලවල සාද සාමීචියෙන් කල් ගෙවති. මේ බොහෝ දෙනකුට ලංකාව යනු නවාතැන්පොළක් පමණි. ජනතාව සතු ජාතික උරුමයන් හා සම්පත් ද ඔවුන්ගේ පරවේණි බවට පත්ව ඇත. පරිසර විනාශය ජාතික සම්පත් කොල්ලකෑම ඔවුන්ට ක්‍රීඩාවකි. නීතිය ඔවුන් අබියස නැවෙයි. පොලිසිය තුන්කුදු වෙයි. කළු සල්ලි හා මැර බලය ද ඔවුන්ගේ ව්‍යාපෘතිවල නියත ඵල වී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩි ඈතට ගොසින් සාක්ෂි සෙවිය යුතු නැත. දින කීපයකට පෙර පාර්ලිමේන්තුවේ විවාදයකට එක්වෙමින් හිටපු ප්‍රබල ඇමැතිවරයකු මෙන්ම මේ ආණ්ඩුවේ ප්‍රකට චරිතයක් ද වන මහින්දානන්ද අලුත්ගම විසින් කරන ලද අනාවරණය එයට හොඳටම සෑහේ. ඔහු පෙන්වා දුන්නේ මෙරටේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමේදී ප්‍රධාන ආයතනයක් වන රේගුවේ දූෂිත හා මූග්ධ මෙහෙයුම් බාධාවන බවය. මෙරටට වාහන ආනයනය තහනම් කර තිබුණත් සුඛෝපභෝගී මිල අධික වාහන දැන් අලෙවි කෙරෙන බව ඔහු කියයි. ආණ්ඩුවේ තහනම් නියෝගවලට උඩින් පනින රේගු නිලධාරීන්ගේ වත් පොහොසත්කම් පිළිබඳව මහින්දානන්ද දක්වන කරුණු සත්‍ය නම් මේ රට මෙපමණකින් හෝ ඉතිරි වී තිබීම ගැන අප පුදුම විය යුතුය. ඔහුට අනුව ඇතැම් නිලධාරියකුගේ නිවාසය ඇත්තේ ලොස්ඇන්ජලීස් නුවරය. තවත් අයකුට සුපිරි නිවාස සංකීර්ණවල නිවාස වාසනාව උදාවී තිබේ. රුපියල් මිලියන 100ක් වෙනුවට මිලියන 10ක් ගෙවා බදු ලිපිගොනුව වැසීමට හැකි ආයතනයක සද්භාවය ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත. මුදල් ඇමැති ජනාධිපති රනිල් ය. ඔහුට රාජ්‍ය ඇමැති කට්ටලයක් ද වේ. ඒ සියඹලාපිටිය හා සේමසිංහ ය. එහෙත් රේගුව දූෂිතම ආයතනයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා රේගුව දූෂිත එකක් බව කියයි. අපට හැඟෙන ආකාරයට නම් ශ්‍රී ලංකාවේ චෞර වළල්ල ගැන අපට වඩා ජාත්‍යන්තර මූල්‍ය ආයතනය දැනුවත්ව සිටියි.

විපක්‍ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ පාර්ලිමේන්තුවේදී පවසා තිබුණේ මූල්‍ය ආයතනය විසින් පනවන ලද කොන්දේසියක් අනුව, දූෂණ නීතිය දක්වන වත්කම් – බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීම මැති ඇමැතිවරුන් බහුතරයක්ම මගහැර තිබෙන බවය. මේ ප්‍රකාශ ලබාදී ඇත්තේ 12 දෙනෙක් පමණක් බවද ඔහු පවසා ඇත. මේ සමගම අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද තවත් අනාවරණයකට අනුව වංචනික හෝ අක්‍රමවත් ලෙස උපයන ලදැයි සිතිය හැකි මුදල් කන්දරාවක් රටින් පිටත තිබෙන බව පෙනේ. පැන්ඩෝරා හා පැනමා පත්‍ර ගැන ද ඔහු සිහිකරයි. ඒ අයගේ නම් ලැයිස්තුවක් ද ඇමැතිවරයා අත තිබෙන බවද පවසා ඇත. මේ වර්ගයේ දේශපාලන නිල බල පුද්ගලයන් කවරහු දැයි රටට හෙළි කිරීම ද ඇමැතිවරයකු සතු වගකීමක් බවද කිව යුතුය. ඇත්තටම නඩු නැති රටක, නීතියට උඩින් පියාඹන රටක යථාර්ථය නොවේද මේ සියලු කරුණුවලින් තහවුරු වන්නේ.

දැන් දසක දෙක තුනක සිටම බොහෝ විට ඇසෙන විවේචනයක් වන්නේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති අන්ත දූෂිත ගනුදෙනු බවට පත්ව තිබෙන ආකාරයයි. ඒ අමන ගනුදෙනු ජාත්‍යන්තරය තෙක්ම විහිදී තිබෙන නරකම පුවතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට ද ඒ දූෂිත මෙහෙයුම්වල දුගඳ දැනී තිබේ. ඒ අනුව මෙරටේ අධිවේගී මාර්ගයක කිලෝමීටරයක් ඉදිකිරීමට ගෙවා තිබෙන මුදල වන්නේ ලෝකයේ එබඳු ඉදිකිරීම්වලදී ගෙවන ලද මුදල මෙන් තුන් ගුණයකැයි ඔව්හු පෙන්වා දෙති. මෙය සත්‍යයක් නම් අධිවේගී ඉදිකිරීම් ඇතුළු බොහෝ ව්‍යාපෘති අන්ත දූෂිත ගනුදෙනුවලින් පිරී තිබිය යුතුමය. එහෙත් ඒ වසල හොරු අදත් සඳලුතලවල සාද සුවයෙන් සිටිති. මෙයට පෙරද මෙරටේ අල්ලස් හෝ දූෂණ වංචා ආයතනයේ බෙලහීන බව අප විසින් ද පෙන්වා දෙනු ලැබ ඇත. තම වත්කම් බැරකම් හෙළි නොකරන, නීතිය අතට ගන්නා දේශපාලනඥයන්ගේ මෙන්ම නිල බලවල ද හැසිරීම් රටටම ශාපයක් වී තිබෙන බව පෙන්වා දී තිබේ. එහෙත් ඒ හොරුන් නිලධාරීන්, තක්කඩියන් මෙහෙයවනු ලබන කිසිදු ක්‍රියාවක් නතර කිරීමට කිසිම ආණ්ඩුවක් උනන්දු නොවන බවද පෙනේ.

පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් ලක්‍ෂ විසිහයකටත් අධික විදුලි බිලක් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නාමල් රාජපක්‍ෂ වෙනුවෙන් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත දැක්වූ ප්‍රතිචාරය මාධ්‍යවල වාර්තා විය. ඒ සියලු සංවාද වාද විවාද ජනතාවට ද ඇසුණි. ඔහුට ලක්‍ෂ විසිහයකට වැඩි විදුලි බිලක් ගෙවීම කෙතරම් සරල හා පුංචි දෙයක් ද? මේ සමස්ත සිද්ධිදාමය අනුව නම් මේ විදුලිය ලබාගෙන ඇත්තේ ප්‍රභූන්ට ආරක්‍ෂාව සැලසීමට ය. කුමක් වුවත් මේ විදුලි බිල හුටපටය දැන් අධිකරණය ඉදිරියට ද රැගෙන ගොස් තිබේ. මේ වර්ගයේ උත්ප්‍රාසය දනවන සිදුවීම් රාජපක්‍ෂවරුන්ට තවත් තිබේ. මැණික් මලු, මල්වානේ හිමිකරුවෙක් නැති මන්දිරය ගැන අදත් දේශපාලන වේදිකාවල ඇසෙයි.

අපේ විදුලිබල ඇමැතිතුමාටත් මේ වර්ගයේ සානුකම්පිත දුකට උණුවෙන හදවතක් තිබුණි නම් අපි මොනරතම් වාසනාවන්ත වෙමුද? උන්නැහේට ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවිය. දැන් විදුලි බිලත් ඉහළ නැංවීමට සූදානමින් සිටියි. ගෑස් මිලත් වැඩිකර තිබේ. මේ එක බිලක්වත් ගෙවීමට එකෙක්වත් අපේ දුප්පත් නිවසකට නොඑති. ජීවන වියදම අඩු වූ බවට ඉලක්කම් හරඹ පාන ඇත්තෝද මේ ඉහළ ගිය මිල ගණන් සමග හුදී ජනයා ඇඹරෙන ආකාරය නොදනිත්ද? දවසේ කුලියට වැඩ කරන ශ්‍රමිකයකුට තේ කෝප්පයේ සිට හැම බේකරි නිෂ්පාදනයකටම වැඩි මිලක් ගෙවීමට ද සිදුවනු ඇත. මැති ඇමැතිවරුන්ටත් ඇති හැකි අයටත් ජීවන වියදම් ගැටලු නැත. නැතහොත් ඉතා අඩුය. ජනතා මුදලින් සියල්ල සපුරා ගන්නා අයට කෙසේ වෙතත් තුන් හතර දෙනෙක් සිටින පවුලකට අද තුන්වේල කෑම අභියෝගයකි. කිරි වීදුරුවක් බොන්නට බිත්තරයක් කන්නට ඒ බොහෝ දෙනකුට ඉඩක් නැත. පොදුජන ජීවිත එකම ශෝකාන්තයකි. මධ්‍යම පාන්තියට ද උරුම කර ඇත්තේ ඊට නොදෙවැනි දුක් කන්දකි. බැංකු ක්‍ෂේත්‍රයෙන් හෙළි වී ඇත්තේ රත්තරන් බඩු උකස් පෝලිම දික්වන ආකාරයයි.

ඇමැති – රාජ්‍ය ඇමැති වසයෙන් දුසිම් ගණනක් සිටියත් ඒ කිසිවක් නිසි ආකාරයට ක්‍රියාත්මක නොවන බව රහසක් නොවේ. දුම්රිය වර්ජනයට අමුතු හේතු කාරණා අවශ්‍ය නැත. දෙපාර්තමේන්තුවේම රණ්ඩුවක් එබඳු වර්ජනයකට සෑහේ. ගුවන් සේවය ද ඊට නොදෙවෙනිය. මාධ්‍යවලින් දැක්වෙන්නේ ගුවන් මගියාත් දුම්රිය මගියා මෙන්ම අසරණව සිටින පුවත්ය. සුව සේවය ගැන කතා කළ යුතු නැත. පසුගිය දිනක කෝප් කමිටුව ඉදිරියට කැඳවනු ලැබූ ජාතික ඖෂධ නියාමන කොමිසම කටයුතු කර තිබෙන දඩබ්බර ආකාරය ගැන දැඩි දෝස්මුරයක් ද ලැබුණි. එහෙත් ඒ නිලබල ඒවා තුට්ටුවකට මායිම් කරතියි සිතිය හැකිද? මේ අප කතා කළේ මහජන සේවාවන්වලින් ඇබින්දකි.

ආණ්ඩුව මේවාට ප්‍රතිචාර දක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලුවන මර්දන නීති පනවමින්ය. ආන්දෝලනාත්මක සමාජ මාධ්‍ය ආරක්‍ෂණ පනත කුමක් සඳහාද? නීතිඥ සංගමය ප්‍රමුඛ සිවිල් සංවිධාන මේ පනත හකුලා ගත යුතු බව කියති. දැනටමත් පනත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර තිබේ. මේ පිළිබඳව මෙයට පෙර අප දීර්ඝ වසයෙන් කරුණු දැක්වූ හෙයින් යළි යළි ඒවා කිව යුතු නැත. සමාජ මාධ්‍ය නියාමනය අලුත් අදහසක් නොවන බව ඒ ඉතිහාසය විසින් ද තහවුරු කරනු ලැබ ඇත. මෙටා (Meta) සමාගමේ මාක් සකර්බර්ග් පවා නියාමනය අවශ්‍ය බව පිළිගනී. එහෙත් භාෂණයේ නිදහසට තර්ජනයක් කිරීමේ පටු චේතනාවෙන් යුතුව එබඳු දැඩි හා අගෝචර සීමා පැනවීම අපි අනුමත නොකරමු. ජනතාවට තොරතුරු සැපයීම, ඥානය හා සෞන්දර්ය වින්දනයට මෙබඳු සමාජ මාධ්‍ය වගකීමකින් භාවිත කෙරෙන විශ්ව සමාජය අපට ද අවශ්‍යය. එයට හරස් වන මූග්ධ මීගවයන් සුලභ අපේ මාධ්‍ය සමාජය ඉන් මුදාගැනීමට නියාමනයක් අවශ්‍ය බවද පිළිගත යුතුය. සත්‍ය ගවේෂණය ගැටුම් දුරලීම මනුෂ්‍ය වටිනාකම් ඇගයීම අද මෙරටේ මාධ්‍ය කලාවෙන් දුරස්ථ වෙමින් තිබෙන බවද අප පිළිගත යුතුය.

ජනාධිපති රනිල් පසුගිය දිනක මෙම මාධ්‍ය සම්බන්ධයෙන් පළ කළ අදහස අපට ද බැහැර කළ නොහැක. ජනාධිපති ඒ විග්‍රහය කළේ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවැත්වුණු එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර දැක්වීමේ උළෙලේදීය. සමාජ මාධ්‍යවලට කිසිදු නීතියකට රීතියකට ගරු නොකරමින් අයාලේ යෑමට ඉඩ දිය යුතුද? නැතහොත් ජාත්‍යන්තර චර්යා පද්ධතියකට අනුව නියාමනයක් කළ යුතුද? යන ප්‍රශ්නය ජනාධිපතිවරයා නගා තිබේ. ඕනෑම මාධ්‍යයක් රට තුළ පවතින නීතියට යටත් බවද ඔහුගේ අවධාරණය විය. නීතියකට රීතියකට යටත් නැති දේශපාලනයක් තිබෙන රටක එබඳු මාධ්‍ය පරමාදර්ශ ගැන අපට කතා කළ නොහැක. එහෙත් සමාජ මාධ්‍යවලට විවෘත වී තිබෙන සයිබර් අවකාශය වගකීමකින් භාවිත කිරීම සඳහා උචිත නියාමනයක් තිබිය යුතු බවද අපි පිළිගන්නෙමු.

මෙහිදී එඩ්මන්ඩ් රණසිංහ මාධ්‍ය මෙහෙවර හා දිවයින සමාජ දේශපාලන හා සංස්කෘතික වසයෙන් සිදු කරන ලද විප්ලවීය කාර්යභාරය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සඳහා අපට අවකාශ නොමැත. එහෙත් අසූව දසකයේ මෙරටේ සිදු වූ ඓතිහාසික මාධ්‍ය මෙහෙවරක නියමුවකු වූ රණසිංහ සූරීන් පිළිබඳව වෙනම සාකච්ඡා කළ යුතුය. එතෙක් ජනාධිපතිවරයා සිදු කරන ලද්දේ එඩ්මන්ඩ් රණසිංහ නම් වූ පුවත්පත් කලාවේ විශිෂ්ටයකු ජ්‍යෙෂ්ඨයකු පමණක් නොව ශ්‍රේෂ්ඨයකුට ජාතියේ බුහුමන පිදීමක් බව පමණක් ලියා තබමු.

මේ අතර සමාජ දේශපාලන අංශවල දැඩි අවධානයට යොමු වූ තවත් සුවිශේෂී මාධ්‍ය සාකච්ඡාවක් ද විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජර්මනියේ DW (Deutsche Welle) මාධ්‍ය ආයතනයේ මාටින් අතර සිදුවූවකි. මෙහි විශේෂත්වය වූයේ ජනාධිපති රනිල් බටහිර ආකල්ප හා ලංකාව ඇතුළු ආසියානු රටවල් කෙරෙහි බොහෝ බටහිර රටවල් විසින් දක්වනු ලබන ප්‍රතිචාර ඍජුව විවේචනයට ලක්කිරීමය. රනිල් යනු වඩාත් බටහිර සමාජ දේශපාලන වටිනාකම් වෙත නැඹුරු වූ ඒ සංස්කෘතික පැවතුම් කෙරෙහි බැඳියාවක් සහිත දේශපාලන චරිතයක් ලෙස පිළිගනු ලබන්නෙකි. රාජපක්‍ෂ කඳවුර නියෝජනය කරනු ලබන ජාතිකත්ව මතවාදය සමග ඔහුට විවේචනයක් තිබුණි. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි වඩාත් උනන්දු වූ රනිල්ට බටහිර පාලකයන් අතර ද පිළිගැනීමක් තිබේ. ඇතැම් ජාතිකවාදී කණ්ඩායම් විසින් රනිල්ට චෝදනා කරන ලද්දේත් ඒ බටහිර ආකල්ප හා සංස්කෘතික පැවතුම් හිසින් ගත්තකු ලෙසය. එහෙත් ජර්මානු රූපවාහිනි මාධ්‍යවේදියාට ජනාධිපති රනිල් දුන් පිළිතුරු හා දැක්වූ ප්‍රතිචාර මෙරටේ ස්වාධීනත්වය හා අභිමානය වෙනුවෙන් පෙනී සිටීමක් ලෙස දැන් අර්ථකථනය කර තිබේ. ඇත්ත වසයෙන්ම බටහිරයන් අප කෙරෙහි දක්වන දෙවන පුරවැසියන් යන අඩු සැලකිල්ල ජනාධිපති රනිල් නොඉවසූ ආකාරය ඒ සංවාදයේදී කැපී පෙනුණි. චැනල් ෆෝ නාලිකාව මෙන්ම මානව හිමිකම් සම්බන්ධ වාර්තා ද ජනාධිපති රනිල් දැඩි ස්වරයෙන් ප්‍රතික්ෂේප කළ අයුරු ඒ රූපවාහිනි සංවාදය නැරඹූ කාටත් දැක ගත හැකි විය.

ජනාධිපති රනිල් අවධාරණය කළේ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් පහත්කර හෝ අවමානයෙන් නොසැලකිය යුතු බවය. චැනල් ෆෝ නාලිකාව යනු පූජනීය දෙයක් නොවන බව පැවසීමට ජනාධිපති රනිල් එඩිතර විය. එපමණක් නොව තමන් රදගුරු සම්මේලනය සමග මිස කාදිනල්තුමා සමග ගනුදෙනු නොකරන බවද ජනාධිපතිවරයා කීවේය. ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ගැන විමසූ මාධ්‍යවේදියාට ඔහු අවධාරණය කළේ බි්‍රතාන්‍ය හෝ ජර්මනිය හෝ එබඳු පරීක්‍ෂණ කර නොතිබියදීත් අපගෙන් එබඳු ප්‍රශ්න අසන්නේ අප කෙරෙහි තිබෙන නරක ආකල්පය නිසා නොවේදැයි යනුවෙනි. ජනාධිපති රනිල් ඔහු හැඳින්වූයේ කාගේදෝ කඩදාසියක් අතේ තියාගෙන විකාර කතා කියන්නකු ලෙසය. කතෝලික සභාව හෝ පූජකවරුන් සමග කතා නොකළ ඔහුට තමන්ගෙන් ප්‍රශ්න කිරීමට අයිතියක් නැති බවද ජනාධිපති දැඩිව පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය නොව මානව හිමිකම් වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයකට ජාත්‍යන්තර සහායක් නුවුවමනා බවත් ජනාධිපතිවරයා ඍජුවම පැවසීය.

මෙම සාකච්ඡාව ඇතැම් පුවත් පතක සිංහලට නගා පළකර තිබුණු අතර රූපවාහිනි නාලිකාවල ද එලෙසම සිංහල පරිවර්තන සමග එය දක්වා තිබුණි. කුමක් වුවත් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රතිචාරය දේශපාලනික වසයෙන් නිවැරදිය. ඔහුගේ විවේචකයෝ ද එය අගය කරති. එහෙත් සමහරුන්ට එය රිදුම් දෙන්නක් බවද පෙනේ. ස.ජ.බයේ අයෙක් එය උත්ප්‍රාසයෙන් සැලකූ අතර කුරහන් සාටකයක් පළඳින ලෙසද යෝජනා කළේය. එහෙත් පටු දේශපාලන ආකල්පවලින් එම සංවාදය දෙස බලා තමන්ට සමීප නිගමනවලට එළඹිය යුතු නැත. අපට ජනාධිපතිවරයා මුරුංගා අතු මත රැඳවීමට අවශ්‍ය නැත. එහෙත් ඔහු ඒ පළ කළ අදහස් බටහිර බොහෝ නායකයන්ට පමණක් නොව බටහිර අනුකාරක ලාංකික කළු සුද්දන්ට ද ලබා දුන් වේදනාත්මක පිළිතුරක් ද විය හැකිය. ඇත්ත වසයෙන්ම මේ බටහිර බලවතුන් අප රට දෙස බලන්නේ තවමත් ශිෂ්ටාචාරයේ අඳුරක හිරවී සිටින ජනතාවක් ලෙස සලකන උද්ධච්ච මානසිකත්වයකිනි. අප ජනාධිපතිවරයාගේ එම ප්‍රතිචාර සලකන්නේ විචක්ෂණ රාජ්‍ය නායකයකුගේ මෙන්ම පෙරදිග අභිමානය සුරැකි දේශපාලනඥයකු ද ලෙසය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment