මානව හිමිකම් කඩන ඇෆ්ගනිස්ථානය, මියන්මාරය ගාණට දැන් අපිව සලකන්නෙ – නීතිඥ නුවන් බෝපගේ

132

රැඳවුම් නියෝග දාල මිනිස්සුන්ව හිර කරන්නයි, අධි ආරක්ෂිත කලාප ගහලා තක්කඩි කම් කරන්නයි දෙන්න බෑ

“කිසිදු බලයක් නැති එක පාලකයෙක්ට ජනතාව පෙළන නීති දාන්න බෑ. ජනතාව සමග එහෙම සම්මුතියක් තියෙනවද? මේ තත්ත්වය නිසා දැන් දැන් ශ්‍රී ලංකාව ආර්ථික සමාජීය සහ දේශපාලනමය වශයෙන් මානව හිමිකම් කඩකරන ඉහළින්ම ඉන්න රටක් බවට පත්වෙලා. ඇෆ්ගනිස්ථානය මියන්මාරය ගාණට දැන් ශ්‍රී ලංකාව දාල තියෙන්නෙ.” ‘ඉරිදා දිවයින’ සමග පැවති සාකච්ඡාවකදී තරුණ නීතිඥ සංගමයේ නුවන් බෝපගේ දැඩිව කියා සිටියේ එසේය. සමාජ ක්‍රියාකාරීන්ගේ මානව හිමිකම් කඩවීමට එරෙහිව ඔහු මෙවර ජිනීවා සැසියට ගියේය. ඔහු මේ හෙළි කරන කතාව අපි සවිස්තරාත්මකව දැනගමු.

ජිනීවා මානව හිමිකම් සැසියට ඔබ සහභාගි වීමේ හේතුව මොකක්ද?

ඒ මොහොත වෙද්දි ලංකාවේ ගෝල්ෆේස් අරගලයට සහභාගි වූ පිරිස මර්දනය සඳහා විශාල මර්දනයක් දියත් වෙමින් තිබුණා. ඒත් එක්කම විශේෂයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් ශිෂ්‍යයන් දෙදෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීමට තීරණය වෙනවා. මේ තීරණය ගන්නේ 2018 වසරෙදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ගිහින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලංකාව තුළ ක්‍රියාත්මක කරන්නේ නෑ කියල පොරොන්දු දුන්න එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහමයි. ඉතින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඉල්ලීමක් කළා මේ කරුණු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළේ මතු කරන්න අපිට අවස්ථාව දෙන්න කියල. අපි මුලදී බලාපොරොත්තු වුණා අන්තරේ නියෝජිතයෙක් එයට සහභාගි කරවන්න. නමුත් වසන්තගේ නඩුව ඇතුළු අරගලයේ නඩුවලට සම්බන්ධ වුණ නීතිඥයෙක් හැටියට ඔවුන් ඒ සඳහා මාව යොමු කළා.

ඔබේ අද්දැකීම් අනුව ලංකාවේ මානව හිමිකම් ආරක්ෂාවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ අපේ රට ගැන තිබෙන තක්සේරුව මොන වගේද ?

රටවල්වල විශේෂිත ප්‍රශ්න සඳහා මානව හිමිකම් සැසි වාරයේදී කාලයන් වෙන් කරලා තියෙනවා. පසුගිය 12 වැනිදා උදෑසන කාලය වෙන්කරල තිබ්බෙ මියන්මාරය සම්බන්ධව. දවල් කාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්න. සවස් කාලය ඇෆ්ගනිස්ථනය සම්බන්ධව. එතකොට ඇෆ්ගනිස්ථානය, මියන්මාරය වගේ මානව හිමිකම් කඩවෙන රටවල් ගොන්නට දාලා තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ වෙනකොට අපිව සලකන්නෙ. ඒකට බලපාපූ මූලික හේතුව තමා මේ රටවල් ලෝකයේ තිබෙන ඇමෙරිකාව චීනය වැනි අන්තර් අධිරාජ්‍ය ගැටුම්වලට මැදිහත් වෙන එයින් වින්දිතයන් වූ රටවල් වීම. අනෙක් පැත්තෙන් මේ රටවල ආණ්ඩු මිලිටරි සහ අර්ධ මිලිටරි වශයෙන් මිනිසුන්ගේ අයිතිවාසිකම් මර්දනය කරන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මේ රටවල ආණ්ඩුවල තියෙන දුර්වල ආර්ථික කළමනාකරණය නිසා ආර්ථික වශයෙන් දැඩි පීඩනයට පත්වුණු රටවල්. මේ තත්ත්වයන් නිසා දැන් ශ්‍රී ලංකාව ආර්ථික සමාජීය සහ දේශපාලනමය වශයෙන් මානව හිමිකම් කඩකරන ඉහළින්ම ඉන්න රටක් බවට පත්වෙලා තියෙනවා.

මානව හිමිකම් කඩවීමේ නිශ්චිත සිදුවීම්වලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිවේදන නිකුත් කරනවා. නමුත් ඉන් එහාට ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය වෙනස් කරන්න ඔවුන්ට බලපෑමක් කළ හැකිද?

මම පුද්ගලිකව විශ්වාස කරන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත්තත් අධිරාජ්‍යවාදී රටවල පාලනය යටතේ තියෙන්නේ. මානව හිමිකම් සැසිය ජිනීවාවල තියෙද්දී මානව හිමිකම් ගැන විශාල වශයෙන් කතා වෙනවා. හැබැයි මානව හිමිකම් මූලස්ථානය තියෙන්නෙ නිව්යෝක්වල. නිව්යෝක්වලට ගියාට පස්සෙ ඒ ඒ රටවල් තමන්ගේ රටවල තියෙන බහුජාතික සමාගම්වලට බිස්නස් කරගෙන යන්න සුදුසු වාතාවරණයන් හදාගන්නෙ කොහොමද කියන එකයි ගොඩක් වෙලාවට ඒ න්‍යායපත්‍රවල තියෙන්නෙ. ඒ නිසා මේකෙ තියෙන දේශපාලන පැත්ත ගැන අවබෝධයක් අපිට තියෙනවා. නමුත් අපි දන්නවා අපේ රටේ රටවල මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව මේ වගේ වේදිකාවල හඬක් නැඟීමෙන් යම් ප්‍රතිලාභ තියෙනවා. උදාහරණයකට තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වල දෙන්න වෙන්නෙ, අතුරුදන් වූවන් සම්බන්ධව කාර්යාලය හදන්න වෙන්නෙ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරන්නෙ නෑ කියල 2019 දී රනිල් වික්‍රමසිංහට ගිහින් කියන්න සිදුවුණේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ බලපෑම නිසා.

අධි ආරක්ෂිත කලාප පිළිබඳ පනත අසාර්ථක වීමත් සමග රජය පුනුරුත්ථාපන අධිකාර්යාංශ පනත නමින් නව පනතක් ගෙනත් තිබෙනවා. දැන් රටේ ප්‍රමුඛ අවශ්‍යතාව බවට පත්ව තිබෙන්නෙ එයද ?

ඔය පනත ගිය විසිතුන් වෙනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට දාල තියෙන්නෙ. සාමාන්‍ය තත්ත්වය යටතේ පුනරුත්ථාපනයට කෙනෙක් යවනවනම් උසාවි නියෝගයක් හරහා යවන්න ඕන. මේක අනුව පුනරුත්ථාපන කොමසාරිස් හරහා යවන්න පුළුවන්. පුනරුත්ථාපනය කළ යුතු අය ගැන ඒකෙ තියෙන නිර්වචනයේදී ත්‍රස්වාදී ක්‍රියා අන්තවාදී ක්‍රියා නැමති කොටසට අරගලකරුවන් ඇතුළත් වෙන අර්ථයක් වගේ වචනයක් දාල තියෙනවා. මේ උත්සහ කරන්නෙ අරගලයේ නියුතු අය පුනරුත්ථාපනය කරන්න ඕන. ඒ අය වැරදි කරපු අය වගේ අදහසක් දෙන්න. මෙයාල හදන්නෙ පැරණි නීති හරි කමක් නෑ මර්දනයට යොදාගන්න පුළුවන් නම් ඒකයි මේ කරමින් ඉන්නෙ. අධි ආරක්ෂිත කලාප නම්කළේ රාජ්‍ය රහස් ආරක්ෂක පනත කියන ඉතාම පරණ අඥාපනත යටතේ. මේ වගේ කොහේ හරි කෑල්ලක් තියනවනම් ජනතා නැඟිටීමක් මර්දනය කළ හැකියි, ඒක පාවිච්චි කරමින් ඉන්නවා.

මේවට විරුද්ධව ඔබලාට කළ හැකි දෙයක් තියෙනවද?

ස්ථර දෙකකින් අපි මේවට එරෙහිව සටනක් කරනවා. අධිකරණය වැනි ආයතන තුළ මේවා අභියෝගයට ලක්කරල අපි සටන් කරනවා. අනෙක් පැත්තෙන් මේ වගේ මර්දනීය නීති කඩ කරල ඒවට අභියෝග කරල ජනතාවගේ බලය පෙන්නන තැනකට යන්න ඕන.

මර්දනීය නීති කඩකරනවා කියන්නෙ උද්ඝෝෂණ වැනි ක්‍රියාමාර්ග තුළින් ඒවා දියකර හැරීමද ?

අනිවාර්යයෙන්ම, රජය අලුත්කඩේ අධිආරක්ෂිත කලාපයක් ලෙස නම් කළා. හැබැයි නීතිඥවරුම අධිආරක්ෂිත කලාපයේම උද්ඝෝෂණයක් කරල ඒක අභියෝගයට ලක්කළා. කිසිම බලයක් නැති මේ එක පාලකයෙක්ට ජනතාව පෙළන එහෙම නීති දාන්න පුළුවන්ද..? මොකක්ද රනිල් වික්‍රමසිංහට ජනතාවත් එක්ක තියෙන සම්මුතිය. අනික ජනතාවගෙන් එහෙම දේකට ඉල්ලීමක් තියෙනවද. එහෙම නැති කොට තනි පාලකයෙක්ට මෙහෙම මිනිස්සුන්ව පීඩාවට පත්කරන්න, තමුන්ට ඕන විදියට අධි ආරක්ෂිත කලාප ගහන්න, රැඳවුම් නියෝග දාල මිනිස්සුන්ව හිර කරන්න, ඒ වගේ තක්කඩි කම් කරන්න දෙන්න බෑ. ඒ වගේ පාලකයන්ට ඉතිහාසයේ අත්වෙලා තියෙන ඉරණම එයා කියවිය යුතුයි.

ආණ්ඩුව මේ නීති ගේන්නෙ අරගල නිසා සමාජය අස්ථාවර කරනවා කියන චෝදනාව මත ?

මේ කරන අරගල සමාජය අස්ථාවර කරන අරගල නොවෙයි. මිනිස්සු මේ අරගල කරන්නෙ සමාජය ස්ථාවර කරන්න. මේ වගේ ආර්ථික ප්‍රශ්නයක් තියෙද්දි මිනිස්සුන්ව මර්දනය කරන මිනිස්සු තමයි රට අස්ථාවර කරන්නෙ. ඒ මර්දනයට විරුද්ධව නැඟී ඉඳල තමුන්ගේ ඒ ආවේගය පිට කරල, ඒ ක්‍රමය වෙනස් කරන්න සටන් කරන මිනිස්සු තමයි සමාජය ස්ථාවර කරන්න උත්සහ කරන්නෙ. මේ දෙක අතර ගැටුමක් තමා මේ මොහොතේ තියෙන්නෙ. හැබැයි ඉතින් මොන නීති දැම්මත් ජනතා බලය ඉස්සරහ ඔය නීති යටවෙයි.

ඔබලා එක්ක අරගලයේ ඉදිරි පෙළ සිටි වසන්ත මුදලිගේ වැනි රැඳවුම්භාරයේ සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට මොකද වෙන්නෙ ?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව දැනට වසන්තට දින අනූවක රැඳවුම් නියෝග ගහල තියෙන්නෙ. ඇමැතිට පුළුවන් ඒක වසරක් දක්වා දීර්ඝ කරන්න. වසන්තව හමුවෙන අවස්ථාවලදී අපිට දැනගන්න තියෙන්නෙ රඳවාගෙන පරීක්ෂණ කරල හොයාගන්න අමුතු දෙයක් නෑ ඔහුගෙන්. අන්තරේ කියන්නෙ රහසිගත සංවිධානයක් නෙවෙයි. කරපු හැම දෙයක්ම දැනුම් දීල මිනිස්සුන්ට ආරධනා කරපු සංවිධානයක්. වසන්තලා ඇතුළු පිරිස රඳවාගෙන අන්තරේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන්නයි ඔවුන්ගේ අරමුණ. මොකද අරගලය දියාරු වෙන්න ගිය අවස්ථාවලදී අන්තරේ වැනි ව්‍යුහයන් තමා මැදිහත්වෙලා ඒක ශක්තිමත්ව තියා ගත්තෙ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරල අසූ අට අසූ නවය වගේ කාලේ අද්දැකීම් මේ රටේ මිනිස්සුන්ට තියනවා. ඒ කාලේ පක්ෂ තහනම් කළත් එම පක්ෂ තමන්ගේ දේශපාලනය ඉදිරියට අරන් ගියා. නැති වුණේ නෑ. අන්තරේ වගේ සංවිධාන වලත් ස්වභාවය ඒකයි.

අරගලයේ සිටි ක්‍රියාකාරීන්ට දැන් විවිධ චෝදනා නැඟෙනවා, ඔවුන් විවිධ පක්ෂවල වගේම දේශපාලකයන්ගේ අතකොළු බවට?

අරගලය තුළ විවිධ මත දරන අය හිටියා. හැබැයි බහුතරයක් අයට තිබ්බෙ බොහොම අවංක අරමුණක්. ඒ ඇතුළේ තමන්ගෙ න්‍යාය පත්‍රයන් හංගන් හිටිය කීප දෙනෙක් ඉන්න පුළුවන්. අපි ඒක සළකන්නෙ නෑ. ඒ අයට ඉතිහාසයේ ලැබෙන්න ඕන තැන ලැබෙයි. අවංකව සටන් කරපු බහුතරයක් අය මේ අරගලය ඉදිරියට අරන් යයි.

නැවත එන අරගලයකට නායකත්වය දෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණ බව එහි නායකයන් කියා තිබෙනවා. ඒ අනාවැකිය ගැන මොකද කියන්න තියෙන්නෙ ?

ඒගොල්ලො මැතිවරණ හරහා ඒ ආයතන අත්පත් කරගෙන, හොඳ මිනිස්සු පාර්ලිමේන්තු යැව්වොත් මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කියල හිතන පක්ෂයක්. ඒ ගැන විවේචනයක් නෑ. හැබැයි පාර්ලිමේන්තුවට මුලින් නරක මිනිස්සු කියල කව්රුවත් ගියේ නෑනෙ.

ගිය මිනිස්සු නරක් වුණා. මකර මරල වීරයා ඒ පුටුවේ වාඩි ගත්තම වීරයා මකර බවට පත්වෙනවා. ඒ කියන්නෙ මේ සිස්ටම් එක විසින් මේ මිනිස්සුන්ව උරා ගන්නවා. ඒ අද්දැකීම් ජනතා විමුක්ති පෙරමුණටත් තියෙනවා. හැබැයි තනි දේශපාලන පක්ෂයක් මේ අරගලය තමන්ගේ කියල ඉස්සරහට යනව නම් ඒක අරගලයට කරන හානියක්. අරගල භූමිය තුළ ජ.වි.පේ. ශිෂ්‍ය සංවිධාන හිටියා. ඒ හිටපු සහෝදරවරු මේක ඇතුළේ ගොඩක් දේ තේරුම් ගත්තා. පක්ෂ න්‍යාය පත්‍ර මෙතෙන්ට ගේන්න බෑ, මේක තුළ විවිධ මත දරන විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අයයි ඉන්නෙ. අරගලයේ නායකත්වය ගියේ සටන් පාඨ යටතේ. හැබැයි ඉදිරියේදී සිස්ටම් චේන්ජ් එකක් කරන්න නම් නායකත්වයක් ඕන. ඒ සැබෑ නායකත්වය අරගලය තුළදී නිශ්චිත මොහොතකදී බිහි වෙයි.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment