එංගලන්ත ලයන්ස් – ශ්‍රී ලංකා ඒ එක්දින තරගාවලිය අදින් ඇරඹේ

127

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය අද (15 වැනිදා) උදෑසන 10.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් වරට 2021 මාර්තු මාසයේදී එක්දින තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කරන ලද හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අද තරඟයේ දී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නායකයා ලෙසින් කටයුතු කරන ලද ඇන්ජලෝ මැතිව්ස්, එක්දින ජාත්‍යන්තර තරග 218 කට ක්‍රීඩා කර ලකුණු 5835 ක් ලබා ගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග අංශයේ වැඩිම ලකුණු සාමාන්‍යයක් සහිත දෙවැනි පිතිකරුවා වන්නේ ඇන්ජලෝ මැතිව්ස් වන අතර ඔහුට ඉදිරියෙන් සුපිරි පිතිකරු හිටපු නායක කුමාර් සංගක්කාර 41.96 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටින්නේය.

කණ්ඩායමේ නායකයා ලෙස සධීර සමරවික්‍රම නම් කර තිබෙන අතර චාමික කරුණාරත්න, අවිශ්ක ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, නුවනිඳු ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රම ද ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට නම් කර තිබේ. මීට අමතරව පුහුණු තරගයේදී සහ දෙවැනි සිව්දින තරගයේදී ශතක වාර්තා කිරීමට සමත් ලසිත් කෲස්පුල්ලේ ද මෙම තරගාවලිය සඳහා කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දෙපිල අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය ලබන 18 වැනිදාත්, තෙවැනි තරගය ලබන 21 වැනිදාත් පැවැත්වේ.

කණ්ඩායම් දෙක අතර පැවැති සිව් දින ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල – සධීර සමරවික්‍රම (නායක), අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම, ප්‍රමෝද් මදුශාන්, දුශාන් හේමන්ත, මිලාන් රත්නායක, කවිශ්ක අංජුල, ළහිරු උදාර, නිපුන් ධනජය, සුමින්ද ලක්ෂාන්.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment