පොලිස් මාධ්‍ය ප්‍රකාශක තල්දූව DIG‍ තනතුරට උසස් කෙරේ

67

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

මෙම උසස්වීමත් සමගම නිහාල් තල්දූව මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ දිගටම රාජකාරි කරන අතර අපරාධ දිසාව භාරව ද රාජකාරි කිරීමට නියමිතය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන නිහාල් තල්දුව මහතා 1992 වර්ෂයේදී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වුණේය. විවිධ නිලයන් යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරි කළ තල්දුව මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල මෙහෙයක් කළ නිලධාරියෙකි.

ඇල්පිටිය, යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස ද කටයුතු කළ ඒ මහතා බස්නාහිර පළාත් බුද්ධි ඒකකය, ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ භාරදුර කාර්ය භාරගත් නිහාල් තල්දුව මහතා සියලු මාධ්‍ය සමග ඉතාම සුහදව කටයුතු කරමින් සිය රාජකාරිය ඉතාම සාර්ථකව ඉටු කරන්නේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යා විශේෂ උපාධිධාරියකු වන ඒ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු ලෙස ද දිවුරුම් දුන්නේය.

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment