සියල්ලටම වඩා දරුවන් වටිනවා – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

183

අද ලෝක ළමා දිනයයි. අප ජාතියක් හැටියට හැමදාම පිළිගත් දෙයක් තිබේ. හැමදාම කියූ දෙයක් ද තිබේ. ඒ… හොඳම දේ දරුවන්ට කියාය.

අප එසේ පිළිගත්තාට අප එසේ කීවාට ඒ කියමන මේ මිහිපිට මොනතරම් යථාර්ථයක් වී ඇද්දැයි යන ප්‍රශ්නය ජාතියක් හැටියට තාමත් අප ඉදිරියේ ශේෂව තිබේ. ජාත්‍යන්තරය කෙසේ වෙතත් අපේ රටේ දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් හැටියට අප අපේ යුතුකම් කොටස ඉටු කර තිබේද… ජාත්‍යන්තර වශයෙන් වසරකට වරක් දිනක් නම් කර එය සමරා, හැකි තරම් එදිනට මාතෘකාව ගැන කතාකිරීමෙන්ම පමණක් අපට අපේ වගකීම් කොටස ඉටු කළ හැකිද…

මා මේ ගැන සාකච්ඡා කරන්නට හමු වූයේ මේ රටේ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරන්ධර ගීතා කුමාරසිංහ මැතිනියයි. එතුමිය විෂයභාර අමාත්‍ය වශයෙන් පමණක් නොව, මවක මිත්තණියක ලෙස අප හා ඒ සංවේදී ප්‍රස්තුතය ගැන කතාබහට එක් වූවාය.

“ඇත්ත… මං පිළිගන්නවා. වසරකට වරක් දිනයක් යොදාගෙන එදාට විතරක් ළමයි පිරිසක් එකතු කරල තෑගිබෝග ටිකක් දීලා උත්සව පවත්වලා ළමයින් ගැන කතා කරල පමණක් ළමයින් සම්බන්ධයෙන් අපේ රටේ මේ තියන ප්‍රශ්න විසඳෙන්නේ නෑ. එතන මමත් ඉන්නවා.

හැබැයි ඉතින් එහෙම දිනයක් හෝ තිබීම තුළ රටේම අවධානය පුංචි දරුවන් කෙරෙහි යොමු කරවන්න ලැබීමත් සාධනීය කරුණක්. ළමා ලෝකය ගැන අවධානයෙන් කතා කිරීමම හරි වැදගත්.

නිකමට බලන්න… අපේ ගම්වල අම්මලා දරුවො නලවන්න යොදාගත්ත නැලවිලි ගී ටික ඇරෙන්න අද පුංචි ළමයින් වෙනුවෙන් අවධානය යොමු කරන්න කවියක් ලියවෙනවද. මෙච්චර සින්දු ලියන රටේ ළමයින් වෙනුවෙන් සිංදුවක් හැදෙනවද. ළමයින් ගැන කෙටිකතාවක් නවකතාවක් ලියවෙනවද. ඉඳලා හිටලා චිත්‍රපටයක් චිත්‍රපටයක් හදනවා ළමා කියලා. නමුත් ඒවත් වැඩිහිටියන්ට බලන්න පුළුවන් ඒවා. එහෙව් රටක මෙහෙම හරි ළමා පරපුර වෙනුවෙන් අවධානයක් ඇති කරන්න වැඩසටහන් මාලාවක් මගේ අමාත්‍යාංශය යටතේ කරන්න පුළුවන් වෙච්ච එක ගැන මම සතුටු වෙනවා.

මේක ජනාධිපතිතුමා යටතේ තියෙන අමාත්‍යාංශයක්. විෂය පථය බලා ගැනීමේ වගකීම මට පවරලා තියෙනවා. ගිය අවුරුද්දෙත් අමාත්‍යාංශයට වෙන්ව තිබුණේ සුළු ප්‍රතිපාදනයක්. මේ අවුරුද්දෙවත් මේ මුදල වැඩි වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම කරන්න මේ ගැන රටේ කතිකාවක් ඇති කළ යුතුයි. මට හිතෙනවා මෙවන් දින වෙන්වීම ගැන අපි අවඥාවෙන් බලන්නේ නැතුව අපි අපිම පූර්වාදර්ශයක් වෙමු. අපි එදාට කතා කරන දේ යථාර්ථයක් බවට පත් කරන්න වසර පුරා කැප වෙමු.

අපි කතා කරපු අරමුණ වෙනුවෙන් වැඩ කරන්න, මේරටේ ළමා පරපුර රැකගන්න අමාත්‍යාංශයට පැවරිලා තියෙන විෂය පථය මොන වගේ එකක්ද..?

ඇත්ත වශයෙන්ම මට ඔතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද මධ්‍යම රජයට අමාත්‍යාංශයක් තිබුණට ළමා පරපුර වෙනුවෙන් වැඩ කරන්න බොහෝ වගකීම් හා බලය හිමි වෙලා තියෙන්නෙ පළාත් සභාවලට. ප්‍රතිපාදනත් ලැබෙන්නේ ඔවුන්ට. අමාත්‍යාංශයේ සල්ලි වුණත් වියදම් කරන්න වෙන්නේ පළාත් සභාව හරහා. ඉතින් මේක හරිම පටලැවිල්ලක්.

අපට ළමා ආරක්ෂක අධිකාරිය කියලා එකක් තියෙනවා. ළමයින්ගේ ආරක්ෂාව හා අනාගතය සම්බන්ධයෙන් අපි වගකියන්න ඕන. රට පුරා තියෙන ළමා නිවාස ටික බලාගන්න ඕන. පෙරපාසල් ටික නඩත්තු කරන්න ඕන. වගකීම් කොටසක් තියනවා. නමුත් ඒ සදහා මුදල් නැහැ. ඒවා පළාත් සභාවට. අපි පැනලා බලෙන් උදුරගෙන වගේ තමයි පුද්ගලික හිතවත්කම් දැන ඇඳුනුම්කම් පාවිච්චි කරලා සමාජ සංවිධාන වලින් ව්‍යාපාරිකයන්ගෙන් දානපතීන්ගෙන් මුදල් සපයා ගෙන මේ කරන සේවය කරගෙන යන්නේ. නමුත් ඒක හරි නැහැ. එක වෙලාවකට මට හිතෙනවා පළාත් සභා මේවා කරනවා නම් අමාත්‍යාංශයක් ඇමැති කෙනෙක් මොකටද කියලාත්. අද ඉතින් පළාත් සභා නැති එක වෙනම කතාවක්.

ඔබතුමිය කියන්නේ මේ රටේ පරිපාලන රෙගුලාසි, අනපනත්, ආයතනික නීති රීතිවල වෙනසක් විය යුතුයි කියලද..?

ඔව් බරපතළ පරිවර්තනයක් ඇතිවිය යුතුයි. මම එකිනෙකට ඒ ඇයි කියලා කියල විස්තර කරන්නම්.

සමහර අම්මලා දරුවන්ව මහ මග දාලා යනවා. සමහර අම්මල දරුවෝ සමග සිය දිවි හානි කර ගන්නවා. එහෙම නැත්තං තම දරුවන්ව විවිධ වැරදි වැඩවලට අපචාරවලට හුරු පුරුදු කරල සමාජගත කරනවා. ඒ ඇයිද කියලා දන්නවාද. සමාජය වරද දකින්නෙ අම්මලාගේ. හැබැයි ඒ තැනට ඒ අය යොමු වුණේ ඇයි කියල හිතන්න.

ඔය වගේ අත්දැකීම්වලට මුහුණ පාන ලක්ෂ ගාණක් අම්මලා තරුණ වැන්දඹුවෝ. මොනයම් හෝ දෙයක් නිසා තරුණ කාලෙදිම මහත්තයා මියයනවා.

අපි ගණන් බලලා තියෙනවා. අන්න ඒ වගේ තරුණ අම්මලාව බලාගන්න කිසි වැඩපිළිවෙළක් නෑ. ඔය අස්වැසුම වගේ රජයේ සමාජ සේවා අරමුදල්වලට එයාල අහුවෙන්නේ නෑ. තරුණයි කියයි. එහෙම නැත්නම් උළු හෙවිලි කළ සීට් හෙවිලි කළ හොඳ ගෙයක් තියෙනවා කියයි. නමුත් එයාලට ජීවත් ජීවත් වෙන්න කෝ ආදායමක්.

ඉතින් ආදායම් හොයන්න තරුණ අම්මලා ළමයි ගෙදර දාලා විවිධ දුරාචාර පසුපස යනවා. එක්කෝ ගාමන්ට් රස්සාවකට යනවා. අද ගාමන්ට් වැහෙනවා ස්පා(SPA) ඇරෙනවා. ඉතිං අම්ම ස්පා එකේ වැඩ කරල දුරාචාරවලට හසු වෙලා ගෙදර එනකොට ගෙදර තනියම ඉන්න ළමයිනුත් දන්නෙම නැතුව ළමා අපචාර වල ගොදුරු බවට පත්වෙලා. රට රස්සාවල් හොයාගෙන යන තරුණ අම්මලාගෙ දරුවන්ට තියෙන අභියෝගයත් ඕකයි.

ඒ දරුවෝ පිරිමි ළමයි නම් විවිධ අපචාර අපරාධවලට පුරුදු වෙනවා. ගෑනු ළමයි නම් කුඩා වයසේදීම අපචාරවල ගොදුරු බවට පත්වෙනවා. ගෙදරදි පාසලේදි බස් එකේදි මේ ඕනම තැනකදි වෙන්න පුළුවන්. පොදු ගමනාගමන සේවා වලදී මේ වගේ දරුවන්ව සමහර පිරිමි ඔඩොක්කුවේ වාඩි කර යනවා ආදරේට වගේ. ඒ දරුවා දන්නෙත් නෑ අපචාරයට ලක් වෙලා. ඒක ගෙදරට කියන්න තේරෙන්නෙත් නෑ. මේ රටේ සිය දාස් ගණන් ඔය විදියට පුංචි දරුවෝ ආරක්ෂාවක් නැතුව විනාශ වෙන්නේ බොහෝවිට අපේ නීති රීති අණපනත් වල වරදින්. එහෙම ගෑනු දරුවො ලොකු මහත් වුණාම කරන්න රස්සාවල් නැතුව කෙළින්ම යන්නේ ස්පාවලට.

අනිත් එක තමයි අපේ අපේ ළමා නිවාසවල නීති රීති වල අඩුපාඩුකම් නිසා සිද්ධ වෙන වැරදි. කාත් කවුරුවත් නැති ළමයි පුංචි කාලේ බලාගෙන අවුරුදු 18 සම්පූර්ණ වුණාම එළියට දානවා. ඒ දරුව කොහේ යන්නද. යන්නෙ අර වගේ තැන් වලට තමයි.

අනිත් අරුම පුදුම නීතිය බලන්න කෝ. අවුරුදු දාසයේදී ආරක්ෂිත ලිංගික හැසිරීමකට අවසර දෙනවා. නමුත් 18 සම්පූර්ණ වනතුරු විවාහ වෙන්න බෑ. ඔන්න ඔය බහුබූත නීතිය නිසා කොච්චර ගෑනු දරුවො තමන්ගේ ප්‍රේමවන්තයා අතින් අසරණ වෙලා විවාහ වෙන්න බැරුව අන්තිමේ තනිවෙනවා ඇත්ද. මේවා නිසා තමයි මම කියන්නේ නීතිරීති වෙනස් වෙන්න ඕන කියලා. ඕව ගැන මම දවසක් කතා කරන්නම්. ඔය ගංජා කසිප්පු ගැන කතා කරනවට වඩා හරිනම් කාන්තාවො මෙන්න මේවා ගැනයි කතා කරන්න ඕන පාර්ලිමේන්තුවේ.

එතකොට මේ විභාග නීති නිසා ළමයි අසරණ වෙන හැටි. දැන් පහුගිය දවස්වල ඒ ලෙවල් රිසාල්ට් ආවා. සමහර ළමයි පාස් වෙලා ගියා. ගොඩක් අය ප්‍රේල් වුණා. නමුත් ළමයි ලක්ෂයකට වඩා ඉන්නවා තමන්ගෙ ඉලක්කයට යා ගන්න බැරුව දෙවනි පාර උත්සාහ කරලා විභාගය ලියලා ඒ තුන A /3 බලාපොරොත්තු වෙන අය. මේ අවුරුද්දේ ඒ දෙකයි බී එකයි අරන් ලබන පාර ඒ තුනම දාගෙන medical college යන්න ඉන්න අය.

නමුත් එයාලට ලෑස්ති වෙන්න කාලයක් නෑ. ඇමැතිතුමා ඒ ලෙවල් මේ අවුරුද්දෙම තියන්න හදනවා. ළමයි ඉල්ලනවා ලබන අවුරුද්දේ ජනවාරි වෙනකම්වත් කාලය. මම මේ පාර ළමා ළමා දිනය දවසේ මේක ඉල්ලීමක් හැටියට ආණ්ඩුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා අගමැතිතුමා ඉස්සරහ. ඇයි මේ ළමයින්ගෙ සාධාරණ ඉල්ලීමට කන් දෙන්න අපේ අධ්‍යාපන ඇමැතිතුමාට බැරි.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මැතනිය සමග මේ පිළිබඳ තවත් බොහෝ දේ කතා කරන්නට තිබේ. එහෙත් කාලය හා ඉඩකඩ මත ඒ සියල්ල සීමාවකට ලක්විය. රජයේ හා මහජනතාවගේ අවධානයට ලක් විය යුතු බොහෝ දෑ ඇය මේ පටු ඉඩකඩ මත කියා පෑවාය.

සියල්ලටම වඩා දරුවන් වටී යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පැවැත්වෙන ජාතික උත්සවය ඔක්තෝබර් 01 වැනිදා උදේ 10 00ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතය. ඒ නිමිති කොටගෙන කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය සමග මෙම සාකච්ඡාව පවත්වනු ලැබීය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment