ඇමතිගේ විකට් ගිය ක්‍රිකට් අවුල

624

දැන් සති කීපයක පටන්ම අපේ දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාව හෙබවූයේ හිටපු යෞවන කටයුතු ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ හා ඔහු සම්බන්ධ කියුම් කෙරුම්ය. මේ සතියේ කියාද වෙනසක් නොවීය. මේ පසුගිය සතියේද අපේ කරලියේ ප්‍රධාන මාතෘකාව ඔහුම විය.

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහව ඇමැති ධුර වලින් ඉවත් කරන්නට ජනාධිපතිවරයා තීන්දු කළේ පසුගිය සඳුදාය. සඳුදා ඒ පිළිබඳ තීන්දුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ගත් තීන්දුවට එහිදී කිසිවෙක් එරෙහි වන්නට උත්සාහයක්ද ගත්තේ නැත. එම සිදුවීම වූයේ මෙසේය.

සති අන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුර නොච්චියාගමට ගියේය. බලපත්‍ර ඉඩම් ලාභීන්ට එම ඉඩම්වල සින්නක්කර උරුමය ලබා ලබාදීමට ජනාධිපතිවරයා අයවැයෙන් කරන ලද යෝජනාව යථාර්ථයක් බවට පත් කරමින් ජනාධිපතිවරයා එහිදී නොච්චියාගම සූදානම් කර තිබූ උත්සවයකදී ප්‍රදේශයේ පිරිසක් වෙත සින්නක්කර ඔප්පු ප්‍රදානයක් සිදු කළේය.

“ෂැන්ග්‍රිලා හෝටලය ඇතුළු හෝටල් ගණනාවක් හදන්න පහුගිය ආණ්ඩුව හමුදා මූලස්ථානයට අයිති ඉඩම් අක්කර ගණනාවක් විදේශිකයන්ට සින්නක්කරව ලබා දුන්නා. ඉතින් බලපත්‍රලාභීන් හැටියට මේ ඉඩම්වල පදිංචි වෙලා වගා දිගා කරගෙන ඉන්න අසරණ මිනිස්සුන්ට මේ ඉඩම්වල අයිතිය ලබා දෙන එක වරදක් කියලා කාටවත් කියන්න බෑ…” ජනාධිපතිවරයා එසේ කීවේ ඉදිරියේ දී මිලියන දෙකක් පමණ වූ පිරිසකට සින්නක්කර ඔප්පු පිරිනැමීමේ ව්‍යාපෘතියක ආරම්භය සනිටුහන් කරමිනි.

● ජනපතිගෙන් රොෂාන්ට චෝදනා දෙකක ලියුමක්…

අනුරාධපුර සංචාරය නිසා වෙහෙසට පත්ව සිටි ජනාධිපතිවරයා තරමක් විවේකීව සිට සඳුදා උදේ කාර්යාලය වෙත පැමිණියේ තරමක් ප්‍රමාද වී ය. ඒ කලින් යොදාගත් රාජකාරි කීපයක් ඉටු කළ යුතුව තිබූ නිසාය. සඳුදාට ඇමැති මණ්ඩල රැස්වීම යෙදී තිබිණි. ජනාධිපතිවරයා එම රැස්වීම එදින හවස පාර්ලිමේන්තුවේ දී පවත්වන්නට තීන්දුකර සියල්ලන්ටම දැනුම් දුන්නේ විශේෂ කරුණු කීපයක් මෙහිදී සාකච්ඡාවට ලක් කරන්නට නියමිතව ඇතැයි කියාය.

යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයාව එතෙක් කටයුතු කළ රොෂාන් රණසිංහගේ විශේෂ ප්‍රකාශය ගැන ඒ වන විට ජනාධිපතිවරයාට කරුණු සැලවී තිබිණි. එදින පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා හමුවූ ආශු මාරසිංහ එදින උදයේ පාර්ලිමේන්තුවේ දී රොෂාන් රණසිංහ ඇමැතිවරයා කරනු ලැබූ විශේෂ ප්‍රකාශය ගැන විමසා සිටියත් ජනාධිපතිවරයා ඒ ගැන කිසිවක් කියන්නට ගියේ නැත. කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වන්නට පැමිණි ජනාධිපතිවරයා අත කුමක්දෝ වැදගත් ලිපි ගොනුවක් ඇති බව බොහෝ දෙනකුට නිරීක්ෂණය වූහ.

කැබිනට් රැස්වීම නිසි වේලාවට ආරම්භ වූ අතර එදින උදේ පාර්ලිමේන්තු සභා ගර්භයේදී ජනාධිපතිවරයාව දැඩි විවේචනයකට ලක්කළ ඇමැති රොෂාන් රණසිංහ ද සුපුරුදු පරිදි පැමිණ කැබිනට් රැස්වීමේ වාඩි වන අයුරු බොහෝ දෙනෙක් බලාසිටියේ විමතියෙන් යුතුවයි. රැස්වීම ආරම්භ වී ටික වේලාවකට පසු ජනාධිපතිවරයා ඝෘජුවම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා දෙස බලමින් කතා කළේය.

“ඔබතුමා විපක්ෂ නායකතුමාත් ලක්ෂ්මන් කිරිඇල්ලත් එක්ක එකතු වෙලා ඉන්දියානු මහා කොමසාරිස්තුමාව ගෙන්නලා සාකච්ඡාවක් කරල තියෙනවා. ඉන්දියාව හරහා අයිසීසී එකට කතා කරලා ක්‍රිකට් තහනම අයින් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කළා නේද”. ජනාධිපතිවරයා එසේ ඍජුව විමසා සිටියත් ඇමැතිවරයා ඊට උත්තර දෙන්නට ගියේ නැත.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් අතට ගත්තේය. මේ තියෙන්නෙ ඔබතුමා මහවැලි ඉඩම් බෙදා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරල තියෙන කැබිනට් පත්‍රිකාවක්. චෝදනාවක් තියෙනවා මේ ඉඩම් ලාභීන් බහුතරයක් ඔබතුමාගේ ඥාති හිතවතුන් කියලා…”

ජනාධිපතිවරයා සිදුකළ එම ප්‍රකාශ දෙකටම ඇමැතිවරයාගේ කිසිදු උත්තරයක් නොවීය. ඒ අතරතුර කැබිනට් ලේකම්වරයා යම්කිසි ලියුම් කවරයක් ගෙනැවිත් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළේය. එය විවෘත කළ අමාත්‍ය රොෂාන් ඇතුළේ තිබූ ලියුම කියවමින් මෙසේ කීවේය…

“මම දූෂණයට වංචාවට විරුද්ධයි…”

“ඔබතුමා විතරක් නෙවෙයි දූෂණයට වංචාවට මමත් විරුද්ධයි. අපි හැමෝමත් විරුද්ධයි…”

මේ අතරතුර කිසිවක් නොකියාම අමාත්‍යවරයා කැබිනට් රැස්වීම පැවති කමිටු ශාලාවෙන් පිටත්ව යන්නට ගියේය.

මේ වෙලාවේ මෙවන් වෙනසක් අපේක්ෂාවෙන් බොහෝ දෙනෙක් පිටත රැඳී සිටියහ. සමහර හිතවතුන් කුමක් වූයේ දැයි අසන්නට ඉදිරියට පැමිණියහ….

“දෙකම ගලවලා දාලා…” කියමින් ඔවුන් සමග සාකච්ඡා නොකොටම පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණි අමාත්‍යවරයා සිය කාර්ය මණ්ඩලය හා ආරක්ෂකයන් සමග අමාත්‍යාංශවලට ගොස් අමාත්‍යාංශ උපකරණ හා වාහන භාරදීමේ වැඩකටයුතුවල නිරත වූහ. ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට යමින් සිටියේය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඒ වන විටත් රොෂාන් රණසිංහගෙන් හිස්වුනු අමාත්‍යාංශ දෙක භාර ගැනීම සඳහා පවිත්‍රා වන්නිආරච්චිටත් හරීන් ප්‍රනාන්දුටත් ලේකම් කාර්යාලයට එන මෙන් දන්වා යවා තිබිණි.

ඇමැති ධුරයෙන් ඉවත් කෙරුනු පසුව රොෂාන් ඊට පසුදා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් නැඟුවේය. ඔහු ඊට යොදා ගත්තේ ඔහුව ඉවත් කිරීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබූ නිවේදනයක අඩංගු තොරතුරකි. ඊට අමතරව ඔහු මාධ්‍ය හා සමාජ මාධ්‍ය යොදාගනිමින්ද රජයට හා විශේෂයෙන් ජනාධිපතිවරයාට විවිධ චොදනා ඉදිරිපත් කරන්නට විය. දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව කතා කළ හා ක්‍රියාකළ තමන්ව අවසානයේ දූෂණ අක්‍රමිකතා විසින්ම කපාහැරියේ යැයි ඔහු කීවේය.

ඇමැති ධුරයෙන් ඉවත් කෙරුනු පසුව රොෂාන් ඊට පසුදා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් නැඟුවේය. ඔහු ඊට යොදා ගත්තේ ඔහුව ඉවත් කිරීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබූ නිවේදනයක අඩංගු තොරතුරකි. මේ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයට ගොස් ප්‍රසන්න රණතුංගව මුණ ගැසුණේය.

“හා… එන්න අපේ හිටපු ඇමැතිතුමා. හෙට අපේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ඡාවට ගන්නවනේ. ඉතිං අපි මේ ඒක ගැන කතා කරමිනුයි හිටියේ…” කියමින් ප්‍රසන්න රොෂාන්ව පළිගෙන තම අදාළ රාජකාරිය පසෙක තබා රොෂාන් හා සතරකන්මන්ත්‍රණයකට එළඹියේය. සාකච්ඡාව පැය භාගයකට වැඩි වේලාවක් පැවැත්විණි. වෙනත් කිසිදු පාර්ශ්වයක් එහි නොවූ බැවින් දෙදෙනා කතා කළේ මොනවාදැයි කියා මාධ්‍යවලට අනාවරණය වූයේ නැත.

අවසානයේ රොෂාන් ස ජ බලවේගයට යයි..!

අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු පසු රොෂාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද දැඩි චෝදනාවක් එල්ල කළේය.

තමන් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට කරගෙන ගොඩනැඟී තිබූ දූෂිතයන්ගේ හා හොරුන්ගෙන් රාජධානියට එරෙහිව සටන් කළත් කිසිවකු ඒ සඳහා තමන්ට උපකාර කළේ නැතැයි ඔහු කීවේය. රාජපක්ෂවරුන් හා පොහොට්ටුව වෙනුවෙන් අපමණ සේවාවක් කළ තමන්ව අවසානයේ පොහොට්ටුවත් තනිකර දැමුවේ යැයි ඔහු කීවේය. රොෂාන්ගේ චෝදනාව බරපතළ වූයේ ඔහු පෙනී සිටි ක්‍රිකට් ප්‍රශ්නයද ඒ වන විට ජාතික මාතෘකාවක් වී තිබුණ නිසාය. විශේෂයෙන්ම රටේ පොදු ජනතාව ක්‍රිකට් මාෆියාවට එරෙහිව ලොකු හඬක් නඟමින් සිටියහ. රොෂාන් එක් අවස්ථාවක කැපී පෙනුණේ එම හඬ නියෝජනය කරන ආණ්ඩුවේම දේශපාලනඥයා ලෙසය.

කෙසේ වෙතත් අවසානයේ සියල්ල කණපිට හැර වෙන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. පොදු ජනතාව අන්තිමේ රොෂාන් රණසිංහ කලබල වූවා වැඩි දැයි සාකච්ඡා කරන්නට වූහ. රොෂාන් ඉවසීමෙන් කටයුතු කළේ නම් කාගේත් උදව්ව ඇතිව මෙම ප්‍රශ්නය ක්‍රිකට් තහනම් කරවා ගන්නේ නැතුව විසඳාගන්නට තිබුණැයි කියන තැනට රටේ මධ්‍යස්ථ පොදු ජනතාව පැමිණෙමින් සිටියහ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විපක්ෂ භේදයකින් තොරව මේ පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ. පොහොට්ටුව මේ වෙලාවේ මුනිවත රැකීම ගැන සමහරු තරමක් වේදනාවෙන් කතා කළහ. පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු මේ ආකාරයට තනි කරන්නට පොහොට්ටුව කටයුතු කළේ මන්දැයි කියා මාධ්‍යවේදීන් පිරිසක් ද නෙළුම් මාවත පැත්තෙන් විමසන්නට වූහ…

“එතුමාට අමාරුවේ වැටිච්ච වෙලාවට පොහොට්ටුව මතක් වුණාට එයා පොහොට්ටුවෙන් අයින් වුණේ අද ඊයේ නොවෙයි. 2022 මාර්තු මාසේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරලා ඇමැතිතුමා පොදුජන පෙරමුණෙන් ඉවත් වෙලා ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස වාඩි වුණා. එතුමා එහෙමයි ආණ්ඩුවේ නිලතල ආරක්‍ෂා කරගත්තෙ. ඒ වෙලාවේ පොහොට්ටුව එයා එතෙක් දරපු ආසන සංවිධායක කමයි දිස්ත්‍රික් නායකත්වයයි දෙකම වෙන දෙන්නෙකුට පවරලා දුන්නා. ඒ වගේම තමයි අපි 2023 මැයි දින උත්සවය පවත්වන කොට එයා අපේ මැයි දිනයට විරුද්ධව වෙනම මැයි රැළියක් පොළොන්නරුවේ පැවත්වූවා. රාජපක්ෂවරුන්ට හා පොහොට්ටුවට නොසෑහෙන්න දොස් කිව්වා. ඉතින් අපි මොකටද කොහේවත් නැති ප්‍රශ්න අපේ ඇඟේ දාගන්නේ…” නෙළුම් මාවතේ පොහොට්ටුවේ ඉහළම නියෝජිතයකු ඒ ප්‍රශ්නය ගැන කීවේ එසේය.

පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ පිළිබඳව තවදුරටත් මන්ත්‍රීවරු සාකච්ඡා වෙද්දී පොහොට්ටුව දැනට ඉන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය පැත්තේ ය යන චෝදනාව පැමිණියේය. ක්‍රිකට් වංචා දූෂණ නතර කරන්නට ඇමැති ගත් පියවර වැරදියිද යන ප්‍රශ්නය සාකච්ඡාවට ගැණින.

නමුත් ඒ වන විට කෝට්ටේ මන්ත්‍රීවරුන්ට ඉඟුරු දී මිරිස් ගත්තා සේ ක්‍රිකට් පාලක මණ්ඩලය එපා කියමින් පත් කරන ලද අතුරු පාලක මණ්ඩලය ගැන ද ප්‍රශ්න තිබිණි. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ තැන් තැන්වල මන්ත්‍රීවරුන් අතර කතාබහට ලක් වූයේ මෙබඳු ප්‍රශ්න ගැනයි.

“අයියා වෙනුවට මල්ලිව දාපු, මේ රටේ අපකීර්තිමත් තීන්දු ලියල එදාම විශ්‍රාම ගනිපු හිටපු විනිසුරුවරුන්ව දාපු, රටේ අපකීර්තිමත්ම මුදල් විශුද්ධිකරණ නඩුවලට කතා කරන නීතිඥයන්ව දාපු ඔය තේරීම් කමිටුවෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් සාධාරණය මොකක්ද… ඕක අරකට වඩා අන්ත වේවි” නීතිය පිළිබඳ දැන උගත් පොහොට්ටුවෙන් මන්ත්‍රීවරයකු එම ප්‍රශ්නය ගැන කතා කළේ එසේය.

“දැන් නම් රොෂාන්ට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. ජනාධිපතිතුමාව තරහ කරගත්තා, දැන් හිටපු ජනාධිපතිතුමා ළඟට යන්නත් බෑ. ඔය විදියට ඕගොල්ලන්ගේ නෙළුම් මාවත පැත්තේ යන්නත් බැරි වේවි….”

“එහෙ යන්න බැරි නෑ… එතන තියෙන්නෙ සැලුන් දොරක් නේ… කැමති වෙලාවක යන්න කැමති වෙලාවක එන්න එතැන නිදහස තියෙනවා…” ස්වාධීන මන්ත්‍රීවරයෙක් කීවේය.

“රොෂාන්ලා වගේ අය එනකොට ඒ සැලුන් දොරටත් ඉබ්බා දාලා තියෙයි…” පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ඇඟට පතට නොදැනී කීවේය.

“අවශ්‍ය නෑ… එතුමට දැන් ඕනම වෙලාවක එන්න අපේ නායකතුමාගේ කාර්යාලයේ දොර ඇරිලා ඉවරයි. කොහොමටත් දැන් අපේ පොලොන්නරුවේ කණ්ඩායම ශක්තිමත්…” එසේ කීවේ සමගි ජන බලවේගයට සම්බන්ධ තරුණ මන්ත්‍රීවරයෙකි.

● දෙකයිපනහේ වැඩ ලාන්සා ළඟ නැහැයිලු..

මේ අතර අඟහරුවාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් නැවත පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ වෙලාවේ මැති ඇමැතිවරු රැසක් ඔහුව වට කර ගත්තේ ඊට පෙර දා පැවති ඇමැති මණ්ඩල රැස්වීම ගැන කතා කරන්නට ය.

“එතුමා ඇමැති ලෙස ඉදිද්දී ඔබතුමාව ඉලක්ක කරල තමයි බැන්නේ… ඒ වුණාට එතුමාට දීපු චෝදනා පත්‍රයේ ඒ චෝදනාව නෑ.”

“මාව විවේචනය කරන්න ඕන කෙනකුට පුළුවන්… මට ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වෙලාවේ එයා කරපු වැරැද්ද අයි සී සී එකත් එක්ක කතා කරන්න ඇමැති අනුකමිටුවක් දාල තියෙද්දී විපක්ෂ නායක එක්ක එකතු වෙලා එයා වෙනම ප්‍රශ්නය විසඳන්න ගියපු එක. ඒක වැරදියිනේ.” ජනාධිපති පෙන්වා දුන්නේය.

“දැන් අලුත් ක්‍රීඩා ඇමැතිතුමා අයි සී සී තහනම ඉවත් කරගන්න මොනව කරයිද.”

“ඔව් ඒක එතුමා කරයි. ඔක්කෝටම කලින් ක්‍රීඩා පනත වෙනස් කරගන්න ඕන. චිත්‍රසිරි වාර්තාව මත පදනම් වෙලා අලුත් පනත හදන එකයි එතුමාගේ කාරිය.” ජනාධිපති එසේ කීවේ මනුෂ දෙස බලමිනි.

“මට නම් පේන්නේ රොෂාන් ඇමැතිතුමා මේක කළේ තනියම නොවේ. එයා පිටිපස්සේ බලවත් පුද්ගලයෝ ඉන්න පුළුවන්. සමහර විට බලවත් රටවල් පවා.” ආශු මාරසිංහ කියද්දී බොහෝ දෙනෙක් බැරෑරුම්ව ඒ ගැන කතා කරන්නට පටන් ගත්හ.

මේ අතර නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා එකලස් කරන ලද වාහන ප්‍රශ්නයක් කරළියට ගෙන ආ නිසා කතාව වෙනත් පැත්තකට යොමු විය.

මේ අතර පාර්ලිමේන්තු භෝජනාගාරයේදී කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම සහ චරිත හේරත් යන මැති ඇමැතිවරුන් කතාබහක නිරතවෙමින් සිටි අතර වාරයේ නිමල් ලන්සා මන්ත්‍රීවරයා ඒ අසලින් යමින් ගමන එම පිරිස දැක මද වේලාවක් එහි නතර විය.

“නිමල් පියතිස්ස මන්ත්‍රීතුමාට රොෂාන්ගේ වාහන කේස් එක පත්තු කරන්න කිව්වේ ලන්සා ඇමැතිතුමා වෙන්න ඇති” ලන්සා පැමිණෙන දුටු ඩලස් ලන්සා දෙස බලමින් කියන්නට විය.

ඩලස් එහෙම කිව්වේ ඊට පෙර දින පාර්ලිමේන්තුවේදී නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සිහිපත් කරමිනි.

“අනේ.. නෑ මට එහෙම කරන්න ඕනෑ කමක් නෑ, ඔබතුමාලා දන්නවනේ මගේ ඔය දෙකයි පනහේ වැඩ නෑ, මම පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව ඉඳගෙන මගේ අදහස් කියනවා, එච්චරයි. කාටත් ගහන්න මම යන්නේ නෑ” ලන්සා ඩලස්ට එසේ කියමින් සිනාසී යන්නට ගියේය.

මේ අතර පාර්ලිමේන්තු ලොබියේ නලින් ප්‍රනාන්දු, ගීතා කුමාරසිංහ, නිමල් ලන්සා, නිමල් පියතිස්ස, ජේ.සී. අලවතුවල, මොහොමඩ් මුසම්මිල් ඇතුළු පිරිසක් හමුවී ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියහ.

ගීතා සිටි නිසා හැමෝටම අවශ්‍ය වුණේ සිනමා රසකතා දැන ගන්නටය. ගීතාද රස කතා කියන්නට උපන් හපන්කමක් ඇති කෙනෙකි. ඇතැම් රස කතා ප්‍රසිද්ධ මධ්‍යයේ කියන්නට බැරි තරම් ඒවාද තිබුණි.

ඒවා ඇසූ නලින් සහ ලන්සා ඇතුළු මන්ත්‍රී පිරිස මහා හයියෙන් සිනාසුනහ.

● දේශා තමයි පොලිස්පති ටිරාන් තමයි ඇමැති

මේ රටේ පහළ වූ සුප්‍රකට අධ්‍යාපනඥයකු වූ ආර් අයි ටී අලස් මහතාගේ 10 වන ගුණානුස්මරණ පිංකම වෙනුවෙන් පහුගිය දිනක බොරැල්ලේ පිහිටි නිවසේ පිරිත් පිංකමක් පැවැත්විණි. මෙහි විශේෂත්වය වූයේ හිටපු ජනාධිපතිවරු, අගමැතිවරු ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ප්‍රබල දේශපාලනඥයෝ රැසක් එදා රාත්‍රියේ එම නිවසට සහභාගි වී සිටීමය. මහින්ද රාජපක්ෂ,

ගෝඨාභය රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධන සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයෝ රැසක්ම අලස් මහතාගේ නිවසට පැමිණ පිරිත් පිංකමට සහභාගි වූහ. හිටපු පොලිස්පතිවරු මෙන්ම පොලිසියේ උසස් නිලධාරීන් රැසක්ද මේ අවස්ථාවට සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.

පසුගිය දිනවල දේශපාලනයේ සිදු වූ අලකලංචි ගැන එකතු වී සාකච්ඡා කරන්නට මෙය කදිම අවස්ථාවක් විය. මෙසේ කතාබහ කරමින් සිටින අතරතුර ටිරාන් අලස්ගෙන් බොහෝ දෙනකු ඇසූ ප්‍රශ්නයක් වූයේ ඊළඟ පොලිස්පති කවුද කියාය.

ඒ වන විට හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විශ්‍රාම ගෙන තිබිණි. පොලිස්පති ලෙස නිර්දේශ කරමින් යළිත් ඔහුගේ නම ම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යවා තිබුණත් එම සභාව එම නම ප්‍රතික්ෂේප කර තිබිණි. එහෙයින් ජනාධිපතිවරයා පොලිස්පතිවරයා පත් කළ යුතුම විය. ඒ හේතුවෙන් පසුගිය දිනවල ඇමැති ටිරානුත් ජනාධිපති රනිලුත් අතර සාකච්ඡාවක්ද ඇතිව තිබිණි. බොහෝ දෙනකු විමසනු ලැබුවේ මේ සාකච්ඡාව ගැනය.

ඉන්න තුන්දෙනාගෙන් කවුරු පොලිස්පති වුණත් අවුරුදු දහයක් නිලයේ ඉන්න පුළුවන්. ඇතැම්හු කීහ.

“ඇත්තටම ඇමතිතුමා… කාටද මේ පාර දෙන්න යන්නෙ…”

“වෙන කවුද ඉතින්… දේශා තමයි පොලිස්පති…” ටිරාන් කිව්වේය… කෙසේ වෙතත් ඒ පිළිබඳව ද නොයෙකුත් කතාබහ ඒ වනවිට දේශපාලන කරලියේ ඇතිවෙමින් තිබිණි.

“පොලිස්පති ධුරයේ ඉන්න පුළුවන් ධුර කාලය අවුරුදු තුනයි කියලා නම් කරන්න ඕන.” දේශපාලන කරලියේ ඒ පිළිබඳ යෝජනාවක් පැමිණ තිබුණේ එසේනම් අසාධාරණයක් නොවී ඊළඟට සිටින අයටද සාධාරණයක් ඉටු කිරීමේ පහසු ක්‍රමවේදයක් ලෙස ය.

ටිරාන්ලාගේ බොරැල්ල නිවසේ එදා රාත්‍රියේ පැවති පිරිත් පිංකමට පසුදා උදේ මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණ තිබුණේ එම දානමය පිංකමට සහභාගි වන්නටය.

මේ අතර ඊළඟ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමේ වැඩ කටයුත්ත ද ක්‍රමානුකූලව සිදුවිය. පහුගිය බදාදා පෙරවරුවේ ඇමැති ටිරාන් අලස් ජනාධිපති කාර්යාලය වෙත පැමිණියේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද සමගය.

දේශබන්දු මුලින්ම පත් වූයේ මාස කිහිපයකට වැඩබලන පොලිස්පතිවරයා හැටියටය. මීළඟට පත්වන පොලිස්පති පත්වී වසර තුනක උපරිම කාලයක් යටතේ වැඩ බාර ගත යුතු යැයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ජනාධිපතිවරයා කීවේය.

එසේ වුවත් ඔහුට එරෙහිව නැගුණු විරෝධතාවල නම් නිමක් නොවේය. පළමුවෙන්ම විරෝධතාව පැමිණියේ කාදිනල්තුමාගෙනි.

“ඔව් ඉතින් මේක කාදිනල්තුමාටම ගිය රටනෙ… එයා කියන විදියට පොලිස්පති කෙනෙක් පත් කරන්න අපි අවුරුදු දහයක් බලාගෙන ඉන්න ඕන…” කියමින් දේශපාලනඥයෝ ඊට ප්‍රතිචාර දක්වන්නටද වූහ.

අධිවේගී මාර්ගයෙන් මහින්දට පොල්ලක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් මේ සතියේත් උත්සව කිහිපයකි. මෙය කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවල මේ කටයුත්ත සංවිධානය කර තිබුණි.

කුරුණෑගල උත්සවය ජොන්ස්ටන් ප්‍රනාන්දු නායකත්වය ගෙන සංවිධානය කර තිබූ අතර අනුරාධපුර ආගමික උත්සව සංවිධානය කර තිබුණේ එස්. එම්. චන්ද්‍රසේන විසිනි. ඒ සඳහා පිටත්ව යෑමට පෙර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැමිණියේ නාමල් රාජපක්ෂගේ මලලසේකර මාවතේ පිහිටි නිවසටය.

“ඔබතුමා සමග මම කුරුණෑගල එන්නම් ජොනී ඇමැතිතුමාත් ඉන්නවනෙ” කියාය.

“නෑ.. නාමල් ඔයා අද පාර්ලිමේන්තු යන්න ගිහින් නෙළුම් මාවතට යන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයේ වැඩ කටයුතු බලා ගන්න” කියාය.

මම එහෙනම් ඉන්නම් කියා නාමල් පැවසීය. ඉන් අනතුරුව මලලසේකර මාවතට ජොන්ස්ටන් පැමිණි අතර ජොන්ස්ටන් හා මහින්ද කුරුණෑගල බලා පිටත් වූහ. මෙසේ කුරුණෑගල සිට උමංදාව බලා පිටත්ව යන විට මහින්දට සහ ජොන්ස්ටන්ට අකරතැබ්බයට මුහුණදීමට සිදු වූහ.

මහින්ද සහ ජොනී අධිවේගී මාර්ගයෙන් ගමන්කොට යග්ගහපිටිය අන්තර් හුවමාරුවෙන් එලියට එන්නට සූදානම් විය. මහින්දගේ ආරක්ෂක රථය මුලින්ම ගේට්ටුවෙන් එලියට පැමිණි අතර මහින්ද හා ජොනී රැගත් වාහනය ඇතුළට ගන්නවාත් සමග ගේට්ටුවේ හරස් පොල්ල වාහනය මතට පතිත විය.

වහාම ආරක්ෂකයන් එතැනට පැමිණියහ. වාහනයට බරපතළ හානි සිදුව තිබුණේ නැත. සුළු හානි සිදුවී තිබිණි. වහාම මුදල් අයකැමිවරයා එතැනට පැමිණ සමාව ඉල්ලුවේය.

“මම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා දැකලා ගෞරවය වැඩිකමට නැගිට්ටා. මගෙ අතින් හරස් පොල්ල උස්සපු බොත්තම අතඇරුණා. මහින්ද සර්ව දකිනකොට ඉබේ නැගිට්ටුනා. අනේ මට සමාවෙන්න” අයකැමියා කීය. ජොනීත් මහින්දත් ඔහුව අස්වසාලීය.

අනතුරුව මොවුන් කෙළින්ම පැමිණියේ උමංදාව මහා විහාරයටය. මෙහිදී සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ විසින් පාසල් දරුවන්ට පොත්පත් ලබා දීමක්, වියළි සලාක ලබා දීමක්ද සංවිධානය කර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, මංජුලා දිසානායක, යූ. කේ. සුමිත් හා සමන්ප්‍රිය හේරත් යන මන්ත්‍රීවරුන් මේ සඳහා සහභාගි වූ අතර හිටපු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු රාශියක්ද එක්ව සිටියහ. මේ අතර ජොනීට නාමල්ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

“ජොනී ඇමතිතුමා… මහින්ද ජනාධිපතිතුමා ගියපු වාහනයට මොකක් හරි කරදරයක්ද…” නෑනෙ නාමල් විමසුවේ කලබලයෙනි.

“නෑ නෑ කිසිම අවුලක් නෑ ඔයා බය වෙන්න එපා අපි ඉන්නෙ උමංදාව පන්සලේ…” ජොනී එසේ පැවසීය.

උමංදාවේ පිංකම් මාලාවෙන් පසු ජොනී කෙළින්ම කොළඹ පැමිණි අතර මහින්ද හිටපු ජනාධිපතිවරයා අනුරාධපුර බලා පිටත් විය.

පාර්ලිමේන්තුවට ගිය නාමල් රාජපක්ෂට මුහුණ දෙන්නට වූයේත් අකරතැබ්බකටය. ඒ රොෂාන් රණසිංහ විසින් සිය පාර්ලිමේන්තු කතාවේදී නාමල්ගේ නම සඳහන් කිරීමය. රනිල් කියන්නෙ නයෙක් කොයි වෙලාවෙ දෂ්ඨ කරයිද දන්නෙ නෑ රොෂාන් අයියා පරිස්සමින් යනුවෙන් යාළුවෙකු අතේ පණිවිඩයක් නාමල් විසින් එවා ඇති බව රොෂාන් පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙහිදී නාමල් වහා නැගිට කියා සිටියේ තමන් එහෙම දෙයක් කිවුවෙ නැති බවත් එම කතාව ඉල්ලා අස් කරගන්නා ලෙසත්ය. රොෂාන් රණසිංහද එම කතාව වහාම ඉල්ලා අස් කරගත්තේය. මෙසේ දිවා ආහාරය ගැනීමට පැමිණෙන විට බන්දුල ගුණවර්ධන නාමල්ව අල්ලාගෙන ඇසුවේ මොකක්ද අර රොෂාන් කීවේ කියාය. මනූෂ නානායක්කාරද බන්දුල ළඟම සිටියේය. නෑ ඇමැතිතුමා මම කියපු නැති දෙයක් කිවුවෙ මොකද තුන්වැනි පාර්ශ්වයක් ඕනෙද රොෂාන්ට මට පණිවිඩයක් යවන්න. කවුද කෙනෙක් රොෂාන්ට ලණුවක් දීලා. ඉතින් මගෙන් අහන්න එපැයි පාර්ලිමේන්තුවේ කියන්න කලින් මොකද අපි නොදන්න මිනිස්සුද නාමල් කියාගෙන කියාගෙන ගියේය. නෑ ඇත්තටම වරප්‍රසාදවලට මුවා වෙලා මඩ ගහන ඒවා අධිකරණ විනිසුරන් ගැන කියන කතා පෞද්ගලික විවේචන නතර කරන්න නීති ගේන්න ඕනෙ නාමල් දිගින් දිගටම පැවසීය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment