“මා උපන් රටේ සහෝදර ජනතාවට නිස්සරණාධ්‍යාක්ෂයින් සේවයක් කිරීමට මා පෙළඹුනේ පාසල් යන වියේදීය. විධිමත් සමාජ සේවා කටයුත්තක් හැටියට මා හා පුරා කියා මූලිකත්වයක් ගෙන ක්‍රියා කළේ මම උපන් උණවටුන ගමේ 1950දී ආරම්භ කළ කොහු කාර්මිකයන්ගේ සමුපකාර සමිතිය තුළිනි. මම එහි සංවිධායක ලේකම් වශයෙන් ක්‍රියා කළෙමි.

1956 රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ සමාජ සේවා සංගමයක් පිහිටුවා එහි ප්‍රථම සභාපති වශයෙන් මාගේ සමාජ සේවය තවදුරටත් ප්‍රගුණ කළෙමි.

1958 දී නාලන්දා මහ විද්‍යාලයේ ගුරු මඬුල්ලට එක් වූ මට එහි පැවති සමාජ සේවා සංගමය තුළින් ශ්‍රමදාන ව්‍යාපාරයක්, පසුව ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම තිබෙන විශාලතම රාජ්‍ය නොවන පූර්ණ ජනතා සංවර්ධන ව්‍යායාමය හැටියට සැලකෙන සර්වෝදය ශ්‍රමදාන සංසදයක් ගොඩනැංවීමට එදා සිට අද වනතුරු කැපවීමි.”

මෙම සටහන තබන්නේ නිදහසින් පසු මෙරට බිහිවූ විශිෂ්ටතම සමාජ සේවකයකු ලෙස ජගත් කීර්තියට පත් වූ ‘සර්වෝදය’ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා මෙන්ම ප්‍රකට ලේඛකයකු හා දේශකයකු වූ “ශ්‍රී ලංකාභිමාන්‍ය” ආචාර්ය ඒ.ටී. ආරියරත්න (අහංගමගේ ටියුඩර් ආරියරත්න) මහතා විසිනි. ඒ සර්වෝදය විශ්වලේඛා ප්‍රකාශනයක් වූ “ජනපති ප්‍රේමදාසයි – පුරවැසි මවයි” නමැති අපූරු කෘතිය රචනා කරමිනි.

විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි විද්‍යාර්ථියකු වූ ඒ මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකුව සිටිය දී තම සිතට නැඟුණු සංකල්පයක් ක්‍රියාවේ යොදවමින් 1958 දී එම විදුහලේ සිසුන් 40 දෙනකු හා ගුරුවරුන් 12 දෙනකු සමග ගාල්ල කතළුව ගම්මානයේ සිදුකළ ශ්‍රමදාන වැඩසටහනින් “සර්වෝදය” ව්‍යාපාරය ආරම්භ කිරීමට සමත් විය.

එතැන් පටන් ඒ.ටී. ආරියරත්න මහතාගේ නායකත්වය යටතේ මෙරට ජනතාවගේ ජන ජීවිතය නඟාසිටුවීමට විවිධ අංශ රාශියක් යටතේ අතිවිශිෂ්ට සමාජ සේවාවක් ඉටු විය.

ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස විරුධාවලිය ලැබූ පිලිපීනයේ රැවෝන් මැග්සයිසේ සම්මානයෙන් 1969 දී විශිෂ්ටතම ප්‍රජා නායකත්වය වෙනුවෙන් ද, ඉන්දියාවේ ගාන්ධි සාම ත්‍යාගයෙන් ද, 1981 දී ජාත්‍යන්තර සංවර්ධනය උදෙසා බෙල්ජියම් බෝඩුවින් රාජ්‍ය සම්මානයෙන් ද, 1982 දී ලෝක සාගිනි නිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් පිරිනැමෙන ඇලන්ෂෝන් ෆයින්ස්ටයින් සම්මානයෙන් ද, 1990 ලෝක අමiප සේවා සඳහා නෝර්වේ ඔස්ලෝ හිදී පිරිනැමූ ඔගස්ට් ෆොරල් සම්මානයෙන් ද, මහත්මා ගාන්ධිතුමා පෙන්වා දුන් සාරධර්ම අනුව ලෝක සාමයට සේවය කිරීම උදෙසා ඉන්දියාවෙන් පිරිනැමෙන ජම්නලාල් බජාජ් ලෝක සම්මානයෙන් ද,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ සාහිත්‍ය ශූරී ගෞරව ආචාර්ය උපාධියෙන් ද, ශ්‍රී ලංකා ජනරජයේ පුරවැසියකුට පිදෙන ඉහළම සම්මානයක් වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානයෙන් ද තවත් දෙස් විදෙස් ගෞරව සම්මාන රාශියකින් ද පිදුම් ලැබූ ඒ.ටී. ආරියරත්න මහතා 1931 නොවැම්බර් 05 වැනිදා ගාල්ල උණවටුනේ දී උපත ලැබීය.

2024 අප්‍රේල් 16 වැනිදා පස්වරුවේ ඒ මහතා රෝගී තත්ත්යෙන් කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වනවිට 93 වන වියේ පසුවිය. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 20 වැනිදා (සෙනසුරාදා) රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතයි.

ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන්ගේ ජීවිත කතාව මෑතක දී එළිදැක්වූයේ ‘උදෑසන උදාව’ ලොව ආලෝකමත් කළ අපූරු මිනිසෙක් නමැති තේමාව යටතේය. අප මෙම සටහනට පාදක කරගත් ‘ජනපති ප්‍රේමදාසයි පුරවැසි මමයි’ කෘතිය ඔහු විසින් 1999 වසරේ දී රචනා කරන ලද්දකි.

එම කෘතියෙන් ඔහු කියා සිටින්නේ පැවති විවිධ ආණ්ඩු සහ රාජ්‍ය පාලකයන් සමග කටයුතු කළ ආකාරයෙන් කිසිදු දිනෙක රජයේ වරදාන වරප්‍රසාද ලබා නොගෙන සැබෑ සමාජ සේවකයකු තමන් කටයුතු කළ ආකාරයන්ය. ඒ අතර ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා කොළඹ නගර සභාවේ සභිකයකු ලෙස කටයුතු කළ සමයේ පටන්ම තමන් සමග තිබූ මිත්‍රත්තවය පිළිබඳවත් ඇතැම් අවස්ථාවලදී දෙදෙනා අතර ඇති වූ මතවාදී ගැටුම් පිළිබඳවත් දේශපාලනයට පිවිසෙන මෙන් තමන්ට ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කළ ආකාරයන්ය. සර්වෝදය ව්‍යාපාරයේ මූලික හරය කිසිවිටෙක දේශපාලනය හමුවේ පවා නොදෙමින් ඍජුව කටයුතු කළ ආකාරයත් ඒ.ටී. ආරියරත්නයන් තම ජීවන තතු සමග එම ග්‍රන්ථයේ අපූරුවට සටහන් කළේය.

“මගේ සමාජ සේවා ජීවිතයේ ආරම්භයේ සිට ම විවිධ බාධකවලට මුහුණ දීමි. මෙයින් සමහරක් පෞද්ගලික හා අන්තර් පුද්ගල සබඳතාවල අඩුපාඩු නිසා ඇතුළතින්ම ඇති වූ ඒවාය. සමහර බාධක බාහිර පුද්ගලයන් ගෙන්, කණ්ඩායම්වලින් හෝ තාවකාලික රාජ්‍ය බලතල ලබා සිටිය වූන්ගෙන් එල්ල වූ බාධකය. මේවායින් අප අධෛර්යයට පත් නොවූ අතර අප සමග එකට වැඩකළ වැඩිහිටි, සම වයස් හා ළාබාල සහෝදර සේවක සේවිකාවන් ද තව තවත් ධෛර්යට පත්කොට ඉදිරියට සේවාවන් ගොඩනඟාගෙන ආවෙමු.

මේ දීර්ඝ ගමන සඳහා අප යෙදූ ශ්‍රමය, සම්පත්, චිත්ත ශක්තිය අප්‍රමාණය. අප බලාපොරොත්තු වූ එකම ප්‍රතිඵලය වූ නිස්සරණ ප්‍රීතිය අපි නොඅඩුව ලැබීමු.”

“පරාර්ථ සේවය සඳහා මා ගත කළේ පෙර ආත්මයක තිබූ ආභාසයක් නිසාදෝ නොඑසේ නම් බුදු හිමියන්ගේ ඉගැන්වීම අනුව පරාර්ථ සේවය තුළින් ආත්මාවබෝධය ඇතිකර ගැනීමට බලවත් චිත්ත වේගයක් මා තුළ ක්‍රියාත්මක වූ නිසාදෝ විය හැකිය.

වෘත්තීය වශයෙන් මා තෝරාගත් ගුරු වෘත්තිය තුළින් පරිපාලන සේවයේ හෝ ශාස්ත්‍රීය අංශයේ හිණිපෙත්තට නැඟ තෘප්තියක් ලැබීමට හෝ ධන සම්භාරයක් එකතුකර ගැනීමට කිසිදාස මම අදහස් නොකෙළෙමි. 1956 සිට ම දේශපාලනයට බැසීමට අවස්ථා ලද මුත්, මේ ලියන මොහොත දක්වා කිසිදු දේශපාලන තරඟයකට සහභාගි නොවූවෙමී. කිසිදු දේශපාලන පක්ෂයකට බර නොවූයෙමි. මා පිළිගත් ආධ්‍යාත්මික අරමුණු සහ සාරධර්මවලට පටහැනි නොවන අයුරින් නිවැරදි ජීවිකාවක් පවත්වාගෙන යන අතර, දිනෙන් දිනම විෂම තත්ත්වයට පත්වන ශ්‍රී ලාංකීය සහ ලෝක සමාජය අහිංසාවාදී, නිර්මාණාත්මක, යහපත් ක්‍රියාමාර්ග තුළින් සමාජ පරිවර්තනයක් කිරීමට මගේ මුළු කාලයම ඔබේ අශිර්වාදය සහ උපකාර ඇතිව යෙදුවෙමි.

ඒ සඳහා මා තෝරාගත් සංවිධාන ව්‍යුහය “ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය”යි.

ගුරුවරියක්ව සිටි මගේ භාර්යාව 1961 දි සේවයෙන් අස්ව, මම 1972දී සේවයෙන් අස්වී පූර්ණ කාලීනව සර්වෝදය සේවයට කැපවීමු. ‘සර්වෝදය’ නව සමාජ ක්‍රමයක් ඉදිරිපත් කළේය. එය සාක්ෂාත් කරගැනීමට අධ්‍යාත්මික, සදාචාර, සංස්කෘතික, සාමාජීය, ආර්ථික හා දේශපාලනික වෙනස්කම් අහිංසාවාදීව සිදුකළ යුතු ආකාරය විවිධ වැඩසටහන් මාර්ගයෙන් පෙන්වා දුන්නේය. දේශීය සාරධර්ම රැකගෙන විශ්ව සමාජයක හවුල්කරුවන් වන අන්දම පෙන්වා දුන්නේය.

සර්වෝදය අහිංසාවාදී සත්‍යගරුක සේවාවකි. මාගේ සේවා ඉතිහාසය පිළිබඳ මෙවැනි සඳහනක් කරන්නේ බලකාමී දේශපාලනයෙන් තොරව ජනතා සේවයට ජීවිතයම කැප කළ මා වැනි සිය ගණනක් අයවලුන් ද මේ තත්ත්වයට ම පත්ව ඇති නිසාය. මා නඟන හඬ ඔවුන්ගේ ද හf`ඩ් දෝංකාරයක් යැයි සිතමි. අප ජීවිත කාලයක් කැපකොට අපේ ජනතාවට කරන ලද සේවාවන් ගඟට ඉනි කැපීම වැනි අනර්ථ ක්‍රියාවන් බවට පත්වනු දකිමින් බියගුල්ලන් මෙන් ජීවත්වීම සැබෑ මිනිස්කම නොවේ. බියගුල්ලෝ ඔවුන්ගේ සැබෑ මරණයට පෙර ජීවිත කාලය තුළ දීම බොහෝ වාරයක් මැරෙති.

ක්‍රෝධය මෛත්‍රියෙන් ජය ගන්න
අධම පුද්ගලයා ධර්මයෙන් ජය ගන්න
ලෝභී පුද්ගලයා පරිත්‍යාගයෙන් ජය ගන්න
බොරු කියන්නා සත්‍යයෙන් ජය ගන්න

ඒ ධම්ම පදය අපට කියා දී ඇති සත්‍යයකි. අපගේ සේවයට පොදු ජනතාව ද ගිහි පැවිදි සමාජ නායකයෝ ද ජාතික ජාත්‍යන්තර වශයෙන් අනුග්‍රහය දැක්වූහ.

සමාජ සේවයට කැප වූ විශිෂ්ට මිනිසකුගේ හෘද සාක්ෂිය - ආචාර්ය ඒ.ටී. ආරියරත්න
අම්පාර ගම්උදා සමයේ සර්වෝදය මධ්‍යස්ථානයක් නැරඹීමට එවක ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා සහ එවක අගමැති ආර්. ප්‍රේමදාස මහතාත් ඉන්දීය සර්වෝදය නායකයකුවූ ආචාර්ය ආර්.ආර්. දිවාකර් එක්වූ අවස්ථාව.

අග්‍රාමාත්‍යවරුන් වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විජයානන්ද දහනායක මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ඩඩ්ලි සේනානායක මහතා, ජනාධිපති විලියම් ගොපල්ලව මහතා, අගමැති සහ විධායක ජනාධිපති ධුර හෙබවූ ජේ.ආර්. ජයවර්ධන මහතා, ආර්. ප්‍රේමදාස මහතා යන රාජ්‍ය නායකයෝ ඔවුන්ගේ නිල කාල වලදී ද, ශ්‍රීමත් ජෝන් කොතලාවල හිටපු අගමැතිතුමා, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන්, ඒ. අමිර්තලිංගම්, එස්. තොණ්ඩමාන්, අබ්දුල් අසීස්, සෙනෙට් සභාපතිව සිටි ඒ. රත්නායක යන ගෞරවනීය මැතිතුමන්ලා ද, පක්ෂ නායකයෝ ද පක්ෂ හා බලකාමී භේදයකින් තොරව සර්වෝදය කරගෙන ගිය සේවාවන්ට අතහිත දුන් අතර ඒවාට බාධා නොකළහ. ඔවුන් යටතේ සිටි යම් දේශපාලකයකු හෝ නිලධාරියකුගෙන් අසාධාරණයක් වූ විට අපේ අභියාචනාවලට කන්දී ඔවුන් සාධාරණය ඉටු කළහ.

ඒ යුගයේදී සර්වෝදය ගොඩනැංවීමට බාධා කළ උසස් නිලධාරීන් ටික දෙනකු සිටි අතර බොහෝ නිලධාරීහු අපට විශාල ලෙස සහයෝගය දුන්හ.

ජනතාවගේ සිතිවිලි හඳුනාගැනීමට ජනාධිපති ප්‍රේමදාස මහතා ඉතා දක්ෂයෙක් විය. එසේ හඳුනාගෙන කටයුතු කිරීම නිසා ඔහුට ජනතාවගේ කැමැත්ත ලබාගැනීම දුෂ්කර නොවිණි. ජනතාවගේ සංස්කෘතිය හා සමාජය ගැන මනා අවබෝධයක් ඔහු තුළ විය. ඔහු වැනි ජනතාවගේ සිතුම් පැතුම් වටහාගත් නායකයෙක් ජාතියකට ලැබෙන්නේ කලාතුරකිනි. සුදුස්සාට සුදුසු තැන දීමට හේ උත්සාහ ගත්තේය.

අගමැති ප්‍රේමදාස මහතා පර්යේෂණවලට ප්‍රිය කළේය. උදාගම් ආරම්භ කළ අවස්ථාවේ සර්වෝදයට ඒ ගැන පර්යේෂණයක් කරන්නට හේ පැවරීය. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ඒ පර්යේෂණය කළවිට එහි ප්‍රතිඵල අසන්නට හෙතෙම සිය නිල පිරිවර සහිතව මොරටුවට ආවේය. පැය තුනක්ම එහි විවේචන අසා සියලු දුර්වලකම් තේරුම් ගත්තේය.

අවාසනාවකට මේ තත්ත්වය ඔහු තුළ ද දිගට ම පැවතුනේ නැත. දිනක් එතුමා මාහට මෙසේ පැවසීය.

“මා ජනාධිපති වන බව ස්ථීරයි. ජාතික ලැයිස්තුවෙන් ඔබ පාර්ලිමේන්තුවට ගෙන සියලුම බලය ඔබට ලබාදීමට මට පිළිවනි.” මට මගේ හැඟීම් පාලනය කරගැනීමට අපහසු විය.

“අගමැතිතුමනි, මෙතෙක් කල් ඇසුරු කොට මා තේරුම් ගැනීමට බැරිවීම ගැන මා කනගාටු වෙනවා. මම බලය, ධනය හෝ කීර්තිය පිටුපස මෙතෙක් එළෙව්වේ නැහැ. ඉදිරියට ද එහි වෙනසක් නැහැ. මා යන්නේ ආධ්‍යාත්මික ගමනක්. එය බලකාමීත්වයෙන් තොරව ධන ආශාව ඉවත දමා කළ යුතු පරිත්‍යාගශීලී ආගමික මෙහෙයක්. ඒ නිසා සමාවෙන්න. මා නම් පවතින පක්ෂ ක්‍රමයට මැදිහත් වන්නේ නැහැ.” මෙසේ කියමින් මම පුටුවෙන් නැඟිට්ටෙමි.

ඉන්පසුව හමුවූ අවස්ථාවලදී එතුමා මා සමග වෙනදා මෙන් සුහදශිලීව කතා කළේ නැත. අපට රාජ්‍ය තන්ත්‍රයෙන් තාඩන පීඩන ඇති විය. එහි සම්පූර්ණ වගකීම එතුමාට නොපැවරුවෙමි. එතුමා වටා සිටි ඇතමුන්ගේ ක්‍රියාකලාප ද හේතු විය. 1993 මැයි 1 වැනිදා එතුමාගේ අවාසනාවන්ත අවසානය සිදුවිය. රතිඤ්ඤා පත්තු කරමින් ඇතැම් පිරිස් සතුටු වූ අතර මම බුදු ගෙට ගොස් පහනක් දල්වා එතුමාට පින් පැමිණ වීමි. අප කාගේත් ජීවිතයේ හොඳ නරක පැති තිබේ. ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ජීවිතයත් එසේමය. නරක බැහැරකොට ඒ ශ්‍රේෂ්ඨ අප්‍රතිහත ධෛර්යයෙන් යුතු ආර්. ප්‍රේමදාස නම් ශ්‍රේෂ්ඨ ජන නායකයාගේ යහපත් චරිතය අපි ආදර්ශයට ගතයුතුය.

උදාගම් මඟින් ඉතා දිළිඳු ගම්වලට නව පණක් දීම ඔහුගේ උදාර පරමාර්ථය විය. සර්වෝදයේ ගමන මෙතැනදී ඔහුට පරමාදර්ශයක් වූ සැටි පෙනේ.”

“පොදු ශ්‍රී ලාංකික සමාජය දෙස බලනවිට අද සාරධර්ම කියා දෙයක් නැත. ඕනෑම රටක මනුෂ්‍යයකුට තිබිය යුතු ජීවිත ආරක්ෂාව අද අපට නැත. සියයට හැටකට අධික ජනතාව දිළිඳුකමේ අන්ත ප්‍රපාතයට වැටී තිබේ. ජනගහණයෙන් 10%ක් පමණ සුළු පිරිසක් විසින් ජාතික ආදායමෙන් 50%ක් අයිති කරගෙන තිබේ.

අධි පොහොසත්හූ පිරිසක් දේශපාලන බලය අතට ගත් සුළු පිරිසක් සමග අත්වැල් බැඳගෙන අපේ ආගම ධර්මයත්, සදාචාර පද්ධතියත්, පරිසරයත්, ජීව ආධාරක ව්‍යුහයත්, පෞද්ගලික හා ආයතනික හිංසාවත් ප්‍රයෝජනයට ගනිමින් විනාශකාරී මඟක ගමන් කරති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ බහුජාතික ආධාරක ආයතන සමග තිබෙන සම්බන්ධය රටේ නිදහස රැකෙන පරිදි පවත්වාගෙන යනු වෙනුවට වරප්‍රසාද ලද්දවුන්ගේ ඕනෑ එපාකම් ඉටුවන පරිදි පවත්වාගෙන යයි. මත්ද්‍රව්‍ය, සූදුව, ගණිකා වෘත්තිය, සමාජය රෝග, අල්ලස, දූෂණය, වංචා මානසික රෝග, මන්දපෝෂණය ආදී වූ දහසක් භයානක උවදුරුවලින් සිඟිති ළමා තරුණ පරපුර බේරා ගන්නේ කෙසේද? ආගමික නායකයන් කී දෙනෙක් මේ ව්‍යසනයේදී ඍජුව සිටිත්ද? බහුතර අපේ උගත්තු මුනිවත රකිති.”

ඒ මියයන තෙක්ම නොබියව කරුණු ගෙනහැර දැක්වූ කාරුණික බවේත්, පරිත්‍යාගශීලීත්වයෙන් ප්‍රතිමූර්තියක් බඳු වූ ඒ.ටී. ආරියරත්නයන්ගේ අභීත හඬගෑමකි.

සිය දිවියම තම උපන් බිමට සේවය කිරීමට කැප කළ ආචාර්ය ඒ.ටී. ආරියරත්න නම් වූ දුර්ලභ ගණයේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකීය පුත්‍රයාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිමු.

සටහන:-
සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment