ඉන්ධන නැතිව ගාල්කළ ත්‍රිරෝද උස්සන නාවලපිටියේ හයේ කල්ලිය මාට්ටු

268

ත්‍රිරෝද රථ සොරකම් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් හයදෙනකු පෙරේදා (16 දා) අත්අඩංගුවට ගෙන එම සැකකරුවන් විසින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ දෙකක් නාවලපිටිය පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පොළ සහ මැදවච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්” එම සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් ගාල් කර තිබෙන ත්‍රිරෝද රථ සොරාගෙන ගොස් අංක තහඩු වෙනස් කර වැඩි මිලකට අලෙවි කිරීමේ ජාවාරමේ කාලයක් තිස්සේ නිරතව සිට ඇති බව සොරකම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව නාවලපිටිය පොලිසිය කියා සිටී. නාවලපිටිය – තලවකැලේ මාර්ගයේ ගල්ඔය ප්‍රදේශයේ ඉන්ධන නොමැති නිසා ගාල්කර තිබූ ත්‍රිරෝද රථයකට සැකකරුවන් විසින් ගෙනා ඉන්ධන දමා ගාල්කර තිබූ ත්‍රිරෝදය සොරාගෙන ගොස් ඇත.

සොරකම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියට ලද පැමිණිල්ලක් මත සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන අරඹා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුරටත් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සොරා ගන්නා ලද තවත් ත්‍රිරෝදයක් නාවලපිටිය පොලිසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment