විනිසුරු නිවසේ සිටි පොලිස් රැකවලා වෙඩි වැදී මියයයි

145

මාතර වෙරළ පාරේ පිහිටි මාතර දිසා විනිසුරුවරයාගේ නිල නිවසේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්වී ඇත.

55 හැවිරිදි බී. පුෂ්පකුමාර නමැති මෙම සැරයන්වරයා පෙරේදා (27දා) රාජකාරි භාරගෙන ඇති අතර ඊයේ (28දා) අලුයම සේවය අවසන් කිරීමට නියමිතව තිබිණි. පොලිස් ආරංචි මාර්ග අනුව මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ ටී 56 වර්ගයේ ගිනි අවියකිනි. ඒ අසල හිස් උණ්ඩ දෙකක්ද තිබී ඇත.

වෙඩි පහර එල්ලවී ඇත්තේ එම සැරයන්වරයාගේ පපුව ප්‍රදේශයටය. මෙම මරණය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරගෙන යන අතර ඇතැම් විට එය අත්වැරැද්දකින් සිදුවූ මරණයක් දැයි සැකයක් පවතින බව විමර්ශන සිදුකරන මාතර පොලිසිය කියයි.

මෙම පොලිස් සැරයන්වරයාට සියදිවි හානිකර ගැනීමට තරම් ප්‍රශ්නයක් තිබී නැති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment