කිවිඳියෝ කවි කෙළි බිම අණසක පතුරුවති!

202

අද ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනට පෙර ඉරිදාව යි. සැප්තැම්බර් 22 දා ඇරැඹුණු පොත් ප්‍රදර්ශනයට මේ වනවිට අති විශාල පිරිසක් සහභාගී වූ බව නොරහසකි. ඔවුන්ගෙන් කුමන ප්‍රතිශතයක් සාහිත්‍ය පොත පත මිලට ගත්තා ද, කුමන ප්‍රතිශතයක් පාසල් පොතපත, ලිපිද්‍රව්‍ය මිලට ගත්තා ද යන ප්‍රශ්නයට පිළිතුරු අප සතු නොවූවත් ඉඳුරාම පැවසිය හැක්කේ අති විශාල ජන සමූහයක් පසුගිය දින කිහිපය පුරා පොත් ප්‍රදර්ශන භූමියට එක් වූ බවයි. ලේඛක ලේඛිකාවන්ට, පොත් ප්‍රකාශකයන්ට මෙන් ම පාඨකයන්ට ද එය සැනසුම් පුවතක් විණැයි විශ්වාස කරමි. ජත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පවත්වන ලද ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ ද රජත පුස්තක සම්මාන උළෙල ද සාර්ථකව නිමා වූ බව දනිමු. මෙම උළෙල ද්වයෙහිම සම්මානලාභී හා නිර්දේශ වූ ලේඛක ලේඛිකා නාමාවලිය විමසීමේ දී පැහැදිලි ව පෙනුණු එක් ලක්ෂණයක් සේ මා දුටුවේ එකී නාමාවලී අතර කාන්තා නියෝජනය වර්ධනය වී ඇති අයුරුයි. 2007 සිට 2022 දක්වා පවැත් වූ ස්වර්ණ පුස්තක නිර්දේශිත නවකතා නාමාවලිය මතූ නොව ජයග්‍රාහී නාමාවලියෙහි ද කැපී පෙනෙන්නේ නවකතාකාරියන් ය. රූපා ශ්‍රියානි ඒකනායක, සුනේත්‍රා රාජකරුණානායක, කැත්ලින් ජයවර්ධන, සුමිත්‍රා රාහුබද්ධ, තාරකා වාසලමුදලි ආරච්චි, ශාන්ති දිසානායක, සේපාලි මායාදුන්නේ, සුමුදු නිරාගී සෙනෙවිරත්න, කත්‍යානා අමරසිංහ, ශාමෙල් ජයකොඩි, දර්ශනා ශම්මි විජේතිලක, පද්මිණී සෙනෙවිරත්න, දීප්ති මංගලා රාජපක්ෂ ආදීන්ගේ නම් ගම් මා මතකයට එයි. මේ පිරිස අතරින් කිසිදු වතාවක ස්වර්ණ පුස්තක සම්මානයට හිමිකම් නොකී හා එක් වතාවකට වඩා එම සම්මානය හිමි කරගත් නවකතකාරියන් ද සිටින බව පෙනේ. වසර හතක ඉතිහාසයක් ඇති රජත පුස්තක සම්මාන ඉතිහාසය පුරා ද කන්තා නියෝජනයෙහි වර්ධනයක් පෙනෙන අතර සම්මාන සඳහා නිර්දේශ වූ හා සම්මාන දිනාගත් ලේඛිකාවන් රැසක් ද වූ බව මතකයට එයි. සුමුදු නිරාගී සෙනෙවිරත්න, සුනන්දා ප්‍රේමසිරි, චතුරි දමයන්ති, සඳරැසී සුදුසිංහ, ලියනගේ මොනිකා කුමාරි, අනුරාධා නිල්මිණි, දිනූ රාජගුරු ආදීන් මෙම නාමාවලිය තුළ හමු වේ. 2023 වසරෙහි සිංහල පද්‍ය කාව්‍ය විෂයයෙහි ඉදිරි සම්මාන උළෙල තරග වැදීමට නියමිත මේ වනවිට පළ වී ඇති පද්‍ය කාව්‍ය සංග්‍රහ රාශියක හිමිකාරියන් කිවිඳියන් වීම කැපී පෙනෙන වර්ධනාත්මක හැරවුම් ලක්ෂ්‍යයකි. වර්ෂය තුළ පළ වී ඇති පද්‍ය කාව්‍ය සංග්‍රහ රාශිය අතර කිවිඳියන් ගේ නිර්මාණ සංඛ්‍යාව විශාල බව පෙනේ. මේ වනවිට එනම් 2023 වර්ෂය තුළ පළ වී ඇති කිවිඳියන්ගේ කාව්‍ය සංග්‍රහ අපට සැල කොට සිටින්නේ ඉදිරි සම්මාන උලෙළ සියල්ලෙහි ඔවුන් කවියන් හා කරට කර තරග වැදීමට සුදුසුකම් ලබන බවකි. එය ඉතා හොඳ ප්‍රවණතාවක් ලෙස දකින්නෙමි.

කිවිඳියන් විරචිත, 2023 සැප්තැම්බරය වනවිට පළ වී ඇති කාව්‍ය සංග්‍රහ කීපයක් මෙසේ ය. මීට අමතරව පළවූ කිවිඳියන්ගේ කාව්‍ය සංග්‍රහ ද වේ යැයි සිතමි. මේ කිවිඳියන් සියල්ලන්ගේ ම නිර්මාණ අතර නවීන අත්දැකීම් නිර්භයව කවියෙන් ප්‍රකාශ කිරීමට උත්සාහ ගත් හා එකී උත්සාහයන් කලාත්මකව හා නිර්මාණාත්මකව ජයගත් ලකුණු පෙන්වන බව ද මෙහි ලා සඳහන් කළ යුතු වේ. මා අත පත් වූ මෙම කාව්‍ය සංග්‍රහ සියල්ල ම තුළ අපූරු කවිකාරියන් කිහිපදෙනෙකුම සිටින බව ඉඳුරා ම පවසමි. ඔවුන්ගේ ප්‍රකාශන නිර්භීත ය. නවීන ය.

සම්ප්‍රදායයට අභියෝග කරන කාව්‍යානුභූතීන් ය. මූදු පතුලක වැහි කබායකි පැරිස් විලවුන් සුවඳ මුහු වුණු (තදිති තිලකවර්ධන ), ගෑනු හිටියෙම හිනාවීගෙන ( රසිකා මුහන්දිරම්ගේ ), තුංග වූ මතක මැඳුරකි ( උපෙකලා අතුකෝරළ), හරිමි හද කඩතුරා (රෝහිණී වික්‍රමසිංහ ), අයිලයේ තැනි බිමට ආයෙ ඇවිදින් යන්න ( සුරංගි ලියනපතිරණ ), මං කැමති නිල් අහසට ( අමාලී ඇහැළියගොඩ), ස්වේත සිහිනයක් (ශානිකා ශෂිප්‍රියා ද සිල්වා) ආදී කාව්‍ය සංග්‍රහ නිදසුන් කොට දක්වමි. මෙම කවිකාරියන්ගේ නිර්මාණ හා සමගාමීව කවියන රසක් විරචිත සංග්‍රහ ද මේ මොහොත වනවිට පළ වී ඇති බව දනිමි. වසර නිම වන්නට තවත් මස තුනක් පමණ තිබෙන බැවින් එම කාලය තුළ ද සිංහල කවිය පෝෂණයට මහෝපකාරී වන නිර්මාණ සංග්‍රහ බිහිවනු ඇතැයි සිතමි. මවිසින් මෙහි සඳහන් කොට ඇති කිවිඳියන් සියල්ලන්ගේ ම කාව්‍ය සංග්‍රහ තුළ ප්‍රකට කෙරෙන රැඩිකල් ප්‍රවේශය මෙතෙක් කිවිඳි ප්‍රකාශන තුළ මඳ වශයෙන් දක්නට ලැබුණක් යැයි සිතමි. ශනිකා ශෂිප්‍රියාගේ නිර්මාණයෙහි පෙම්වතෙකු අමතන පෙම්පතියකගේ ඉල්ලීම දෙස බලන්න.

හෝ ගාන වැහි කෝඩෙ
උණුහුමට ළං වෙන්න
මනමාල ඇස් ගාව
ටිකක් හුරතල් වෙන්න
පොඩි කුඩෙත් ලොකු වැඩී
තව ටිකක් ගුළි වෙන්න

තවත් හයියෙන් ඔහොම
පිනි වැස්ස වස්සන්න
මල් කුඩේ හෙවණැල්ලෙ
ආදරය උතුරන්න
අරුංගල් දෙක මත්තෙ
දෙතොල් පෙති තවරන්න..

වැස්සක් අතරෙහි කුඩා කුඩයක් යට උණුසුම් වන පෙම්වතියකගේ ඉල්ලීමෙහි සරාගික බව පළ කෙරෙන ඇගේ ඉල්ලීම කුමක් ද? අරුංගල් දෙක මත්තෙ දෙතොල් පෙති තවරන්න.

ඉන් පසු සිදුවන්නේ කුමක්දැයි කිවිඳිය නොපවසයි. ඇගේ නිරූපණයෙහි ඒ සියල්ල ගැබ් වී ඇති බව අපට දැනේ. දස්කොන් ප්‍රමිලා ආදර ආන්දරය දකින කිවිඳිය දස්කොන්ගේ මුවගට නංවන මේ වදන්හි සැඟවුණු සරාගී ඉල්ලීම මිහිරෙන් පිරුණකි.

සෙංකඩගල අහසේ සඳ මල පිපිලා
සක්මන් මලුව පුරා සඳ රැස් වැටිලා
තහනම් මල් සුවඳින් සියොළඟ සැළිලා
මගෙ පපුවට තුරුලුව නිදන්න ප්‍රමිලා

සෙංකඩගල අහසෙහි පෑයු සඳ, සක්මන් මලුව පුරා ගලා යන සඳ රැස් තහනම් මල් සුවඳ ඔවුන් දෙදෙනාගේ ආදර ලෝකයෙහි පරිසරයෙහි රමණීයත්වයට නිදසුන් ය. තහනම් මල් සුවඳ කාව්‍යොක්තිය නංවන්නේ ප්‍රබල ව්‍යංගාර්ථයකි.

අමාලී ඇහැළියගොඩ කිවිඳියගේ කවිය ද අපූරු ය. Creative නිර්මාණයෙහි ඈ නිර්භයව ඉංග්‍රීසි වදන් ම භාවිත කරන්නී ය. එය සිංහල වදනින් කීවාට වඩා සැනෙකින් පාඨක සිතට ළං වන බව කිව යුතු නොවේ.

කවියෝ දකින්නෙම
හැමදේම Negative
බලන්න බැරි ඇයි ජීවිතේ දිහා
ඔයිට වඩා Positive?

ඇත්තටම කවියෙකුටත්
පේනවා Positive
ඒත් ඒ මැද සැඟවිලා තියෙන්නෙම
Negative

ඒත් ඇති මට කවිය තුළින් ද අමාලි ආදරය පිළිබඳ නව අරුතක් පළ කරන්නී ය. එය යථාර්ථයෙන් ඈත් වූ අපේක්ෂාවක් දැයි සිතෙන්නට ඉඩ ඇත.

ඉරි තැලී ගිය වියළි කතරක
මං කියන්නෑ ගලා යන්නට
සීත ගඟුලක් වුණේ නැතුවට
හීන් පොද වැස්සකුත් ඇති මට

රසිකා මුහන්දිරම්ගේ කිවිඳිය ඇගේ පළමු නිර්මාණ සංග්‍රහය ඔස්සේ ම සම්ප්‍රදායට අභියෝග කරන නිර්භීත කිවිඳියක් බව ප්‍රකට කරන්නී ය.

යසෝදරාගෙයි මගෙයි ඇනිවර්සරිය, ඇඟේ මේ නිර්භීතකම ප්‍රකට කරන අපූරු නිර්මාණයකි.

යසෝදරා පොල් ගානව
කිරි මිරිකනව
බත් උයනව
චිකන් හදනව
පරිප්පු හදනවා

මම රැවුල කපනව
ගොඩක් වෙලා වැසිකිළියෙ ඉන්නව
ජෝතිගේ සින්දුවක් කියාගෙන නානව
මදිවට උරුවම් බානවා

යසෝදරා රැල්ලක් ගානේ මැදල සාරියේ රැලි තියනව
මම අස්සක් ගානේ අතුල්ලලා සපත්තුව පොලිෂ් කරනව
යසෝදරා ඕඩිකොලොන් ගානව
මමත් ඒ බෝතලෙන්ම චුට්ටක් කමිසෙට හලාගන්නව
යසෝදරා බස් එකට දුවනව
මම බයික් එකේ යසෝට පස්සේ යනව

රෑ බතට එළියට යමු යසෝ කියනව
‘ මොකක්ද විසේසේ ’ මම අහනව
‘ අද අපේ ඇනිවර්සරි’ යසෝ කියනව

කුටුම්භයක ස්ත්‍රී පුරුෂ සබඳතාවක් කිවිඳිය විවරණය කරන අපූරුව. සාරධා අද රෑට මම උබේ ලොජ් එකේ කවිය රසිකාගේ සරාගී නිර්භීත ප්‍රකාශනයයි.

නැකත් මරලතෝනී
ජයමංගල නැළවිලී
තැලිපිළි සුදු ඇතිරිලී
මේ එකක්වත් නැතී
නුබ මගේ රෑ මනමාලී

බැඳීම් නැති තරමට
හැඟීම්වල බර වැඩියි
වට වංගු පහුවෙද්දී
ජීවිතේ ලස්සනයි
අතරමං වන තරම්
සොඳුරු මං නියතමයි
අසම්මතෙ දිනුවෙම
සම්මතේ වැරදි හින්දමයි

සාරධා අද රෑට මම එනව ලොජ් එකට..

සම්මතය හා අසම්මතය පුපුරුවා හරින කවි කල්පනාවක් රසිකා කවියට නඟන්නී සංයමයෙන් යුතුව ය.

රෝහිණී වික්‍රමසිංහ කිවිඳිය ද ඇගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ රැසක් සඳහා ම ප්‍රස්තුත කොටගත් අත්දැකීම්හි ඇත්තේ ආදරය ප්‍රේමය පිළිබඳ නැවුම් කල්පනා ය. පෙම්වතෙකුට පෙම්වතියකට මෙන් ම සැමියකු හෝ බිරිඳකට ද උරහිසක අඩුව දැනෙන‘යුරු කිවිඳිය කවියට නඟන්නී නව අරුතක් දනවමිනි.

කැමති වුණෙ දිවි තුරා සෙනෙහසේ ලතාවට
හිතැති අය හුරු වුණේ විශ්වයේ රටාවට
තෙදැති පපුතුරක නැති උණුසුමේ දයාවට
නොමැති උරහිස කුමට හැඬුම් එන වෙලාවට

හැඬුම් එන මොහොතක උරහිසක අගය දන්නේ පෙමවතෙකු සැමියකු බිරිඳක හෝ පෙම්වතියක් ම පමණි. එවන් මොහොතක හඬන්නට නොමැති උරහිසකින් කුමන පලක්ද කියානොවෙද කිවිඳිය අසන්නී ? සිල් බිඳින්නට ඔබ ම හැර නිර්මාණය තුළින් ද කිවිඳිය තනි වූ ගැහනියකගේ සිතුවිලි අතරට අප කැඳවා ගෙන යන මුත් ඈ සම්මත බිරිඳක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක් පෙනේ.

පැල් රකින්නට මා දමා ඔබ ගියත් සැමදා ඈත හේනට
වල් සතුන්ගෙන් රුදු සපුන්ගෙන් නොවේවා අනතුරක් කිසිවිට
රැල් නඟාගෙන සිතුම් ඉඳුරන් අවදි වූවත් තුරුණු සිත යට
සිල් බිඳින්නට ඔබ ම හැර කවුරුන් ද හිරිගඩු පිපෙන සීතෙට

යසෝදරාවත සිහියට නංවන කාව්‍ය ආකෘතිය මෙන් ම සැබෑ පතිනියකගේ ප්‍රතිරූපයක් ද නිමවන්නට ගත් උත්සාහයකි රෝහිණීගේ කවිය.

උපෙකලා අතුකෝරළ කිවිඳිය මෙතෙක් නිර්මාණ උදෘත කොට දැක්වූ කිවිඳියන් අතර වඩාත් ප්‍රවීණ කිවිඳිය යැයි සිතමි.

තුංග වූ මතක මැඳුරකි කිවිඳියගේ සිව්වන කවි එකතුවයි. ඇගේ පෙර නිර්මාණවලට වඩා ඉදිරිගාමී හා යථාර්ථ ජීවිතයට ළංවූ කවි කල්පනා මේ කෘතියෙහි වේ. ඊයෙ රෑ මං ඔයාව හීනෙන් දැක්කා එබඳු නිර්මාණයකි. අතීතාවරජනයකට පිවිසෙන කතා නායිකාවගේ බිඳුණු අපේක්ෂා පිළිබඳ උපෙකලා මවන කාව්‍යානුභූතිය අප සිත් ගනී. ඈ විසින් භාවිත බවහර බස අත්දැකීමෙහි අරුත උද්දීපනය කරයි.

පස්සෙ අපි වැස්සෙ තේ බිව්වා
කා එක්කද ඔයා ලොකු කතාවක
හිනාත් ගියා ‘බඩ‘ දැකලා
ඔයා කැත වෙලා… !
“ කිසි කෑමක ‘චාරයක්’නැතුව ඇති”

ඔයා ආපහු‘ගිය විදිහ’ මට මතක නෑ
තාම මං මතක් කරනවා
ම්ම්හ්හ් ඒත් නෑ… !
අද මං වැඩට ගියෙත් නෑ
චිඃ ඒ නින්දෙ කිසි සැපක් නෑ

කසාදෙ කවිය කිවිඳියගේ කවියෙහි නව ප්‍රවේශය පෙන්වන අවස්ථාවක් සේ දකිමි. සම්මත විවාහයක් පිළිබඳ ඇගේ ආකල්ප ය නවීන ය. රැඩිකල් ය.

ඩල් ගෝල්ඩ් ‘ඔසරියක් ‘ අඳින එක
හීනයක් ඔය අස්සෙ තිබුණ
‘රත්තරන්වලට‘ ආසා නැතිකම
වාසියක් ඔන්න මගෙන් සදහට
දන්න අයටත් නොකියම
බඳින එක උනත්
‘කුප්ප ආසාවක්’තමා එක විදිහක

‘මධු සඳක් ’ පෑයිය යුතු බව සදහට
කෙලින් කියන එක මූණට
කෙල්ලෙක්ගෙ උමතුවක් වෙන්නෙ කොහොමද ?
‘අසපුවක’ වෙලා පුළුවන්ද ඒ ගෙය
‘සර්ප්‍රයිස්’ වෙන්න ලෝකෙට
ෆොටෝවක් විතරක් දාන කොට බුකියට
කැප්ෂන් එක පවා
හිතාගෙන උන්නා හිතු මනාපෙට
‘ඇදුරුතුමා වන්න මගේ
නොදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර…‘

මනස්ගාත..

‘පෙමතො’ තිබ්බෙ පොතේ විතරයි
‘පෙමක්’තිබුණෙත් නැති කොට
ඉතින් මොන
කසාද ද ?

කවි කෙතෙහි පෙරළිකාර කිවිඳියන්ගේ කාව්‍ය සංග්‍රහ අතර තදිති තිලකවර්ධන විරචිත මූදු පතුලක වැහි කබායකි පැරිස් විලවුන් සුවඳ මුහු වුණ කෘතිය ද සුවිශේෂී වේ. ඇගේ කාව්‍යානුභූතීන් තුළින් ප්‍රකට කෙරෙන උත්ප්‍රාසය අති ප්‍රබල ය. මල්ශාලාවේ මුතුමිණී පන්ති සමාජයක ආදරයක් මුහුණ දුන් ඛේදවාචකයක්

කිවිඳිය ප්‍රබල සංකල්ප රූප හා සංකේතාර්ථවත් භාෂා භාවිතයක් මගින් නිර්මාණය කරන්නී ය. මුතුමිණී මාල් ශාලා හිමිකරු දාවිත්ගේ දියණියයි. ඇගේ පෙම්වතා

වලව්වක සුදු අප්පො ය.
අත් පා කැබලි කොට
ගඟක මූදක දැම්මත්
මිනී කපනා උඹලගෙන්
ගන්නවද ගෑනු ?
වලව්වෙ තිබුණු රස්නය

මුතුමිණි නෝනා
ආරංචි ද
මෝදර පාළු වලව්වෙ
කාගෙදෝ මරණයක්ලු!

සරසන්න ඕන කොහොමද
පොරොන්දුව තාම මතකද
මමත් තාම ඇන්දෙ නෑ ඒ
සුදු පාට මඟුල් සාරිය

සතපවන්නම් සුදු අප්පො
ඔබ අද උපරිම සුවයට
මේ සාප්පුවෙ තියෙන
හොඳම පෙට්ටියෙ !

මුතුමිණි හා සුදු අප්පොගේ ආදරයට හරස් වන්නේ ඔවුන්ගේ පන්ති පරතරයයි. එහෙත් කිවිඳිය උත්ප්‍රාසාත්මකව ඇගේ පරිකල්පනය ඔස්සේ සුදු අප්පොගේ සිරුර මුතුමිණිගේ මල් ශාලාවටම ගෙනැවිත් ඈ විසින් ම තෝරාගත් පෙට්ටියක සතපවන්නීය. කිවිඳියගේ ම තවත් අපූරු කෙටි කවියකි. ඊට මාතෘකාවක් නොවේ. චිත්‍රයක් වේ.

ආදරය පිළිබඳ අසම්මත හැඟුමක් ජනනය වේ.

අකීකරු සුළඟක්
මා කොපුල්
සිප වැලඳ අහනවා
මේ සුවඳ ගෙනියන්න දැයි
ඔබ නිදන කුටිය වෙත

ඇගේ කොපුල් සිප වැලඳ ගත් සුළඟ අකීකරු ය. සුළඟ ඇගෙන් අසන්නේ මේ සුවඳ ඔබේ නිදන කුටිය වෙත රැගෙන එන්නද කියායි. අකීකරු සුළඟක් නිදන කුටියකට ගිය පසු සිදුවන්නේ කුමක්දැයි කිවිඳිය නොපවසයි. ඉන් ධ්වනිත වන සියුම් අරුත පාඨකයාට වැටැහේ. ඇගේ කවිතාව මතුවන්නේ මෙහිදී ය.

මේ කිවිඳි ආගමනය, ඔවුන්ගේ පෙරළිකාර ආක්‍රමණය සිංහල කවියේ නවමු සන්ධිස්ථානයක් ලෙස දකිමි.

● බුද්ධදාස ගලප්පත්ති
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment