සෙම්බුවත්ත

853

ස්වභාව සෞන්දර්යෙන් අනූන සුන්දර මාතලේ දිශාවේ පිහිටි සොඳුරු අසිරිමත් ස්ථානයක් ලෙස සෙම්බුවත්ත හැඳින්විය හැකිය. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබෙන ඇල්කඩුව වැවිලි සමාගමට අයත් සෙම්බුවත්ත සංචාරක ඉසව්වට ගිය විට, වැව් දිය පිස එන සීත සුළඟත් සමඟ අනන්තයටම ඇදී යන කඳුකර තේ වතු යාය මැදින් ඇවිද ගිහින් නිදහසේ සොබාදහම විඳින්නට හැකිය. සොඳුරු පරිසරයේ අසිරිමත් චමත්කාරය විඳින්නට එන සංචාරකයන්ගේ නොමඳ අවධානයට යොමු වන්නේ සෙම්බුවත්ත වැවය. නිල් ම නිල් පැහැයට නිල් කැටයක් ලෙසින් මේ වැව දිස්වේ.

මහනුවර නගරයේ සිට කිලෝමීටර් 35 ක් පමණ දුරින් මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි සෙම්බුවත්ත වැවට පැමිණීමට ඇති ප්‍රධාන මාර්ග දෙකක් වේ. එනම් මහනුවර සිට වත්තේගමට පැමිණ ඇල්කඩුව නගරය හරහා සෙම්බුවත්ත ට යෑම හා මාතලේ නගරයේ සිට උකුවෙල හරහා ඇල්කඩුවට පැමිණ මෙම ස්ථානයට ළඟා වීමය. ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාව පිහිටි භූමි භාගයේ පිහිටා ඇති මෙම වැව අවට සංචාරකයින් ගැවසෙන ප්‍රදේශය ඉතා ලස්සනට පිළිවෙළට පවත්වාගෙන යනු ලබන්නේ ඇල්කඩුව වතු යාය සම්බන්ධ පරිපාලනය විසිනි. මෙම ප්‍රදේශයට සෙම්බුවත්ත යන නම වැටී ඇති ආකාරය පිළිබඳව සොයා බැලීමේදී පුරාවෘත්තයක් ඇත. එනම්, මෙහි ඇති තේ කම්හල අසල තිබූ ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වූ බවට කියැවෙන පුරාවෘත්තයක් පිළිබඳවය. සෑම පොහොය දිනකම එම රන් සෙම්බුව ජල උල්පතෙන් ඉහළට මතුවී ඇති බවත්, එලෙස මතු වූ අවස්ථාවකදී එකල මෙම තේ වතුයායට අනුයුක්තව සේවය කළ කංකානි මහත්මයා එම සෙම්බුව රැගෙන ඉන්දියාවට පලා ගිය බවත්, පසුව ඔහුගේ පුතු විසින් ජල උල්පත තිබුණු තැන කෝවිලක් සාදා පුද පූජා කටයුතු කර ඇති බවත් සඳහන් වේ. දැනටත් එම කෝවිලේ නටබුන් දැක ගැනීමට හැක.

ඉංග්‍රීසීන් විසින් ලංකාව පාලනය කරනු ලැබූ සමයේදී මෙහි තේ වගාව ආරම්භ කර ඇති අතර වැව පිහිටා තිබෙන භූමි ප්‍රදේශය ඉංග්‍රීසින් එකල පෝලෝ ක්‍රීඩාංගණයක් ලෙස භාවිත කළ බව කියැවේ. සෙම්බුවත්ත වතුයාය ට යාබදව 1949 වසරේදී තේ කම්හලක් ස්ථාපනය කර ඇති අතර ඒ සඳහා විදුලිය ලබා ගැනීමට අවශ්‍ය ටර්බයින කරකැවීම සඳහා ජලය ලබා ගැනීමේ අරමුණින් පෝලෝ
ක්‍රීඩාංගණය තිබූ ස්ථානයේ පසු කලෙක වැවක් නිර්මාණය කර තිබේ. මේ වන විට සෙම්බුවත්ත වැව නමින් හැඳින්වෙන්නේ එයයි. තේ අස් වැන්න අඩුවීම හේතුවෙන් 1987 වසරේදී කම්හල වසා දමනු ලැබීමෙන් අනතුරුව 1993 වසරේදී ඇල්කඩුව වතුයාය සමාගමක් බවට පත් කරන ලදි. අක්කර 1106 ක විශාලත්වයකින් යුතු වතුයාය 1999 වසරේදී රජයට පවරා ගන්නා ලදි.

2005 වසරේදී වතුයාය භාරව සිටි රැඩ්ලි දිසා නම් වූ වතු අධිකාරිවරයා ගේ සංකල්පයක් අනුව සෙම්බුවත්ත වැව සහ ඒ අවට ප්‍රදේශය නිසි පරිදි නඩත්තු කොට, වැව අවට ගිම්හාන කුටි හා නාන තටාකයක් ඉදිකර මෙම ස්ථානය සංචාරකයන් සඳහා විවෘත කිරීමට කටයුතු කර තිබේ. මේ වන විට වැව අවට ගිම්හාන කුටි 10 ක් පමණ ප්‍රමාණයක් ඉදිකර තිබේ. අඩි 5 ක් පමණ ගැඹුරැති නාන තටාකයක් ද මෙහි ඉදි කර ඇති අතර එබැවින් ඕනෑම අයෙකුට බැස නෑමට හැකියාව ඇත. තවද ළමුන්ට ක්‍රීඩා කිරීම සඳහා වෙනම ස්ථානයක් ඉදිකර තිබෙන අතර, සොබාදහමේ අසිරිය නැරඹීමට අවශ්‍ය පුද්ගලයන්ට වැව වටා යෑම සඳහා මේ වන විට බෝට්ටු සේවාවක්ද ආරම්භ කර ඇත. කෙසේ වුවද මෙම වැව අඩි 30 ක් 40 ක් පමණ ගැඹුර වන අතර, වැවේ ජලය ද අධික සීතලකින් යුක්ත නිසාද ස්නානය සඳහා අවසරයක් නැත.

නකල්ස් කඳුවැටිය පසුබිම වූ කැලෑ බොක්ක වතුයායෙන් ආරම්භ වන දිය දහරාවෙන් සෙම්බුවත්ත වැව පෝෂණය වේ. එසේම ඝන ෆයිනස් කැලෑවකින් වට වී ඇති වැව අවට පරිසරය අතිශයින් රමණීයය. එසේම සිසිල් දේශගුණයකින් යුක්ත වේ.

එම්. තාරික්

advertistmentadvertistment
advertistmentadvertistment