නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම 09දා

94

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 09 වැනිදා පැවැත්වෙන අතර එදින සිට සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වන බව වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් මස 12 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.

ඒ අනුව 2024 ජනවාරි 09 වැනි අඟහරුවාදා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත , ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සදහන් නියෝග සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ අංක 2334/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදය ගැනීමට නියමිතව ඇත.

අනතුරුව ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) සහ ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනවාරි 10 වැනිදා පෙ.ව. 10.00 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසනු ලබන ප්‍රශ්න සදහා වෙන් කර තිබේ. අනතුරුව ප.ව. 5.00 දක්වා අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත දෙවනවර කියවීමට අදාළව කල්තබන ලද විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතව ඇත.

එදින සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම, සමථ මණ්ඩල (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), නොතාරිස් (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

ජනවාරි මස 11 වැනි බ්‍රහස්පතින්දා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල් තැබීමේ යෝජනාව විවාදය ගැනීමට නියමිතව ඇත.

ජනවාරි මස 12 වැනි සිකුරාදා පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සදහා කාලය වෙන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment