මෙසිරිලකට රුවන්වැලි මහා සෑය මහා පුණ්‍ය නිධානයකි. සම්බුද්ධ ශාසන සාහිත්‍යයට අනුව මෙම අසදෘෂ මහා චෛත්‍යය රාජයාණන් වහන්සේ පරයන කිසිදු මහේශාක්‍ය වූ බෞද්ධ ස්මාරකයක් මේ තුන් ලෝකයෙහිම නැත්තේය. එබැවින් අප මහානර්ඝ පුණ්‍යස්කන්ධයක් උරුම කරගත් මහා වාසනාවන්තයෝ පිරිසක් වෙන්නෝ නොවේද?

මෙම රුවන්වැලි මහා රජාණන් වහන්සේ බඳනා ලද්දේ දුටුගැමුණු මහරජාණන් වහන්සේ විසින් බව කවුරුත් දන්නා කරුණකි. එහි මූලික සැලැස්ම එය ඉදිකර වසර දහස් ගණනක් ගියත් අදද වෙනසක් නොවී පවතින්නේ වරින් වර මෙම මහා සම්පත පිළිසකර කළ රාජ රාජ මහාමාත්‍යාදීන් මෙන්ම සාමාන්‍ය මහජනයාත් පෙර පැවති පිළිවෙළ උල්ලංඝනය නොකර කටයුතු කළ නිසාවෙනි. අනුරාධපුර යුගයේ වාස්තු සම්ප්‍රදාය මත පදනම්ව පවත්නා එකී ලක්ෂණවලට හානි නොවන ලෙස සරල නමුත් ශක්තිමත් ලෙස මහ සෑයට අත්‍යවශ්‍ය වන අංගයක් ලෙස එහි පාෂාණමය මංපෙත්වලට පාපිස්නක් සහ බුමුතුරුණු ඇතිරිලි සකස් කිරීම අප කලක් තිස්සේ මුහුණ පෑ අභියෝගයකි.

විටෙක සැදැහැවතුන් විසින් ලණු බුමුතුරුණු එළන ලද අතර ඇතැම් උදවිය එහි පය පැකිලී වැටුණ අවස්ථා ද ඇත. කෘත්‍රිම පාපිසි සමහර විට ගල්වලටත් වඩා රත් වේ. සලපතරමලුවත්, වැලිමලුව හරහා සලපතර මළුව වෙත ළඟා වෙන නැඟෙනහිර ප්‍රවේශ මංපෙතත් කළුගල් පාෂාණවලින් සකස් කොට ඇත්තේ අතීත තාක්ෂණය අනුව එහි පැවැත්ම සහ පවිත්‍රතාව ආදී සාධකය සලකාගෙනය. කෙසේ වෙතත් ලංකාවේ වියළි කලාපීය පරිසරය සහ එහි ඇති අධික සූර්යය රශ්මියත් තවත් අතකින් මෙම පරිසරයේ පාවහන් රහිතව ගමන් කළයුතු වීමත් නූතන ජනතාව අතීත ජනතාවට වඩා පාවහන් භාවිතා කිරීම නිසා සියුමැලි යටිපතුල් දරන නිසාත් මෙම උණුසුම් රළු කළුගල් මංපෙත් දිගේ පා ගමනින් ප්‍රදක්ෂිණා කිරීම සහ වන්දනා කිරීම ඉතාමත් පීඩාකාරි අත්දැකීමක් බවට අමුතුවෙන් අටුවා ටීකා වුවමනා නැත.

ඉර බැස ගියද බොහෝ කාලයක් පාෂාණවල උණුසුම රැඳී පවතින නිසා දවල් කාලයේ රුවන්වැලි සෑයට ගොඩ වන්නේ එය එකම විකල්පය වුවහොත් පමණි.

ස්වර්ණමාලී මහ සෑයට පාපිස්නක්…

එබැවින් මෙම ගැටලුවට තිරසාර විසඳුමක් ලෙස රුවන්වැලි සෑ ප්‍රවේශ මං පෙත කිතුල්පටියෙන් සකස් කළ පාපිස්සක් මගින් ආවරණය කිරීමට අද වන විට සැදැහැවත් පිරිසක් කටයුතු කරනු ලබයි. බැතිමතුන්ට සුවසේ රුවන්වැලි මහා සෑය වෙත ප්‍රවේශ වීමට කටයුතු සම්පාදනය කිරීම මෙම ව්‍යායාමයේ මුඛ්‍ය අරමුණයි.

මෙම මහා සෑය වන්දනා කිරීමට අදද රහත් සිත් දරන උතුමන්ගේ සිට මාර්ගඵල ලැබූ නොයෙකුත් උතුමෝ වැඩම කරති. සිල්වත් ගුණයත් භික්ෂූන් වහන්සේලා මෙන්ම ගිහියන්ට ද මෙය සිත් අලවන මංපෙතකි. මෙයට පිවිසෙන ඉතා දුස්සීලයෙකු වුව ද වෙනදාට වඩා සිල්වත් සිතක් දරා මෙම මහා සෑය වෙත ප්‍රවේශ වේ. එබැවින් මෙම මංපෙත සිල්වතුන්ගේ මංපෙතකි. ගුණවතුන්ගේ මංපෙතකි. මෙම පාසිස්න යම් තරමකින් පා හා ඇලී එන අනවශ්‍ය දෑ ඉන් ඉවත් කරයිද ඒ අයුරින්ම මෙම බෞද්ධ පතිරූප දේශයට එල්ල වී ඇති මිසදිටු පලිබෝධවලින් සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් සිංහල බෞද්ධයාත් මිදී ආරක්ෂාව සැලසේවා යන අධිටනින් මෙම කිතුල් පටි පාසිස්න පූජා කරනු ලබයි. මෙය භාවිතා කරනු ලබන සුධීමතුන්ද එසේම සිතත්වා.

මෙම කිතුල්පටි පාපිස්ස සඳහා භාවිතා කරනු ලැබනුයේ ස්වභාවිකව මියගිය ඉතා හොඳින් මෝරන ලද කිතුල් ගස්වල කඳන්ය. මෙම ලී ඉතාමත් ශක්තිමත් වන අතර කීරි ගැලවීමක්ද සිදු නොවේ. ඉතා රළු පරිසරයක වුව දශක ගණනාවක් මෙය පවතින බව සහතිකය. එපමණක්ද නොව සැලසුම අනුවත් ලීවල ඇති තාප කුසන්නායක ගුණය අනුවත් මෙම පාසිස්ස පහළින් ඇති සලපතර මංපෙතට වඩා සිසිල් වෙයි. කුඩා දරුවකුට වුව පහසුවෙන් ඇවිද යා හැකි ලෙස මෙය සැලසුම් කර ඇති අතර අවශ්‍ය විටක ඉතා සුළු කාලයක් තුළ අලුත්වැඩියා කිරීමේ හැකියාවත් පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් ද සහිතය.

මෙම කිතුල්පටි සපයා ගැනීම සඳහා කළුතර, රත්නපුර, බිබිල වැනි ප්‍රදේශවල සැදැහැවතුන් උපකාර කළ අතර ද්වාර මණ්ඩපයේ සිට සඳකඩපහණ තෙක් මෙහි පළවෙනි පියවර නිර්මාණය කිරීම සඳහා පමණක් කිතුල් ගස් සියයක පමණ දැව අවශ්‍ය වේ යැයි ගණන් බලා ඇත. මෙම පාපිස්ස සකස් කරනු ලබන ආකාරය අනුව පොළොවට අවම ලෙස සම්බන්ධ වන අතරේ ඉතාම හොඳින් පයේ තැවරුණු දුහුවිලි වැලි ආදිය ඉවත් කරනු ලබන බවද සඳහන් කළ යුතුය

මෙම කිතුල්පටි පාපිස්ස සඳහා මීට වසර කිහිපයකට පෙර එවකට රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගෙන් අනුමැතිය ලබාගනු ලැබුවේ එහි සංඝාවාසයට මෙම පාපිස්සේ ආකෘතියක් නිර්මානය කොට පිළිගැන්වීමෙන් අනතුරුවය. අදත් රුවන්වැලි සෑ සංඝාවාසය ඉදිරිපිට එම පාපිස්නය දැකබලා ගත හැක. අවසරය ලැබුණත් මෙම ව්‍යායාමය යථාර්ථයක් නොවුණේ අනතුරුව ඇතිවුණ කොරෝනා රැල්ල සහ වෙනත් ආර්ථික හැලහැප්පීම්, ඉන්ධන හිඟය ආදිය නිසාවෙනි. පසුගිය වසරේ තිබුණු වැසි සහිත කාලගුණය නිසා ගස් හෙළීම දුෂ්කර වූ නිසා මෙම පාපිස්ස නිර්මාණය කිරීම තවත් ප්‍රමාද විය. අනතුරුව පසුගිය මාස කිහිපය තුළ පැවැත්වුණු වියළි කාලගුණික තත්ත්වය සහ කාලයක් තිස්සේ මේ සඳහා එකතු පහදවූ දායක කාරකාදීන්ගේ බලවත් උනන්දුව සහ ඕනෑකම නිසා අද වන විට රුවන්වැලි සෑයේ කිතුල්පටි පාපිස්ස යථාර්ථයක් බවට පත්වෙමින් ඇත. මෙම පාපිස්සේ අඩියක් සඳහා රුපියල් 25,000ක් පමණ වියදම් වන බවට ගණන් බලා ඇති අතර බොහෝ දුරට ශ්‍රමය සහ ශිල්පීය නිපුනතාව මත එහි ඉදිකිරීම් කාලය තීරණය වෙයි.

මෙම කිතුල් පටි පාපිස්නය බොහෝ පිරිසකගේ මාස ගණනක අප්‍රතිහත මහන්සියක ප්‍රතිඵලයකි. මෙය හුදු මුදල් තිබූ පමණින් යථාර්ථයක් බවට පත් කළ නොහැකි බොහෝ කැප කිරීම්වල ප්‍රතිඵලයකි. එබැවින් මෙය පොදු ජන ශ්‍රද්ධාව උත්කර්ශය කරා ගෙනෙනු ලබන අතීතයේ තිබූ දරමිටි පෙරහැර මෙන් සාමූහික ප්‍රතිඵලයකි.

නොයෙක් දුෂ්කරතා පැවැතිය ද ලබන වෙසක් මස මෙම පාපිස්න මහා සෑයට පූජා කෙරෙන්නේ නිහඬවම නොවේ. තථාගතයන් වහන්සේගේ මහා තෙසැත්තෑ ඥාණ සම්භාරය අනුස්මරණය කරමිනි. මෙම වෙසක් මස හතර වැනි දින සවස් යාමයේ සිට මෙම පින්කම් මාලාව පැවැත්වෙයි. සවස් භාගයේ පවත්වන ගිලන්පස පූජාවේ සිට තථාගතයන් වහන්සේගේ තෙසැත්තෑ ඥාණ අතර අග්‍ර වූ ශඩ් අසාධාරණ ඥාණ පිළිබඳ සුමධුර ධර්මදේශනා හයක් ද ඇතුළුව රාත්‍රිය පුරා පවත්නා විවිධ පින්කම් රැසක් මේ අතර පවතී. අපේ මුතුන්මිත්තන් අඛණ්ඩව රැකගෙන ඇවිත් අපට උරුම කර දුන් පාරම්පරික වී වර්ග හැත්තෑ තුනකින් යුත් ක්ෂීරපායාස පූජාව කලකින් දක්නට ලැබෙන මහත් කැපවීමකින් නෙලා ගත යුතු පුණ්‍ය අස්වැන්නක් වෙයි. එපමණක් ද නොව එක් එක් බුද්ධ ඤාණය සඳහා එසවුන පිත්තලවලින් සකසන ලද තෙසැත්තෑ ඥාණ සටහන් කරන ලද ධජ හැත්තෑ තුනක් ද මෙම පින්කම ඒකාලෝක කරනු ලබයි. රුවන්වැලි සෑ පේසා වළලූ වසා පිපුන නෙළුම් මල් වෙසක් කූඩු ද මෙම පින්කමට අපමණ ආලෝකයක් එක් කරයි.

මෙම පින්කම සඳහා සහභාගි වන ලෙස ආරාධනා කිරීමට මෙම ලිපිය ආරාධනා පත්‍රයක් ලෙස සලකන මෙන් සසුන් වැඩ කැමති ලක්වැසි ජනතාවට මෙයින් මතක් කර සිටී. පිරිස් වශයෙන් පැමිණ පින්කමට සම්බන්ධ වීමට අමතරව පැමිණෙන බැතිමතුන් විෂයෙහි දන්සල් පැවැත්වීමටත් තවමත් ප්‍රතිපාදන සපයා නොගත් කටයුතු සඳහා හැකි තරමින් මූල්‍ය බරපැන දැරීමටත් තවදුරටත් අවස්ථාව පවතී. ඒ සඳහා සංවිධායක මණ්ඩලය අමතා කටයුතු සම්පාදනය කර ගැනීමට අවස්ථාව ඇත.

එප්පාවල සිරිනන්ද හිමි 0753190871
රංග 0714770321
රුචිර ශ්‍යාමන්ත ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment