ජාන කොල්ලයක් යාලෙන් අල්ලයි

431

ඉතාලි ජාතික වෛද්‍යවරයා සහ පුත්‍රයා 15දා තෙක් රිමාන්ඩ්

මරා දැමුණු සතුන් 400ගේ නිදර්ශක සොයාගැනේ

යාල රජයේ රක්ෂිතයේ ජීවත්වන සමනලුන් ඇතුළු කෘමි විශේෂ දඩයම් කර ජාන සොරකමේ යෙදී සිටියදී යාල කටගමුව වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් ඉතාලි ජාතික පිය පුතු දෙපළක් ලබන 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජාන කොල්ලයක් යාලෙන් අල්ලයි

සැකකාර මෙම ඉතාලි ජාතික වෛද්‍යවරයා සහ ඔහුගේ පුත්‍රයා ඊයේ (09 දා) තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මහෙස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

සමනලුන්, බත්කූරන් ඇතුළු කුඩා කෘමින් අල්ලා මරණයට පත්කර රසායනික ද්‍රව්‍ය යොදා අසුරා විදේශ රටකට ගෙනයෑම සඳහා සූදානම් කර තිබූ බහාලුම් සියයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා පැවසීය.

යාල සෆාරි ජීප් රථ රියැදුරෙකුගෙන් ලද තොරතුරකට අනුව සෝදිසි මෙහෙයුමක් දියත්කර කටගමුව වනජීවී නිලධාරීන්ට කොච්චිපතාන රජයේ රක්ෂිතයේ මෝටර් රථයක් නතර කර දැල් යොදා ගනිමින් සමනලුන් අල්ලමින් සිටි විදේශිකයින් දෙපළ හමුව තිබේ. පසුව ඔහුගේ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එම අවස්ථාවේ අල්ලා ගත් සමනලුන් බෝතල්වල බහා තිබියදී අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්දී දින කිහිපයක් තුළ ජීවග්‍රහයෙන් අල්ලා මරණයට පත් කළ ජීවීන් වර්ග 400කට ආසන්න ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය යොදා අසුරා තිබියදී අත්අඩංගුවට ගත් බවද කීය. වනජීවී වෘක්ෂලතා ආඥා පනතට අනුව ආරක්ෂිත කොඳු ඇට පෙළ රහිත සතුන් ගණයට වැටෙන මෙම සතුන් සියල්ල ආරක්ෂිත සතුන් වන බවත් ආවේණික සහ ආවේණික නොවන සතුන්ද මේ අතර සිටින බව ද උද්‍යාන භාරකරු සඳහන් කළේය. ඒ අනුව එක් සතෙකු වුවද අල්ලා ගැනීම, මැරීම සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කරන බවත් දඩයකට හෝ බන්ධනාගාරගතවීමකට යටත් වන බවද උද්‍යාන භාරකරු කීය. ඊට අමතරව මෙම සතුන් දඩයම් කිරීම සඳහා දේශීය වශයෙන් යම් පුද්ගලයකුගේ සහාය ලැබී ඇද්ද යන්න පිළිබඳවත් ජාන සොරකම සඳහා ගෙනෙන ලද කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය කුමන ආකාරයට රට තුළට ගෙනාවේද යන්න පිළිබඳව ද පරීක්ෂණ සිදු කරන බව කටගමුව වනසත්ව අඩවිය ආරක්ෂක කේ. සුජීව මහතා කීය. මේ මස හතරවන දින මෙම විදේශකයින් ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අතර ඉතාලි ජාතිකයන් දෙදෙනාගේ ගමන් බලපත්‍ර ද වනජීවී භාරයට ගෙන ඇත. වයස අවුරුදු පනස් අටක් වන ලුයිගි ෆෙරාරි වෛද්‍යවරයකු වන අතර ඔහුගේ පුතෙකු වන වයස අවුරුදු 28ක් වන නතියා ෆෙරාරි ඉංජිනේරුවෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

ජාන කොල්ලයක් යාලෙන් අල්ලයි

මොවුන්ගේ ගමන් මලුවල තිබී හමුවූ රසායනික ද්‍රව්‍ය සහ සතුන් දඩයම් කිරීමට ගන්නා විද්‍යුත් උපකරණ රැසක් අත්අඩංගුවට ගත හැකි වූ බවත් ඒ අනුව ජාන සොරකම් කිරීම සඳහා උපරිම දැනුමක් ඇති දෙපළක් බවටද හඳුනාගෙන ඇත. පරීක්ෂණවලදී හෙළි වූ කරුණු අනුව මේ මස හතරවෙනි දින ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මිරිස්ස, තංගල්ල ආදී ප්‍රදේශවලත් මෙම සතුන් දඩයම් කර ඇති බවට ද තොරතුරු හෙළිව ඇති බව කීය.

ජාන කොල්ලයක් යාලෙන් අල්ලයි

කෙසේ වෙතත් මෙලෙස අල්ලා ගන්නා සතුන් වරායෙන් හෝ ගුවන්තොටුපොළින් විදේශගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැක සහිත තත්ත්වයක් මතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විමර්ශනය කළ යුතු බවද වන ජීවි නිලධාරීහු කීහ.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු, කතරගම – කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment