‘නව සාමාන්‍යකරණය’ තුළ ‘පොදු ප‍්‍රවාහනය’ ඵලදායි කිරීම

419

‘කොරෝනා’ වසංගතය හේතුවෙන් පසුගිය දෙවසර පුරා සිදුවූ පසුබෑම් පසෙක ලා, ‘නව සාමාන්‍යකරණ’ රීතීන් යටතේ වැඩි ජවයකින් යුතුව වැඩ කිරීමට සූදානම් වන ලෙස, ජනපතිතුමා විසින් නොබෝදා රාජ්‍ය සේවකයන් වෙත ආයාචනයක් කරන ලදී. ඒ හමුවේ, ඉදිරියේදී ‘රට වැසීම්’ වැනි අනර්ථකාරී පියවරයන් වළකමින් මහජනතාවට අසීරු කාල පරිච්ෙඡ්දයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා, කෙටි, මධ්‍යම හා දිගු කාලීන විසඳුම් සෙවීම අනිවාර්ය වී ඇත. දුර්වල ලෙස ක‍්‍රියාත්මක වූ පසුගිය ‘රට වැසීම’ තුළ පවා කිසියම් හෝ සාර්ථකත්වයක් අත් වූයේ පොදු ප‍්‍රවාහන පහසුකම් සීමා කිරීම නිසා බව සෞඛ්‍ය අධිකාරීන් පෙන්වා දී ඇති හෙයින්, කාර්යාල සේවක සේවිකාවන් හා පාසල් දරුවන්ගේ පොදු ප‍්‍රවාහනයේදී පැන නගින්නා වූ ‘ප‍්‍රජා සම්පේ‍්‍රෂණය‘ (Community Transmission) පිළිබඳ ගැටලූව සමනය කිරීම සඳහා දිගු කාලීන විසඳුම් සොයා ක‍්‍රියාත්මක කිරීම වැදගත් බව පැහැදිලිය.

 එහිලා, ‘නව සාමාන්‍යකරණ’ රීතීන් ක‍්‍රියාත්මක කිරීම තුළින් අපගේ ජීවන රටාවන්හි ‘සුසමාදර්ශ පිම්මක’ (Paradigm shift) අවශ්‍යතාව පිළිබඳව, අදාළ වෘත්තීය සමිතිවලට, පාසල්වලට හා දෙමව්පියන්ට පැහැදිලි කර, ඒත්තු ගැන්වීමෙන් පසු, ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම සඳහා සරල, අර්ථවත් මෙන්ම පිරිවැයද අවම කිරීමේ පියවර කිහිපයක්, මවිසින් අදාළ අධිකාරීන්ට හා පුවත් පත් මගින්ද පසුගිය වසරේ යොමු කළ අතර පූර්ණ සාර්ථකත්වයක් අත් නොදුටු බැවින් එම යෝජනා නැවත සිහිපත් කරනු කැමැත්තෙමි.

 කාර්යාල සේවක සේවිකාවන්

 1) රජයේ ස්ථාන මාරු ප‍්‍රතිපත්ති සංශෝධනය කර, ඔවුන් හැකිතරම් තමා පදිංචි දිස්ත‍්‍රික්කය තුළ ආසන්නතම කාර්යාලවලට අනුයුක්ත කිරීම.

 මෙම පියවර මගින් අන්තර් දිස්ත‍්‍රික් ගමනාගමනය හා වාහන තදබදයද සීමා වන හෙයින්, ‘ප‍්‍රජා සම්පේ‍්‍රෂණය‘ (Community Transmission)  අඩුවී, ‘පොකුරු’ හඳුනා ගැනීම සහ අධීක්ෂණයද පහසු කරනු ඇත. ධනාත්මක අතුරු ප‍්‍රතිඵල වශයෙන්, ඔවුන්ගේ ඉතිරිවන වටිනා කාලය හා ගමන් මහන්සිය, ගෙවතු වගාව වැනි අර්ධ කාලීන ක‍්‍රියාකාරකම් වල නිරත වීමටද යොදා ගැනීම තුළින්, ශක්තිය හා මුදල්ද ඉතිරිවී වඩා සුහුරු පවුල් ජීවිතයක් ගත කිරීමට ඇති ඉඩ කඩද වැඩිවනු ඇත.

 2) රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා නම්‍යශීලී වේලාවන් (Flexi-hours)  හඳුන්වා දීම.

 මෙම පියවර මඟින් ‘කාර්යාලයීය වේලා වාහන තදබදය’ හා ‘වැඩිපුර පැටවීම’ අඩු වන අතර, එහි ප‍්‍රතිඵල ලෙස ඉන්ධන ඉතිරිවීමට අමතරව, වඩා හොඳ කාල- කළමනාකරණයක් හා සේවක ඵලදායිතාවයක්ද ලබා ගත හැක.

 3) තාක්ෂණය උපයෝගී කරගනිමින්, ‘නිවසේ සිට වැඩ කිරීම’ සඳහා වූ වර්තමාන විධිවිධාන පුළුල් කිරීම.

 මෙම පියවර මඟින් වාහන ‘වැඩිපුර පැටවීම’ සහ මාර්ග තදබදය තවත් අඩුවන අතරම, නිශ්චිත ඉලක්ක/පැවරුම් ලබා දීමෙන් එම සේවක ඵලදායිතාවද වැඩි දියුණු කර ගත හැක. දැන් ක‍්‍රියාත්මක වන විකල්ප දිනයන්හි සේවයට වාර්තා කිරීම තවදුරටත් ක‍්‍රියාත්මක කිරීම සුදුසුය. මෙහිදී, අවධාරණය කළ යුතු තිත්ත ඇත්තක් නම්, දැනට මිලියන 21.5 කට වැඩි ශ‍්‍රී ලංකා ජනගහනය හා මිලියන 1.4 ක් ඉක්මවන රාජ්‍ය සේවක සංඛ්‍යාව අනුව සෑම 15 දෙනකුටම එක රාජ්‍ය සේවකයෙකු බැගින් සිටී. වෙනත් බොහෝ රටවල එය 250 ඉක්මවයි.

 4) දුම්රිය / බස් වාර ප‍්‍රවේශ පත‍්‍ර අන්තර්ජාලයෙන් හෝ නම්කරන ලද සුපිරි වෙළෙඳසල් / සාප්පු වලින් ලබා දීමට කටයුතු යෙදීම.

 මෙම පියවර තුළින්, කොන්දොස්තර /ටිකට්පත් නිකුත් කරන්නා ගේ වැඩබර සහ සෞඛ්‍ය අවදානම විශාල ලෙස අඩු කර ගත හැකිය. බොහෝ රටවල බස් ටිකට්පත් නිකුත් කරනු ලබන්නේ රියැදුරු විසින්ම ය.

 5) දිරිගැන්වීම් ක‍්‍රමයක් යටතේ, කර්මාන්තශාලා/රාජ්‍ය/

 පෞද්ගලික අංශයේ ආයතන මගින් තම සේවකයන් හට විශේෂ වෑන්/බස් ප‍්‍රවාහනය සැපයීමට අනුබල දීම.

 මෙම පියවර තුළින්ද ඉහත සඳහන් ප‍්‍රතිලාභ අත්වන අතර කාර්යාලීය ඵලදයිතාවයද වැඩිවේ.

 6) රාජ්‍ය/පෞද්ගලික අංශයේ ක‍්‍රියාකාරකම් හැකි තරම් දුරට විමධ්‍ය ගත කිරීම.

 එවිට, ජනාකීර්ණ කොළඹ ප‍්‍රදේශයට දිනපතා ප‍්‍රවාහනය කරන ජන සංඛ්‍යාව අවම කර ගත හැක. තවද, මෙවැනි වසංගත තත්ත්වයන් ඉදිරියෙහි ඇතිවුව හොත්, පරිධියෙහි වසන ජනතාවට අඛණ්ඩව සේවා සැපයීම වඩාත් පහසු වනු ඇත.

 පාසල් දරුවන්

 1) දරුවන් තම ප‍්‍රදේශයේ පාසල් වෙත යැවීමේ ප‍්‍රතිපත්ති අවශ්‍යතාව වහාම ක‍්‍රියාත්මක කිරීම.

 මෙම පියවර නිසැකවම ප‍්‍රධාන මාර්ගවල රථවාහන තදබදය අඩු කිරීමට හේතු වනු ඇත. මෙය පිළිනොපැදීම, විශේෂයෙන් කොළඹ හා ආශ‍්‍රිත මාර්ගවල රථවාහන තදබදය තීව‍්‍ර කරන ප‍්‍රධාන සාධකයක් බවට පත්ව ඇති හෙයින්, ඔරොත්තු නොදෙන කරදර හා වියදම් දරමින්, බස්නාහිර පළාතේ ළමුන් ‘කොළඹ පාසල්‘ වෙත යැවීමේ යල්පැනගිය මෝස්තරය දැන්වත් බැහැර කිරීමට දෙමාපියන්ද සිතට ගත යුතුය. එවිට, පාසල් බස්/වෑන් සේවාව ප‍්‍රදේශයට පමණක් සීමා කළ හැකි අතර, සමහර දෙමව්පියන් කාර්යාලයට යාමට පෙර තම දරුවන් පාසලට ඇතුළත් කිරීමේ අවශ්‍යතාවය ද මතු නොවේ. තවද, දෙමව්පියන්ගේ

 /දරුවන්ගේ ගමන් මහන්සිය/අවදානම/ආතතිය මෙන්ම කාලය සහ වියදම්ද අඩුවන අතර, එම සම්පත් ඉතිරිය අතිරේක අධ්‍යාපනය, ගෙදර වැඩ සහ විෂය බාහිර ක‍්‍රියාකාරකම් සඳහා යෙදවිය හැක.

 2) පාසල්වල ආරම්භක වේලාවන් රජයේ/පෞද්ගලික අංශයේ නම්‍යශීලී කාර්යාල වේලාවන් සමග ගලපමින් සකස් කිරීම.

 මෙම පියවරයද නිසැකවම ප‍්‍රධාන මාර්ගවල රථවාහන තදබදය අඩු කිරීමට ඉවහල් වනු ඇත. පාසල් නිවාඩු කාලයන් තුළ වාහන තදබදය අඩුවන හැටි අපි අදත් අත් දකිමු.

 ඉහත සමස්ත ක‍්‍රියාදාමය තුළින්, රටෙහි පොදු අභ්‍යන්තර ප‍්‍රවාහන පද්ධතියට, දැනට සතුව ඇති වත්කම් උපයෝගී කරගනිමින්, මගීන්ට ආරක්ෂිත හා සතුටුදායක සේවාවක් ලබා දිය හැකි අතර, අලූත්වැඩියාකිරීම් හා ඉන්ධන භාවිතයද අඩුවී විදේශ විනිමයද ඉතිරි වේ. එබැවින්, ‘කොරෝනා වසංගතය’ හමුවේ අප වෙත වෙස්වළාගෙන පැමිණි ආශීර්වාද සාධනීය ලෙස පිළිගෙන, ධනාත්මකව ක‍්‍රියාත්මක වෙමු.

 දේශපාලනික අධිෂ්ඨානය හා වෘත්තීය නිපුණතාවක් ඇති ජනාධිපතිතුමා හා අගමැති තුමා වසර ගණනාවක් තිස්සේ ක‍්‍රියාත්මක නොවුණු මෙම සමහරක් පියවරයන් අත්‍යාවශ්‍ය කරුණු ලෙස සලකා ක‍්‍රියාත්මක කරනු ඇතැයි අපගේ පූර්ණ විශ්වාසය වන බැවින් මෙම ලිපිය එතුමන්ලාගේ පොද්ගලික අවධානයට යොමු වනු ඇතැයි විශ්වාස කරමි. එවිට, රටට අනිවාර්යයෙන් ලැබිය යුතු ආරක්ෂාව, ඵලදායිතාව සහ විනය ශක්තිමත් වී සමෘද්ධිමත් ශ‍්‍රී ලංකාවක් කරා යන ගමන වේගවත් වනු ඇත.

 බර්නාඞ් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment