BMW මගඩියෙන් බිලියන 16ක බදු ගිලලා!

388

යළි විමර්ශන කරන්න රේගුවට අවසර

අතිසුඛෝපභෝගි බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ අලුත්ම වාහන 1728ක් නියමිත මිල ගණන් අවතක්සේරු කර තීරුබදු රහිත බලපත්‍ර යටතේ ආනයනය කර රජයට රුපියල් බිලියන 16ක බදු මුලක් අහිමි කිරීමක් සම්බන්ධයෙන් ප්‍රෙස්ටේජ් ඔටෝ මොබයිල් සමාගමට එරෙහිව නැවත විධිමත් විමර්ශනයක් සිදුකිරීමට අභියාචනාධිකරණය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදුන්නේය.

පෙර කී සමාගම විසින් 2011 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලය අතරතුරදී බී.එම්.ඩබ්ලිව්. වාහන 1728ක් මෙරටට ආනයනය කර ඇති බවත් තීරුබදු රහිත බලපත්‍ර යටතේ සිදුකර තිබූ එම වාහන ආනයනය කිරීම නිසා රජයට රුපියල් බිලියන 16ක බදු මුදලක් අහිමි වී ඇති බවත් 2016 වසරේදී නිකුත් වූ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා රේගුව විමර්ශනයක් සිදුකර එක් වාහනයකට රුපියල් ලක්ෂය බැගින් වූ දඩ අයකර ගැනීමට පියවර ගෙන තිබිණි.

අනතුරුව ශ්‍රී ලංකා රේගුව විසින් කරන ලද ඉල්ලීමක් අනුව ජර්මානු රේගු බලධාරීන් විසින් එකී වාහන ආනයනයට අදාළ වාර්තාවක් ශ්‍රී ලංකා රේගුවට ලබාදී තිබූ අතර එකී වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා රේගුව ඒ සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කොට තිබිණි.

එකී විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව පෙර කී වාහන ආනයනය කළ සමාගම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් ලබාගෙන තිබිණි. ඉන් අනතුරුව එම පෙත්සමේ පළමුවන වගඋත්තරකරු ලෙස නම් කොට තිබූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා හා නවවැනි වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කළ කරුණු දැක්වීම් හා ඉදිරිපත් කළ ලේඛන සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂි මහේන්ද්‍රන් යන විනිසුරු මඬුල්ල අභියාචනාධිකරණය විසින් පෙර නිකුත් කර තිබූ නියෝග බලරහිත කර ගාස්තුවට යටත්ව පෙත්සම්කාර සමාගමේ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට ද නියෝග කළේය.

රේගු ආඥා පනත යටතේ වාහන ආනයනය කිරීමේදී යම්කිසි බලපත්‍රධාරි සමාගමක් හෝ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට වංචනික අයුරින් කටයුතු කර ඇති බව පසුව හෝ අනාවරණය වනනේ නම් නැවත විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට හා සුදුසු ලෙස නීතිමය පියවර ගැනීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නෛතික බලයක් ඇති බවත් පෙත්සම්කාර සමාගම කටයුතු කර ඇත්තේ වංචනික අයුරින් බව ඉදිරිපත් වූ සාක්ෂි අනුව පැහැදිලි වන බවත් අතිරේක සොලසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

අධිනීතිඥ ජයකොඩි මහතා සමග අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා නීතිපතිවරයා හා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment