ලංකා බැංකුවේ ATM හා CRM ජාලය හරහා අවුරුදු සමයේදී රුපියල් බිලියන 503කට අධික ගනුදෙනු සිදු කෙරෙයි

47

ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව, ලංකා බැංකුවේ ATM හා CRM ජාලය හරහා පසු ගිය අවුරුදු සමයේදී රුපියල් බිලියන 185කට වැඩි වටිනාකමකින් යුත් ගනුදෙනු සිදුකර ඇති බව වාර්තා වේ.

මෙය, පැය 24 පුරා උසස් බැංකු සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාපිත, ලංකා බැංකුවේ ATM සහ CRM ජාලය කෙරෙහි ගනුදෙනුකරුවන් තබා ඇති විශ්වාසය පිළිබිඹු කරන හොඳම සාක්ෂියක් ලෙස දැක්විය හැකිය. වර්තමානය වන විට ලංකා බැංකුව මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපනය කොට ඇති පූර්ණ ක්‍රියාකාරී ATM සහ CRM යන්ත්‍ර සංඛ්‍යාව 1460 ඉක්මවන අතර, එමගින් ගනුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පහසුකම් සපයයි.

2024 අප්‍රේල් 1 වන දා සිට අප්‍රේල් 15 වන දා දක්වා කාල වකවානුව තුළ ලංකා බැංකුවේ ATM සහ CRM ජාලය හරහා සිදු කෙරී ඇති ගනුදෙනු ප්‍රමාණය මිලියන 9.7 ඉක්මවූ අතර, එහි වටිනාකම රුපියල් බිලියන 185.9 ඉක්මවීය. ඊට අමතර ව 2024 අප්‍රේල් 8 වැනිදා සිට අප්‍රේල් 11 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ, 653ක් වන දීප ව්‍යාප්ත ලංකා බැංකු ශාඛා ජාලය හරහා ගනුදෙනු මිලියන 0.82ක් සිදුකර ඇති අතර, එම ගනුදෙනුවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 318 ඉක්මවයි.

මේ පිළිබඳ ව අදහස් දක්වමින්, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා මහතා ප්‍රකාශ කළේ,

“මෙම අවුරුදු සමයේදී අපගේ ATM, CRM ජාලය සහ දිවයිනම ආවරණය කරමින් ස්ථාපිත ශාඛා ජාලය හරහා ගනුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි වීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා. ලංකා බැංකුව කෙරෙහි විශ්වාසයෙන් යුතු ව කටයුතු කරමින්, අඛණ්ඩ සේවා විශිෂ්ටත්වයක් උදෙසා වන අපගේ කැප වීම ඇගයීමට ලක් කිරීම ගැන සියලු‍ම ගනුදෙනුකරුවන්ට මාගේ කෘතඥතාව පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”‍ යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment