තහනම් නියෝගයට මාස 15යි ගුරු ප්‍රශ්නය ඉඩම් නඩුවක් ද – ඇමැති සුසිල්ගෙන් මැතිසබයේ දී සැර කතාවක්

83

ගුරුවරුන් විසිදෙදහසක් බඳවා ගැනීමට එරෙහිව ලබා දුන් තහනම් නියෝගය මාස 15ක් තිස්සේ ඉඩම් නඩු මෙන් ඇදගෙන යෑම විහිළුවක් බවත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව මෙන්ම තමන් නීතිඥයකු ලෙස ලජ්ජා වන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී ඊයේ (09දා) පැවසීය.

ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇමැතිවරයා මේ බව කී අතර එහිදී මෙසේද කීය.

පසුගිය කාලයේ තිබුණු ප්‍රශ්න නිසා ඒවායේ වින්දිතයන් බවට පත්වුණේ පාසල් දරුවන්. ඒ සියල්ලට ම වඩා අධිකරණයට ගිය පිරිස් අලුතින් ගුරුවරුන් 22000ක් බඳවාගැනීමට එරෙහිව තහනම් නියෝගයක් ගත්තා. ඒ තීන්දුවත් දීලා මාස 15යි. අපි පාර්ලිමේන්තුවක් විදිහට ලජ්ජා වෙන්න ඕනා වගේම මම නම් නීතිඥයකු විදිහටත් ලජ්ජා වෙනවා. විභාගයක් පවත්වන එක නවත්වලා, මම හිතන්නේ ලෝකයේ එකම රට මේක වෙන්න ඇති මාස 15ක් තිස්සේ තහනම් නියෝගය තිබෙන. අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. කිරිඇල්ල මන්ත්‍රීතුමා කීපවිටත් යෝජනා කළා මේකට ගන්න ඕනා ප්‍රතිකර්මය. ඒත් අපි ඉවසගෙන ඉන්නවා තවම. මෙහෙම කොච්චර ඉන්නද. අපි මෙතන කියන ඒවා පත්තරේ තියෙනවා. මම දන්නෑ පත්තර බලන්නේ නැද්ද කියලා.

දැන් පළාත් නවයට ම විශ්‍රාමික ගුරුවරු ගන්න විභාගයක් තිබ්බා. ඒකට තහනම් නියෝගයක් ගත්තා මාස 06ක්. ඒක අයින් කරවාගෙන පත්වීම් වගයක් දුන්නා. දැන් හෙට ආයෙත් ඒකට අධිකරණයට යනවාලු. මේ ලක්ෂ 41ක අනාගතයත් එක්කයි මේ සෙල්ලම් කරන්නේ. 33දෙනෙක්ගේ පෙත්සම් නිසායි මේ සෙල්ලම වෙන්නේ. මේ විභාගයක් තියන්න යන්නේ උපාධියකට නොවෙයි සාමාන්‍ය බුද්ධි පරීක්ෂණයකටයි. හරි නම් සති දෙකෙන් ඉවර කරන්න ඕනා. හිතන් ඉන්නේ මේ ඉඩම් නඩු කියලා ද දන්නෑ. මේක විහිළුවක්. මේ විදිහට කව්රුහරි සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග තහනම් කරන්න කියලා උසාවි ගියොත් මොකද වෙන්නේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- තහනම් නියෝග කියන්නේ මාස ගණන් ඇදගෙන යන ඒවා නොවෙයි. සතියයි දෙකයි දෙන්නේ. මෙහෙම කල් ගියහම සියලුම පත්වීම් ලබා දීම ප්‍රමාද වෙනවා. දැන් සමහර නඩු තීන්දු තිබෙනවා අවුරුදු ගණන් යනවා. තීන්දු දෙන්නෑ. ඒ විනිසුරුවන් විශ්‍රාම ගියහම අලුත් විනිසුරුවරයෙක් එනවා. ඒ විනිසුරුට ඒවා කියවන්න තව මාස ගණනක් යනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment