හන්තානට පායන හඳ නෙළුම් පොකුණේදී

110

ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් වසරකට ආසන්න කාලයක නිහැඬියාවකින් පසු යළිත් වේදිකාවට ගෙන එන ‘හන්තානට පායන හඳ’ ජනප්‍රිය ප්‍රසංගය (අනිද්දා) 12 වැනිදා සවස 6.30ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාගත කෙරේ. මහින්ද බණ්ඩාර සංගීතවත් කරන මෙම ප්‍රසංගයේ ගායනයෙන් සහාය වන්නේ උමාරියා සිංහවංශ සහ අමරසිරි පීරිස්ගේම දියණිය වන ජනනි පිරිස් ය.

පසුගිය කාලපරිච්ඡේදයේ සැත්කමකට භාජනය කිරීමෙන් පසු කලක් අමරසිරි පීරිස් වේදිකාවෙන් බැහැරව සිටියේය. එම නිහැඬියාවෙන් පසු ඔහුගේම ප්‍රසංගයක් යළි ජනගත කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ‘හන්තානට පායන හඳ’ ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේදී රංඟ ගත වන්නේද ප්‍රථම වරටය. මෙය නවමු අංග රැසකින් සමන්විත ආකර්ෂණීය ප්‍රසංගයක් ලෙස සංවිධාන කර ඇත.

අතිශය ජනප්‍රිය ගීතාවලියක් සමග ඉදිරිපත් කෙරෙන මෙම ප්‍රසංගයේ පූරකවරුන් ලෙස සමන් අතාවුදහෙට්ටි සහ නිලාර් එන්. කාසිම් කටයුතු කරති. ඔවුන් දෙදෙනාම අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගීත ගණනාවකට ගීත රචනයෙන් දායක වී තිබීමද විශේෂත්වයකි. මෙම ප්‍රසංගයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන්නේ දිවයින සහ දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පත්ය.

මම මුල් වතාවට තමයි නෙළුම් පොකුණ රඟහලේදී ප්‍රසංගයක් පවත්වන්නේ. ඒක මට මහඟු අවස්ථාවක්. ප්‍රවීණ ගී පද රචක නිලාර් එන්. කාසිම් මේ වැඩේට මුලපිරුවේ. මේ ප්‍රසංගයට මගේ දුව ජනනි වගේම උමාරියා සිංහවංශ ගායනයෙන් සහභාගි වෙනවා. මීට පෙරත් මම උමාරියා සමග ප්‍රසංග පවත්වලා තියෙනවා. ඉදිරියේදී ඇයත් සමග ප්‍රසංග කිහිපයකට සහභාගිවීමට නියමිතයි. මම උමාරියා සමග පවත්වපු ප්‍රසංගවලදී ගොඩක් වෙලාවට රසික රසිකාවියෝ ඉල්ලනවා ඇය අමරදේවයන් සමග කළ ගීතය ගායනා කරන්න කියලා. මමත් ඒ ගීතය ගායනා කරන්න හරි ආසාවෙන්. ඉතිං මම මේ ප්‍රසංගයේදීත් උමාරියා සමග ඒ ගීතය ගායනා කරනවා.

සරස වසන්තය මගේ දුවත් සමග මේ ප්‍රසංගයේදී ගායනා කරනවා. ඒ වගේම සමන් සුගන්දනී කියන ගීතයත් ගායනා කරනවා. මම හිතනවා මේක නරඹන්න එන අයට නවමු අත්දැකීමක් ලබන්න පුළුවන් වෙයි කියලා. අමරසිරි පීරිස් දිවයින සිනමා කලා සංග්‍රහය වෙත පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment