බෙදාහැරීම් මණ්ඩල රැසයි, සිනමා ශාලා අතළොස්සයි

සිනමා නිර්මාණයක් තිරගත වූ පසු සිනමාහල්වල දර්ශන වාරවලදී හවුස් ෆුල් කියන බෝඩ් එල්ලෙනවා කියන එක එහි අධ්‍යක්ෂවරයාට සහ නිෂ්පාදකවරයාට මොනතරම් නම් සතුට දනවන කාරණාවක්ද? ඉතිං පසුගිය දිනවල තිරගත කිරීම ආරම්භ කළ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු සිනමා නිර්මාණය ද මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගත වෙනවා. බොහෝ සිනමාහල්වල දර්ශන වාර හවුස් ෆුල්. සිංහබාහු සිනමා නිර්මාණයට නිෂ්පාදනයෙන් දායක වුණු ගාමිණී වික්‍රමසිංහ සහ රේණුකා බාලසූරියට මේ කාරණාව කොතරම් සතුට දනවන කාරණාවක් වනවා ඇතිද? ඉතිං සිනමා කර්මාන්තයේ පූර්ණ කාලීනව නිරත වී සිටින රේණුකා බාලසූරිය සමග අපි කතාබහක නිරත වූයේ වර්තමානයේ සිනමා නිර්මාණ තිරගත කිරීමේදී මුහුණදෙන ගැටලු පිළිබඳව වගේම සිංහබාහු සිනමා නිර්මාණය ගැනය.
කිසිම චිත්‍රපටයකට සාධාරණ තිර කාලයක් ලැබෙන්නේ නෑ… - රේණුකා බාලසූරිය

සිංහබාහු චිත්‍රපටයේ බොහෝ දර්ශන වාර සඳහා සිනමාහල් ඉදිරියේ හවුස් ෆුල් කියන බෝඩ් එක එල්ලෙනවා. නිෂ්පාදිකාව විදිහට මොකද හිතෙන්නේ?

ඇත්තටම ලොකු සතුටක් තිබෙනවා. මොකද කර්මාන්තයට ඒක ලොකු තල්ලුවක්නේ. ඒකෙන් පෙන්වන තවත් කාරණාවක් තමයි ලංකාවේ ප්‍රේක්ෂකාගාරය වෙනස්වෙලා නැහැ කියන එක. සිනමාහල්වලට කැඳවා ගන්න පුළුවන් චිත්‍රපට හැදුනහම ප්‍රේක්ෂකාගාරය සිනමාහලට එනවානේ. තවත් දෙයක් තමයි තාක්ෂණික වශයෙන් දියුණුවෙච්ච සිනමාහල් පද්ධතියකුත් අපට තියෙනවානේ. මම හිතනවා ඒකත් බලපානවා කියලා.

සාමාන්‍යයෙන් චිත්‍රපටයක් මුදාහැරලා සති දෙකක් විතර යනවා පිකප් වෙන්න. ඒක තමයි ඉතිහාසයේ වෙච්ච කතාව. හැබැයි සිංහබාහු චිත්‍රපටය තිරගත කරපු පළමු දවසේ ඉඳලා සිනමාශාලාවලට ප්‍රේක්ෂක ගහනය වැඩිවුණා.

චිත්‍රපටය තිරගත වෙන්න කලින් විවිධ මතවාද ගොඩනැගෙමින් තිබුණා. අද වෙනකොට ඒ තත්ත්වය බිඳ දමමින් හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබිලා තියෙනවා නේද?

මෙහෙමයි. මතවාද කියන ඒවා තවමත් තියෙනවා. අනික කතා රචකයා සහ අධ්‍යක්ෂවරයාට මොකක් හෝ ඉලක්කයක් නැතිනම් සංකල්පයක් තිබුණා. අපි ඔක්කොම ඒක වටා ඒක සාර්ථක කරගන්න එකතුවුණු උදවියනේ. ඊට පසුව ඒක දකින කෙනාට තමන් කැමැති සහ තමන්ගේ අවබෝධය සහ රුචිකත්වය අනුව ඕනෑම මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට අපිට කියන්න බැහැ අපි හැදුවේ මේකයි, මෙයා හිතන්න ඕනෑත් මේකයි කියලා. එහෙම එකක් නැහැ. ඕනෑම කෙනෙක්ට තමන්ගේ සීමාවල් විවර කරගෙන තමන්ට ඕනෑ විදිහට විඳින්න සහ අදහස් දක්වන්න පුළුවන් නිදහස තියෙනවා.

අපි මොකක් හරි මතයක ඉඳලා නිර්මාණයක් කළා. ඒක දැන් ජනතාව අතරට මුදාහැරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ මතවාද විවිධ අදහස් විවිධ චෝදනා වගේම ප්‍රශංසා ඉදිරිපත් කරන්න ප්‍රේක්ෂකාගාරයට මුදාහැරලයි තියෙන්නේ. අපි ඕනෑ දෙයක් භාරගන්න සූදානම්. මට සතුටු එහෙම මතවාද එල්ල කරනවා කියන්නේ චිත්‍රපටය ජනගත වෙලා කියන එකනේ.

මේ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භයේ සිටම නිෂ්පාදිකාව විදිහට ඔබ මුහුණ දුන් අභියෝග ගැන කතා කළොත් ?

ඔව්. ඇත්තටම මගේ ප්‍රධාන නිෂ්පාදකවරයා ගාමිණී වික්‍රමසිංහ මහත්මයා. ඔහු තමයි විශාල වශයෙන් මේකට මුදල් වැය කළේ. මාත් ඉතිං විශාල කැපකිරීමක් සිදුකළා. එතැනදී අපි ලොකු ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මොකද අපි ලංකාවේ ඒ වගේ තත්ත්වයක් උදාවෙයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. සැලසුම් කරලා තිබුණ දින අනුව චිත්‍රපටයේ සියලුම වැඩ කටයුතු ජූලි මාසයේ අග තමයි අවසන් කරන්න තිබුණේ. ජූලි මාසයේ මුල වුණ අනතුරින් චිත්‍රපටය නවත්වලා චිත්‍රපටය පටන් ගත්තේ ඔක්තෝම්බර් මාසයේ අග. ඒ කාලයේ ලංකාවේ සමාජ, ආර්ථිකය කවදාවත් ජීවිතයේ ඉතිහාසයේ නොවන විපර්යාසයකට භාජනය වුණානේ. ආර්ටිස්ලාගේ පඩිනඩි හැරෙන්න අනෙක් සියලුම දේවල් සෑහෙන මට්ටමකින් වෙනස්වෙලා තිබුණා. ඒක හින්දා අපි බලාපොරොත්තු වුණාට වැඩිය ආර්ථික අපහසුතාවයන්ට මුහුණදෙන්න සිද්ධවුණා.

චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවාට වැඩිය අමාරුයි නේද තිරගත කිරීමේ අර්බුදයට මුහුණදීම?

ඒක නම් පුදුම අර්බුදයක් තමයි. ඇත්තටම අපි මේක තිරගත කරන්න මීට සෑහෙන කාලයකට කලින් තමයි බලාගෙන හිටියේ. ඒවා ඉතිං සියල්ලම අපේ පාලනයෙන් තොරයිනේ. චිත්‍රපටයක් හදනකොට මොනවා වුණත් අපේ පාලනයෙන් තියෙන්නේ. නමුත් හදලා ඉවර වුණාට පස්සේ ඒක තිරගත කිරීමට ආවට පස්සේ පුදුම අසරණකමක් දැනෙනවා. මොකද අපේ රටේ ඒකට හරියට සිස්ටම් එකක් නැතිකම හින්දා පුද්ගලික මතිමතාන්තරවලට අනුව දෝලනය වන තැනක් තමයි තිරගත කිරීම. ඒවාට නියාමනයක් හෝ හරි ක්‍රමවේදයක් නැහැ. ඒක මට පමණක් අදාළ කාරණාවක් නෙමෙයි. මේ රටේ චිත්‍රපට හදන හැම කෙනෙක්ටම තිරගත කිරීමේ ප්‍රශ්නයට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ප්‍රමාණවත් සිනමාශාලා පද්ධතියක් නොමැතිවීම. හැබැයි ඉතිං වුවමනාවටත් වැඩියෙන් බෙදාහැරීමේ මණ්ඩල තියෙනවා. බෙදාහැරීමේ මණ්ඩල රාශියයි. සිනමාශාලා අතළොස්සයි. එතකොට කිසිම චිත්‍රපටයකට සාධාරණ තිර කාලයක් හම්බවෙන්නේ නැහැ. ඒක හරිම ප්‍රශ්නයක්. එහෙම විය යුතු නැහැනේ. කර්මාන්තයක් හැටියට මේක පවතිනවා නම් තිරගත කිරීමත් ඒ හා සමානව තියෙන්න ඕනෑ. එහෙම නැතිනම් නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයට මොකක් හරි පාලනයක් තියෙන්න ඕනෑ. ඔය දෙකෙන් එකක් වෙන්න ඕනෑ. නැතිනම් හුඟාක් චිත්‍රපට නිෂ්පාදන වෙනවා. ඊට පස්සේ චිත්‍රපට පෙන්වන්න ගියහම මරාගන්නවා. මණ්ඩලත් මරාගන්නවා. හදපු මිනිස්සුත් මරාගන්නවා. ඒකට මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ. මේ හැමකෙනෙක්ම ඇත්තටම අවසානයට රුපියල් සතත් එක්කනේ හැප්පෙන්නේ. මේ මොන නිර්මාණය වුණත් හදලා වෙළෙඳපොළට දැම්මාට පස්සේ ඒක වෙළෙඳ භාණ්ඩයක් පමණයි. එතැනදී තමයි තරඟයට වැටෙන්නේ. දැන් සාමාන්‍ය වෙළෙඳ භාණ්ඩයක් හදලා වෙළෙඳපොළට දානවා හා සමානයි චිත්‍රපටයක් හදලා මුදාහැරියාට පස්සේ. අනෙක් භාණ්ඩ හා සේවා මෙන්ම ඒකත් වෙළෙඳපොළේ තරඟ කරන්න වෙනවා. ඉතිං අන්න එතැනදී නොයෙක් නොයෙක් ප්‍රශ්නවලට මුහුණදෙනවා. චිත්‍රපට හදන මිනිස්සු වගේම නිෂ්පාදකවරුත් මුහුණදෙනවා. ඒ තරගයට වැටුණට පස්සේ අහන්න බැරි අපවාද අවලාද ගොඩක් අහන්න සිද්ධවෙනවා. නමුත් අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපේ පාරිභෝගිකයා වෙන්නේ ප්‍රේක්ෂකයානේ. එතකොට අවසාන වශයෙන් මේක පාරිභෝගිකයා මත යැපෙන කේෂ්ත්‍රයක්. එතකොට මේ වෙළෙඳපොළ තරඟකාරීත්වයට මුහුණදෙන්න සිද්ධවෙනවා. එතැනට ආවට පස්සේ නිර්මාණකරුවන්ට හෝ නිෂ්පාදකවරුන්ට තියෙන ප්‍රශස්තිය හෝ මොකවත් නැහැ. අපවාද සහ අවලාද තමයි හම්බවෙන්නේ. මොකද චිත්‍රපටය හොඳට බලනකොටත් මඩගහන පිරිසක් ඉන්නවානේ. තරඟකාරීත්වයට මුහුණදීල තමයි අපි කාටවුණත් ඔළුව උස්සන්න සිද්ධවෙන්නේ.

ඡායාරූපය: උපුල් නිශාන්ත

දිනේෂ් විතාන

කිසිම චිත්‍රපටයකට සාධාරණ තිර කාලයක් ලැබෙන්නේ නෑ… - රේණුකා බාලසූරිය
advertistmentadvertistment
advertistmentadvertistment