හමුදා නිලධාරීන් අතේ ටී 56ට අමතරව ලී පොලු‍ද තිබුණා – උද්ඝෝෂකයින්ගෙන් කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වූයේ නෑ

362

ගම්පහ ඒඑස්පී එස්.කේ. උපාලි සාක්කි දෙමින් කියයි
රතුපස්වල නඩුව

උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස අසලට යුධ හමුදා කණ්ඩායමක් සමඟ අරුණ දේශප්‍රිය ගුණවර්ධන මහතා පැමිණියා. එම හමුදා නිලධාරීන් අතර කොමිෂන් ලත් නිලධාරීන් හිටියාද කියා මට මතක නෑ. එම හමුදා නිලධාරීන් අතර ටී 56 තුවක්කුවලට අමතරව ලී පොලු‍ද තිබුණා…යැයි පිරිසුදු පානීය ජලය ඉල්ලා ගම්පහ, රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේදී සිදුකළ උද්ඝෝෂණයට යුද හමුදාව පහරදී, වෙඩි තබා තිදෙනකු මියගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයේදී සාක්ෂි දෙමින් එවකට වැලිවේරිය පොලිසියේ ස්ථානාධිපතිව සිටි දැනට ගම්පහ සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කරන එස්.කේ. උපාලි මහතා පැවසීය.

මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතාගේ සභාපතිත්වයෙන් නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගම්පහ මහාධිකරණයේදී ඉකුත් 09දා එම නඩුව විභාගයට ගැනුණි.

පිරිසුදු පානීය ජලය ඉල්ලා ගම්පහ රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේදී 2013 වසරේ අගෝස්තු මස පළවෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී සිදුකළ උද්ඝෝෂණයේදී උද්ඝෝෂණකරුවන්ට වෙඩි තබා සහ පහරදී ඝාතනය කිරීම, මිනීමැරීමට තැත් කිරීම ඇතුළු අධි චෝදනා 94ක් යටතේ යුදහමුදාවේ හිටපු බි්‍රගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන, හිටපු මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, හිටපු සැරයන් ලලිත් ග්‍රේ සහ කෝප්‍රල් ජේ.එම්. තිලකරත්න යන විත්තිකරුවන් සිවු දෙනාට විරුද්ධව නීතිපති අධිචෝදනා ගොනු කර තිබේ.

රජයේ අධිනීතිඥ පද්මාල් වීරසිංහද සිල්වා මහතා සමග ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා පැමිණිල්ල මෙහෙයවූහ.

සහකාර පොලිස් අධිකාරි එස්.කේ. උපාලි මහතා සාක්ෂි දෙමින් වැඩිදුරටත් මෙසේද පැවසීය.

2013 වර්ෂයේ අගෝස්තු මස 01දා මා වැලිවේරිය පොලිසියේ ස්ථානාධිපති ලෙස සේවය කළා. වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පිහිටි රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් නිසා රතුපස්වල අවට ගම්මානවල ඇති ළිංවල ජලය බීමට නුසුදුසු තත්වයකින් පවතින බවට ගම්වාසීන් අතර මතයක් තිබුණා. ළිංවල ජලය බීමට නුසුදුසුයි යන ආරංචිය පැතිරයෑමත් සමඟම ජනතාව කලබල වුණා. මහර සහ දොම්පේ යන ප්‍රාදේශීය සභාවලින් රතුපස්වල අවට ජනතාවට ජලය බෙදා දුන්නා. ප්‍රශ්නගත වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ බලධාරීන් සහ

ගම්වැසියන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍යවරුන්, දේශපාලන අධිකාරිය එක්ව පැවැත්වූ සාකච්ඡා කිහිපයකටම මා සහභාගි වී තිබෙනවා. එකම සාකච්ඡාවකටවත් සාර්ථක විසඳුම් ලැබුනේ නැහැ. 2013 වර්ෂයේ අගෝස්තු මස 01දා රතුපස්වල අවට ගම්වාසීන් පිරිසක් ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් පැවත්වීම සඳහා කොළඹ ගියා. එදිනම උදේ (01දා) පිරිසක් වැලිවේරිය නගරයේ සාමකාමී උද්ඝෝෂණයක නිරතවුණා.මම ඒ උද්ඝෝෂකයන් සමඟ සාකච්ඡා කළා. කලහකාරී ලෙස හැසිරෙන්නේ නැති බවට ඔවුන් පොරොන්දු වුණා. සවස දෙක, තුන විතර වන විට වැලිවේරියේ නගරයේ හතරමං හන්දියට 3000ක පමණ ජනතාවක් එකතුවී සිටියා. මාර්ග අවහිර වුණා. ගමනාගමනයට බාධා ඇති වුණා.

මහා මාර්ගයේ ටකරන් හට් එකක් ගසා තිබුණා. මිනී පෙට්ටියක් සහ මල්වඩමක් තබා තිබුණා. ජනතාවට අමතරව ස්වාමීන් වහන්සේලා දෙනමක් එම උද්ඝෝෂකයන් අතරට වැඩම කර හිටියා. ආරක්ෂක ලේකම් සමඟ සාකච්ඡාවට ගිය ගම්වාසීන් පැමිණෙන තෙක් උද්ඝෝෂකයන් ඉවත් නොවන බවට ඔවුන් මට කීවා. සවස පහට පමණ යුධ හමුදා කණ්ඩායමක් ආවා. යුදහමුදා නිලධාරීන් පැමිණි වාහන වැලිවේරිය පොලිසිය ආසන්නයේ නවතා තිබුණා. උද්ඝෝෂණය උදේ ආරම්භක අවස්ථාවේ සිට මා එම ස්ථානයේ රැඳී සිටියා.මාර්ග අවහිර හැර කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වූයේ නෑ. පැමිණි හමුදා කණ්ඩායමේ 100 ක් පමණ නිලධාරීන් හිටියා. එම හමුදා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ලෙස බි්‍රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන කටයුතු කළා.

බි්‍රගේඩියර්වරයා කවුද ඕඅයිසී කියා ඇසුවා. මම කිව්වා මමයි ඕඅයිසී කියා. බි්‍රගේඩියර්වරයා මට කිව්වා ආරක්ෂක ලේකම්වරයාගේ පණිවුඩයක් අරගෙන ආවේ,

උද්ඝෝෂණය නවතාලීමට ඔවුන් එකඟ වුණා. උද්ඝෝෂණයේ යෙදී සිටි මිනිස්සු යන්න ගියා. ටකරං හට් එක ගැලෙව්වා. මිනී පෙට්ටිය සහ මල්වඩම අයින් කළා.සෙනග විසිර යන පැත්තට බිගේඩියර්වරයාද ගමන් කළා.මිනිස්සු හූ කියන්න පටන් ගත්තා. ඉවත් වෙමින් සිටි මිනිස්සු අතරින් ගල් ප්‍රහාරයක් අපට එල්ල වුණා. ගල් පහරක් වැදී මාව බිම ඇද වැටුණා. මා

නැගිටලා පොලිසිය පැත්තට යනවිට මගේ වම් කකුලට මොකක් හරි වැදුනා. ගල් පහරක් හෝ වැලි බෝතල් පහරක් විය යුතුයි. කකුල කැපී සපත්තුවට ලේ පිරෙන්න ගත්තා. පොලිස් නිලධාරීන් දෙදෙනකු මාව වත්තම් කරගෙන පොලිසියට රැගෙන යන විට වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණා.උද්ඝෝෂණයේ යෙදී සිටි ජනතාව සිටි පැත්තෙන් වෙඩි ශබ්ද ඇසුණේ. තුවාල ලබා සිටි මාව කොළඹ ජාතික රෝහලට රැගෙන ගියා.උද්ඝෝෂකයන් කලහාකාරී ලෙස හැසුරුණේ නැති හෙයින් යුදහමුදා ආරක්ෂාව ඉල්ලා තිබුණේ නැහැ. යුද හමුදාව සිදුකළ වෙඩි තැබීම සහ පහරදීම හේතුවෙන් තිදෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණා.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment