නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ කියන්නේ බොරු අක්ෂි ශල්‍යකර්මවලින් 70ක් පමණ අන්ධ වෙලා – සර්ව ආගමික ප්‍රධානීහු කියති

642

චෝදනාව පිළිගත නොහැකියි – රෝහල් අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනෙවිරත්න

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙන් සිදුකළ අක්ෂි ශල්‍යකර්මවලින් මුළුමනින්ම අන්දභාවයට පත් වූවන් 10ක් නෙවෙයි 70කට ආසන්නයි රෝහල් අධ්‍යක්ෂකවරයා කියන්නේ බොරු කතාවක් බව නුවරඑළිය දිස්ත්‍රික් සර්ව ආගමික නායකවරුන්ගේ එකමුතුව වන අන්තර් ආගමික කවයේ සර්ව ආගමික ප්‍රධානීහු පැවසීය.

සර්ව ආගමික නායකයන් ඒ බැව් කියා සිටියේ ඊයේ (17 දා) දින නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිටදී මාධ්‍යට අදහස් දක්වමිනි. ශාස්ත්‍රපති ගුරු උපදේශක පූජ්‍ය බෝගොඩ සුමේදාලංකාර හිමි, ආචාර්ය බ්‍රම්ම ශ්‍රී නන්දකුමාර් කුරුක්කල්, මොහොමඩ් අන්වර් අස්ලම් ඉර්ෂාදි මවුලවි, ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන පූජක

දේවගැති හසිත කුමාර ඇතුළු පූජකවරුන් හා අන්තර් ආගමික කවයේ සාමාජික එම්. අයි. එම්. ඉම්තියාස් මෞලවි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. වැඩිදුර අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික නායකවරුන්ගේ ප්‍රධානීන් කියා සිටියේ අප්‍රේල් මාසය තුළ සැත්කම්වලින් පසු බෙහෙත්වලින් ඇතිවූ සංකූලතා නිසා රෝගීන් 10-11 මෙම ප්‍රශ්නයට මුහුණපෑවායි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියද එය මුළුමනින්ම බොරුවක් අපට ලැබුණු තොරතුරු අනුව එම ප්‍රමාණය හැටක් හැත්තෑවක් වෙන බවය. රෝහල් අධ්‍යක්ෂවරයා තොරතුරු සඟවා මාධ්‍යයට ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණක් බවද කීය. ඇතැම් රෝගීන් නැවත රෝහලට එන්න බය වෙලා තමන්ගේ නිවෙස්වලම දුක දරාගෙනසිටිනවා. තවත් ඇතැම් රෝගීන් රෝහල වෙත පැමිණිය ද ඔවුන්ට මාස තුනකින් මාස හයකින් වගේ කාලයකින් රෝහලට පැමිණෙන්න කියා උපදෙස් ලබා දී රෝහලින් පිට කර යවා තිබෙනවා, එම රෝගීන් හිතාගෙන ඇති මාස දෙකකින් තුනකින් අපිට හරියයි කියලා ඒත් ඇත්තටම ඔවුන්ගේ ඇස් අන්ධ වෙලා කියලා ඔවුන් දැන්නේ නෑ. රෝහලෙන් ලබා දුන් තොරතුරු අනුව ජනාධිපතිතුමන් විශේෂ කමිටුවක් පිහිටුවලා ඒ දහ දෙනාට වන්දි මුදල් ලබා දෙන්න සූදානම් වෙනවා. නමුත් එයට කලින් අපි මුලින්ම කළ යුත්තේ මේ සංකූලතාවලින් අගතියට ලක් වූ මුළු රෝගීන් ප්‍රමාණය සොයා ගැනීමයි. ඒ සඳහා විශේෂ දුරකථන අංකයක් හෝ හඳුන්වා දී ඒ අයව සම්බන්ධ කරගතයි.

ආගමික නායකවරුන් ගෙන් එල්ල වූ චෝදනාව පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂක මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ ආගමික නායකයන් සිදු කරන චෝදනාව පිළිගත නොහැකි අතර අප්‍රේල් පස්වන දින සැත්කම් 34ක් පමණක් සිදුකළ බවත් එදින සැත්කම් සිදුකළ අයට පමණක් දැනට විසබීජ අඩංගු යැයි අනාවරණය වූ බෙහෙත අක්ෂි වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබුනු බවත්ය.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment