ඩයනාට රටින් පිටවීම තහනම්

107

ඇමැති බලය නිසා විමර්ශන නිලධාරීන් විමර්ශනවලට එදා බිය වුණා – පැමිණිල්ලේ නීතිඥවරු

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට පෙරේදා (08දා) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබූ ඩයනා ගමගේ මහත්මිය විදේශ ගතවීම වළක්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (9දා) නියෝගයක් නිකුත් කළේය.

ව්‍යාජ තොරතුරු ආගමන විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමෙන් ආගමන හා විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි චෝදනා කරමින් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විමර්ශනයක් සිදුකරනා බැවින් එකී විමර්ශන මඟහැර අධිකරණය හමුවේ පෙනී නොසිටීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන්නේ යැයි පෙන්වා දුන් ප්‍රධාන විනිසුරුවරයා එම නියෝගය කළේය.

එම නියෝගය ආගමන විගමන පාලකවරයා බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු බලධාරීන් වෙත දුරකථන මාර්ගයෙන් හා ෆැක්ස් මාර්ගයෙන් වහාම යැවීමට පියවර ගන්නා ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

මේ වනවිට සිදුකර ඇති විමර්ශන අනුව ඩයනා ගමගේ මහත්මිය එම විමර්ශනවල සැකකාරියක ලෙස නම් කළ යුතුව ඇතත් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එලෙස කර නොමැති බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන්නේය. නඩුවේ සැකකාරියක ලෙස නම් කිරීමේ ප්‍රබල හැකියාවක් පවතින අවස්ථාවක විමර්ශන නිලධාරීන් එලෙස කටයුතු නොකිරීම නිසා ඩයනා ගමගේ මහත්මිය ඇය සතුව ඇතැයි කියන බි්‍රතාන්‍ය ගමන් බලපත්‍රය, රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය හෝ සාමාන්‍ය ගමන් බලපත්‍රය උපයෝගි කරගනිමින් විදේශ ගතවීමේ අවදානම පවතින බව කියමින් අගතියට පත් පාර්ශ්වය හා ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ ඕෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆිල් පාරිස් මහතා ඇතුළු නීතිඥවරු අධිකරණයට පැවසූහ.

ඩයනා ගමගේ මහත්මිය අමාත්‍යවරියක ලෙස කටයුතු කිරීම නිසා ඇය සතු දේශපාලන බලය, ධන බලය හෝ වෙනත් බලපෑමක් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් බියට පත්ව නිසි ලෙස විමර්ශන සිදුකර නොමැති බව ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ තුසිත ගුණසේකර මහතාගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ අතුල රණගල, රජිත ලක්මාල් හා රුචිර දේවප්‍රිය යන නීතිඥවරු අධිකරණයට පැවසූහ.

එම නඩුව ලබන ජූලි 11 වැනිදා යළි කැඳවීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වැඩිදුරටත් නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment