කුලහීන කත ටැංකියෙන් වතුර බිව්වැයි කිපී ටැංකිය හිස් කර ගව මුත්‍රාවලින් සෝදලා

793

වෙනස්කම් කිරීමේ වෝදනාවට කාන්තාවට නඩුත් වැටේ

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් ඇසෙන කතාවක්

කුල භේදය මුල් බැස ගත් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ගම්මානයක පිහිටි පොදු ජල ටැංකියකින් පහත් යැයි සම්මත ‘දාලිත්’ කුලයට අයත් කාන්තාවක ජලය පානය කළ බව වාර්තා වීමත් සමගම එම ගම්මානයේ සිටින උසස් යැයි සම්මත කුලයට අයත් පුද්ගලයන් එම ජල ටැංකියේ තිබූ ජලය සම්පූර්ණයෙන් ඉවත් කර ගව මූත්‍රාවලින් එම ටැංකිය ශුද්ධ පවිත්‍ර කිරීමේ පුවතක් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මෙම සිද්ධිය වී ඇත්තේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ චමාරාජනාගාර් දිස්ත්‍රික්කයේ හෙග්ගොටාරා ගම්මානයේය. ඉකුත් 18 වැනිදා එම ගම්මානයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වූ දාලිත් කුලයට අයත් කාන්තාවක ජල ටැංකියේ ජල කරාමයෙන් ජලය පානය කර ඇති බව සැලවීමත් සමගම ගම්මානයේ වෙසෙන උසස් කුලයට අයත් යැයි පැවසෙන පුද්ගලයන් එම ජල ටැංකියේ තිබූ ජලය සම්පූර්ණයෙන් හිස් කර ගව මුත්‍රා යොදා ටැංකිය පිරිසිදු කර ඇති බව වාර්තා වී ඇත.

ඇතැම් කුලවත් හින්දු ජාතිකයෝ ගව මුත්‍රා පිරිසිදු බවේ සංකේතයක් ලෙස සලකති. කෙසේ වුවද සිද්ධිය පිළිබඳව ජනමාධ්‍යයට අදහස් දක්වා ඇති එම ගම්මානයේ නීති කටයුතුවලට සම්බන්ධ නිලධාරියකු පවසා ඇත්තේ දාලිත් කුලයට අයත් කාන්තාව අදාළ ජල ටැංකියෙන් ජලය පානය කරනු කිසිවකු දැක නැති බවත් එහෙත් ඇය ජලය පානය කර ඇති බව සැලවීමත් සමගම ජල ටැංකියේ ජලය හිස් කර එය ශුද්ධ පවිත්‍ර කිරීමේ පුවත නිවැරදි බවත්ය. ජල ටැංකිය ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ගවමුත්‍රා භාවිත කළ බවට පළ වන වාර්තා තමාට තහවුරු කිරීම අපහසු බවද ඔහු සඳහන් කර තිබේ.

ජල ටැංකියෙන් ජලය පානය කර ඇති දාලිත් කාන්තාව සිටින ප්‍රදේශය හඳුනාගෙන නොමැති බව පෙන්වා දෙන

ගම්මානයේ පරිපාලන නිලධාරීහු ඇය පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා වූ පසු එම කාන්තාවට එරෙහිව වෙනස්කම් කිරීමේ චෝදනාව යටතේ චෝදනා පත්‍රයක් ගොනු කරන බව පවසා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පියවර ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ පරිපාලන නිලධාරියාට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන බවද එම නිලධාරීහු සඳහන් කරති.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment