කතා සීමා කිරීමට එරෙහිව විපක්‍ෂයේ විරෝධය මැද දේශීය ණය යොජනාව වැඩි ඡන්ද 60කින් සම්මත වේ

148

පක්‍ෂව 122යි – විරුද්ධව 62යි

මන්ත්‍රීන් 40ක් සබාගැබේ නෑ

අලි සබ්රි රහීමුත් පක්‍ෂව ඡන්දය දෙයි

ආණ්ඩුව විසින් ගෙන එන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී පෙරේදා (01දා) පස්වරුවේ වැඩි ඡන්ද 60කින් සංශෝධන සහිතව සම්මත කෙරිණ. ඒ අනුව මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 62ක් පමණි. එහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ආණ්ඩුවේ මෙම යෝජනාව සම්මත කිරීමෙන් පසුව මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පූර්ණ බලය මුදල් ඇමැතිවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වනු ඇත.

මෙම යෝජනාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු බහුතරයක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙරේදා පෙරවරුවේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම යෝජනාව මුදල් කාරක සභාව වෙත ඉදිරිපත් වූ යෝජනාවට වඩා වෙනස් එකක් බැවින් විපක්ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඊට විරෝධතා දැක්වූහ. එම නිසා සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් සංශෝධනය කරන ලද යෝජනාවක් සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළ විවාදය ආරම්භ කෙරිණ. විවාදය අවසාන භාගයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට තවත් කාලය අවශ්‍ය බව කියමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ සඳහා අතිරේක කාලයක් ඉල්ලා සිටියද ඊට කථානායකවරයාගේ අවසරය හිමි වූවේ නැත. අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන් බවට චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් රාත්‍රී 7.30 ට විවාදය අවසන් නොකොට එය රාත්‍රී 9.30 දක්වා සිදු කළ යුතු යැයි කියමින් අසුන්වලින් නැගිට විරෝධතාවක නිරත වීම නිසා සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පසුව යෝජනාවට අවශ්‍ය සංශෝධන සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් සිදු කරනු ලැබීය. එහිදී ‘කැතවැඩ කරන්න එපා. කථානායකතුමා බලු වැඩ කරන්න එපා. කථානායක බත් ගොට්ටෙක් ’ වැනි වදන් කියමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරු කෑගැසූහ. “තව කතා පහක් තියෙනවා. බලු වැඩ කරන්න එපා, කැත වැඩ කරන්න එපා” යැයි සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය. පාර්ලිමේන්තු මහ ලේකම් සහ නියෝජ්‍ය මහ ලේකම් විසින් විවාදය රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට පොරොන්දු වූ බවට මරික්කාර් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

එහෙත් එම උණුසුම මැද ඡන්ද විමසීම පැවැත්වීමට කථානායකවරයා කටයුතු කළේය. එම ඡන්ද විමසීම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සිදු කෙරිණ.

ඡන්දය විමසන අවස්ථාවේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, ධම්මික පෙරේරා, රොෂාන් රණසිංහ, ආර්. සම්බන්ධන්, අනුර කුමාර දිසානායක, හරීන් ප්‍රනාන්දු, සී. වී. විග්නේෂ්වරන් ඇතුළු මන්ත්‍රීවරු 40ක් සභා ගැබෙහි නොසිටියහ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට විරුද්ධව ඡන්දය භාවිත කළ හොරෙන් රත්‍රං ගෙන ඒම සම්බන්ධයෙන් වරදකරු වූ අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා යෝජනාවට පක්ෂව ආණ්ඩුවේ මතයට ඡන්දය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව කලින්ම පවසා තිබිණි. දුමින්ද දිසානායක, ප්‍රියංකර ජයරත්න, ඒ. එල්. එම්. ඒ. අතාවුල්ලා, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, වඩිවෙල් සුරේෂ්, ඒ. එච්. එම්. ෆවුසි, කුමාර වෙල්ගම, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීහුද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට පෙරේදා රාත්‍රීයේම ලිපියක් මගින් දැනුම් දී ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment