ගුවන් තැපෑලෙන් ලංකාවට ආ ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය

763

වසර දෙකකට පෙර එනම් 2020 වසරේ ජුනි මස කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඇමරිකාවෙන් සහ කැනඩාවෙන් ගුවන් මගින් පාර්සල් කිහිපයක් ලැබුණි. එම පාර්සල් වසර කිහිපයක් යනතුරු කිසිවකු විසින් භාර ගෙන නොතිබිණි. එම පාර්සල් එවා තිබුණේ කොළඹ, මාලඹේ සහ කඩුවෙල පදිංචි පුද්ගලයන්ගේ ලිපිනයන් වලටයි.

වසර ගණනක් එම පාර්සල් කිසිවෙකුත් විසින් භාර නොගැනීම නිසා රේගු මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීහු එම පාර්සල් විවෘත කර බැලීමට තීරණය කළහ. ඒ පසුගිය මස අට වැනිදාය. එම නිලධාරීහු එලෙස පාර්සල් පහ විවෘත කිරීමේදී කොකේන් සහ කුෂ් නමැති මත්ද්‍රව්‍ය එහි තිබී සොයාගැනීමට හැකිවූහ.

කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 1070 කුත්, කොකේන් ග‍්‍රෑම් 30 කුත් එම පාර්සල්වල තිබී ඇත. ඒ අනුව කොකේන්වල වටිනාකම එක් ලක්ෂ පනස්දහසක් වන අතර කුෂ් නමැති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටියකට ආසන්නය. පසුව රේගු මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීහු එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නිලධාරීන් වෙත බාරදුන් අතර ඔවුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරති.විදේශ රටවල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගුවන් තැපෑල මගින් මෙවැනි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය මෙරටට එවූ පළමු අවස්ථාව මෙය නොවේ. ඔවුන් කලක සිට මෙම ක‍්‍රියාව ඉතා සූක්ෂම ලෙස සිදු කරගෙන යති. ලෝකයේ මිල අධික වටිනාකමකින් යුත් මෙවැනි මත්ද්‍රව්‍ය එවීමේ එක් ක‍්‍රමයක් ලෙස ගුවන් තැපෑල ඔවුහු කලක සිට භාවිත කරති. මෙම මත්ද්‍රව්‍ය පාර්සල් එවනු ලැබූ කොළඹ, මාලඹේ සහ කඩුවෙල යන ලිපිනයන්හි පදිංචි පුද්ගලයන් පිළිබඳව සොයා බැලූවහොත් මෙම මත්ද්‍රව්‍ය කැනඩාවේ සහ ඇමරිකාවේ සිට මෙරටට එවන ලද ජාවාරම්කරුවන් පිළිබඳ විස්තර යම්තාක් දුරට හෝ සොයා ගැනීමට හැකිවේ. නිසැකවම මෙම පුද්ගලයන් හට මීට පෙරද ගුවන් මගින් එවන ලද මෙවැනි මත්ද්‍රව්‍ය පාර්සල් ලැබී තිබෙන්නට ඇත. මෙය ඔවුන් පළමු වරට සිදුකළ දෙයක් නම් වන්නට බැරිය.

පසුගිය කොවිඞ් සමයේ මෙරට තැපෑල තුළ ඇති වූ අවුල් වියවුල් සහගත තත්ත්වයන් මත මෙවර එම පුද්ගලයන් මෙම පාර්සල් භාරගැනීමට නොපැමිණියා විය හැකිය. එසේ නොමැතිනම් මෙම පාර්සල් කිසිදු කරදරයකින් තොරව ඔවුන් වෙත ලබා ගැනීමට උදව් උපකාර කරන රජයේ නිලධාරියෙක් හෝ පිරිසක් මෙවර සොයා ගැනීමට නොහැකි වන්නට ඇත. කෙසේ වෙතත් ලොව මිල අධිකම මත්ද්‍රව්‍ය තොගයක් මෙරට මධ්‍යම තැපැල් හුවමාරුව තුළ තිබී හමුවී ඇත. ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වා වහාම සැකකරුවන් අත්අඩංගුවට ගත යුතුව ඇත. එසේ නොමැති වුවහොත් කිසිදු බියක් සැකක් නොමැතිව මෙවැනි මත්ද්‍රව්‍ය තවත් ටොන් ගණන් විදෙස් රටවල සිට මෙරටට එවනු ඇත.

කොකේන් සහ කුෂ් නමැති මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිත කරනු ලබන්නේ මෙරට ඉහළ පන්තියේ තරුණ තරුණියන්ය. එනම් සමහර ව්‍යාපාරිකයන්ගේ, ප‍්‍රභූවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ දූ දරුවන්ය. රාත‍්‍රි සමාජ ශාලා වලට ඇබ්බැහි වූ තරුණ තරුණියන්ට මෙවැනි මත්ද්‍රව්‍ය ඉතා අධික මිල ගණන් යටතේ විකුණන වෙනම ජාවාරමක් ද තිබේ. එලෙස බලන කල පසුගිය දින හමු වූ මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ සහ ඇමරිකාවේ සිට මෙරට ගෙන්වා ඇත්තේ ඉහත සඳහන් කළ සමාජයේ ඉහළ පන්තියේ යැයි කියාගන්නා පිරිසකගේ සම්බන්ධතා මතද වන්නට පුළුවන.

වර්තමානය වනවිට මෙරට තුළ ලෝකයේ භයානකම සහ මිල අධික මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස් කාන්තා පිරිමි භේදයකින් තොරව වැඩිවෙමින් පවතී. ජාතියක් වශයෙන් ගත් කල එය මහත් ඛේදවාචකයකි. මෙවැනි දරුණු ගණයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පොලිස් අත්අඩංගුවට පත් වුවද රටේ පවතින නීතියට අනුව ඔවුන්ට ගසන්නේ ගංජාවලට ගසන දඩයම පමණි. එමනිසා ඔවුහු නීතියේ ලිහිලද උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට ගනිති.

ලොව භයානකම මත්ද්‍රව්‍ය වර්ග 7.

  1. රොකොඩිල් (Krokodil)

ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය හැටියට බොහෝ දෙනෙක් ක්‍රොකොඩිල් හඳුන්වනවා. මේකේ භයානකකම ගැන කියනවා නම් සොම්බි මත්ද්‍රව්‍ය හැටියටත් මේක හඳුන්වනවා. ඒ මොකද කියනවා නම් මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ටික කාලයකින්ම ශරීරයේ මස් දියවීමට පටන්ගන්න නිසා. මේ මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් රුසියාවේ තමයි පැතිර ගිහින් තියෙන්නේ. හිසේ කැක්කුම් සඳහා වන කෝඞ්න් නම් ඖෂධයක්, පෙට‍්‍රල්, ටිනර්, හයිඩ්‍රෝක්ලොරික් අම්ලය සහ ගිනි පෙට්ටිවල ඇති රතු පොස්පරස් ඇතුළු අති භයානක සංයෝගයකින් තමයි මේ විනාශකාරී මත්ද්‍රව්‍ය හදන්නේ.

2.හෙරොයින් (Heroin)

1898 අවුරුද්දෙදී මුල් වරට නිෂ්පාදනය කළ මේ හෙරොයින් ජර්මනියේ බේයර් ඖෂධ ආයතනය විසින් ක්ෂය රෝගයට ඖෂධයක් විදියට තමයි මේක හඳුන්වලා දීලා තියෙන්නේ. අවුරුදු සිය ගණනක් ගෙවිලා අද වෙනකොට මේ ඖෂධය ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යයක් හැටියට පත් වෙලා. ලෝකයේ මිලියන ගණනක් ඇබ්බැහි වෙලා තියෙන මේ මත්ද්‍රව්‍ය ඉතාම ඇබ්බැහිකාර මත්ද්‍රව්‍යයක් වෙලා ඉවරයි. එක් වරක් භාවිතයෙන් පවා මේකට ඇබ්බැහි වෙන්න පුළුවන්.

  1. ක‍්‍රිස්ටල් මෙත් (Crystal meth)

ශ‍්‍රී ලංකාවේ නම් මේකට කියන්නේ අයිස් කියලා. 1893 දී හොයාගනු ලැබූ මේ මෙත් ඇම්ෆෙටමින් දෙවැනි ලෝක යුද්ධ කාලයදී සොල්දාදුවන්ගේ ක‍්‍රියාශීලිත්වය වැඩි කරන්න උත්තේජකයක් හැටියට භාවිත කරලා තියෙනවා. ක‍්‍රිස්ටල් මෙත් ශරීරගත කරගැනීමෙන් පසුව තාවකලික සංතෝෂයක්, ආත්ම විශ්වාසයක්, ශක්තිමත් සහ ප‍්‍රබෝධයක් තාවකාලිකව ඇති වන බව තමයි සඳහන් වෙන්නේ. හැබැයි මේ තාවකාලික මායාවට මුළා වෙලා මිනිස් සිරුරට විශාල හානියක් කරන්න මේකට පුළුවන්.

  1. බාත් සෝල්ට්ස් (Bath salts)

බාත් සොල්ට්ස් කියන්නේ නාද්දි ජලය එක්ක මුසු කරලා අපේ සමේ පිරිසිදු බව වැඩි කරන්න ගන්න නිෂ්පාදනයක්. ඉතින් ඔයාලා බලනවා ඇති මේක කොහොමද ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය වෙන්නේ කියලා. මෙහෙමයි මේ නෑමට ගන්න බාත් සෝල්ට්ස් වලට සමාන පෙනුමක් විදිහටම මේ මත්ද්‍රව්‍ය නිපදවලා තියෙන්නේ.

5.කොකේන් (Cocaine)

ලංකාව ඇතුළෙදි හෙරොයින් තරම් භාවිත වෙන්නේ නැති වුණත් කොකේන් කියන නම නුපුරුදු වචනයක් නොමෙයි. දකුණු ඇමරිකාවට ආවේණික ශාකයක් වන කෝකා ශාකයෙන් නිෂ්පාදනය කරන මේ මත්ද්‍රව්‍ය ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යයක් වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. කොකේන් කියන්නේ ඉතාම ලේසියෙන් ඇබ්බැහි වෙන්න පුළුවන් මත්ද්‍රව්‍යයක්. කාලයක් දිගට කොකේන් පාවිච්චි කරන කොට පාවිච්චි කරන කොකේන් ප‍්‍රමාණය වැඩි කරන්න සිද්ද වෙනවා.

  1. වූන්ගා(Whoongo)

2010 අවුරුද්දෙදි තමයි මේ මත්ද්‍රව්‍ය ගැන මුල් වරට දකුණු අප‍්‍රිකාවෙන් වාර්තා වෙන්නේ. මේ මත්ද්‍රව්‍ය හදන්න මූලිකවම යොදාගන්නේ ඒඞ්ස් රෝගීන්ට ලබා දෙන Efavirenz නම් ඖෂධයට අමතරව මර්ජුවානා, මීයන්ට ලබා දෙන විෂ වර්ගයක් වගේම පිරිසිදුකාරක රසායනිකයකුත් මේ සදහා යොදා ගන්නවා.
7.ස්කෝපොලමින් (Scopolamine)

ස්කොපොලමින් කියන මත්ද්‍රව්‍යයේ භයානකකම නිසාම මේක යකාගේ හුස්ම (Devil’s breath) කියන නමිනුත් හඳුන්වනවා. දකුණු ඇමරිකාවේ බහුල වශයෙන් හමුවන නයිට්ශේඞ් වර්ගයේ ගස් වර්ගයකින් තමයි මේ ස්කොපොලමින් නිපදවන්නේ. අතීතයේ මුහුදු ගමන් වලදී වමනය ඔක්කාරය වගේ ලෙඩ වළක්වා ගන්න තමයි මේක ඖෂයක් විදියට භාවිත කරලා තියෙන්නේ. පස්සේ කාලෙක නාසීන් සහ සෝවියට්වරු විසින් තමන්ගේ සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීම්වලට මේක යොදා ගෙන තියෙනවා. මේ මත්ද්‍රව්‍ය ශරීරගත කිරීමෙන් පසුව සැකකරුවන්ගෙන් ඇත්ත දැන ගැනීමට පහසු වන බවයි සඳහන් වෙන්නේ. කෙනෙකුගේ මුහුණට මේ මත්කුඩ පිඹීමෙන් හරි වෙනත් විදියකට ශරීරගත කරාට පස්සේ ඒ පුද්ගලයාගේ මතක හා කල්පනා ශක්තිය නැති කරලා දත්ත වගේම ඒ මාර්ගයෙන් හොරකම්, මිනිමැරුම්, ලිංගික අපරාධ වගේ අපරාධවලට මේ පුද්ගලයා පහසුවෙන් යොදාගන්න පුළුවන්.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment