කෘතිම බුද්ධිය පිළිබඳ සංකල්පයේ ආරම්භය අදින් වසර හැටකටත් එපිටදී සිදු වූයේ ඉංග්‍රිසි ජාතික ගණිතඥයකු වූ “ඇලන් ටියුරින්” විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසින්ය. ඔහුගේ ප්‍රශ්නය වුණේ “යන්ත්‍රවලට සිතිය හැකිද…?” යන්නයි. ඊට ප්‍රතිචාර වශයෙන් “ජෝන් මැකාර්ති” විසින් කෘතිම බුද්ධිය සඳහා වූ නිර්වචනයක් 1956 වසරේදී ඉදිරිපත් කරන ලදී.

එහි එක් සංකල්පයක් අනුව කෘතිම බුද්ධිය යනු බුද්ධිමත් නියෝජිතයින් සම්බන්ධ අධ්‍යයනයන් සහ නිර්මාණයන් සිදු කිරීමයි. මෙහි බුද්ධිමත් නියෝජිතයා යනු තම පරිසරය අවබෝධ කර ගනිමින් සාර්ථකත්වය උපරිම වන පරිදි ක්‍රියාකාරීත්වයන් දැක්වීමෙහි සමත්කමක් ඇති පද්ධතීන් වේ. “ජෝන් මැකාර්ති” විසින් කෘතිම බුද්ධිය සඳහා වූ නිර්වචනය පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේදී එය “ බුද්ධිමත් නියෝජිතයින් නිර්මාණය කිරීමේ විද්‍යාව සහ ඉංජිනේරු ක්‍රියාවලිය ලෙසින් අර්ථ දැක්විය හැකියි. ඒ අනුව දැනුම (knowledge representation) නිරූපනය සහ දැනුම් (knowledge engineering) ඉංජිනේරු ශිල්පය ද කෘතිම බුද්ධිය ලෙසින් හඳුන්වා දිය හැකියි. ඒ අනුව යන්ත්‍රවලට ලබා දීමට උත්සාහ කරන ගුණාංග කීපයකි.

● දැනුම සැලසුම් කිරීම

● දැනුම සඳහා හේතු දැක්වීම.

● ඉගැන්වීම

● සන්නිවේදනය

● චින්තන විධි

● චලනය වීමේ හැකියාව

● වස්තුන් හැසිරවීමේ හැකියාව

යනාදියයි.

ඉහතින් සඳහන් කරන ලද සියල්ල සත්‍යය. එහෙත් කෘතිම බුද්ධිය නිසි පරිදි හැසිරවීමේදී යම් ප්‍රමාද දෝෂයක් ඇති වුණොත් එයිනුත් වන්දි ගෙවීමට සිදු වෙන්නේ මිනිසාට බැව් අමතක කළ යුතු නැත.

පසුගිය දිනක කොරියාවේ දකුණු South Gyeongsang කර්මාන්ත ශාලාවක එළවළු අසුරන කටයුත්තක් වෙනුවෙන් රොබෝ තාක්ෂණයේ සහයෝගය ලබා ගෙන ඇත. කෘෂිකාර්මික අපනයන කටයුතු වෙනුවෙන් නිරත Export Agricultural Complex යනුවෙන් හැඳින්වෙන මෙම සමාගම කොරියාවේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේද රොබෝ තාක්ෂණය යොදා ගෙන කටයුතු කිරීම නිසාය.

පසුගිය නොවැම්බර් 6 වැනි දින සිට එළවළු අසුරන කටයුතුවල නිරතව මෙම රොබෝ මිනිසාගේ සංවේදන හැසිරෙන රටාවේ යම් දෝෂයක් දක්නට ලැබී තිබේ. මේ අවස්ථාවේදී රොබෝ මිනිසා අපනයනය වෙනුවෙන් සූදානම් කරන ලද ඇසුරුම් පෙට්ටි අදාළ තැටියක් මත අසුරමින් සිටි බැව් එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ යොහාබ් විසින් සඳහන් කර තිබේ.

කෙසේ හෝ වේවා මෙම සංවේදන දෝෂ නිසා හදිසියේම රොබෝ විසින් පසුගිය නොවැම්බර් 8 වැනි දින මෙම සමාගමේ 40 හැවිරිදි සේවකයෙකු තදින ග්‍රහණය කර ගෙන තල්ලු කර දැමීමත් සමග ඔහු භාණ්ඩ එහා මෙහා ගෙන යන යන්ත්‍රයේ පටිය මතට වැටී ඇත. අනතුර නිසා ඔහු රෝහල් ගත කළත් දින කීපයකින් ජීවිතක්ෂයට පත් වූ බැව් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ යොහාබ් සඳහන් කළේය.

● මේ පළමු අවස්ථාව නොවේ…

රොබෝ ප්‍රහාරයට පත් පළමු සිදුවීම මෙය නොවන බැව් කොරියාවේ මෙම සමාගම සඳහන් කර තිබේ. පසුගිය මාර්තු මාසයේදීත් රොබෝ ප්‍රහාරයකින් තවත් පුද්ගලයෙකු අනතුරට පත්ව ඇත.

සැබැවින්ම කිවහොත් රොබෝ සමග ගනුදෙනු කිරීම අප සිතන තරම් සුන්දර කථාවක් නොවන බැව් දැන් සක්සුදක් සේ පැහැදිලි නොවේද…?

බී.බී.සී පුවත් ඇසුරිනි

පුණ්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment