තම වටිනා දිවිය පරදුවට තබා සැකකරු අල්ලා ගැනීමට ඔහු වතුරට පැන්නේ පිහිනීමට නොහැකි බව දැන දැනමය.

ක්‍රිෂ්ණමූර්ති පිරදාසන් යාපනය, චාවකච්චේරිය ප්‍රදේශයේ අයෙකි. යුද ගිනිදැල් නිමා වූ පසු ලද නිදහස භුක්ති විඳිමින් පාසල් අධ්‍යාපනයට සමුදී ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුනේ දහසකුත් එකක් ප්‍රාර්ථනා පොදි බැඳගෙනය. ඒ අනුව 2021 සැප්තැම්බර් මස 01 වැනිදා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙන විට ඔහු විසිතුන් වැනි වියේ පසු විය. මූලික පුහුණුවෙන් පසු හා හා පුරා කියා ඔහුට පළමු පත්වීම ලැබුණේ යාපනය පොලිස් කොට්ඨාශයටය. පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස ශ්‍රී ලංකා පොලිසියට බැඳී ටිකෙන් ටික රාජකාරිවලට හුරු වූ ඔහු 2023 සැප්තැම්බර් 01 වැනිදා කැලණිය පොලිස් කොට්ඨාශයට ස්ථිර ස්ථාන මාරුවක් ලබා 2023 සැප්තැම්බර් 09 වැනිදා ජාඇල පොලිසියට අනුයුක්ත කළේය.

මේ කියන තරුණ පොලිස් කොස්තාපල්වරයා (99033) නිර්භීතය. තරුණ ජවය මත පවරන ඕනෑම රාජකාරියක් අකුරටම ඉටු කළේ ඒ නිසාය. දිනය ඉකුත් බ්‍රහස්පතින්දාය (23) එදින එළිවූයේ මේ කියන පොලිස් කොස්තාපල්වරයාගේ රාත්‍රී රාජකාරි අවසන් කරමිනි. මේ අතරතුර ජාඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු අධිකරණයට ගෙන යෑමට නියමිතව තිබිණි. මත්කුඩු ළඟ තබාගෙන සිටීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්ව සිටි සැකකරුට මාංචුද දමා තිබිණි. සැකකරු පොලිස් ජීප් රථයට නංවා ගන්නට සූදානම් වෙද්දීම සැණින් පොලිස් අත්අඩංගුවෙන් මිදී පැන ගිය සැකකරු පොලිසියට යාබදව පිහිටි ඇළට පැන ගත්තේ මාංචු පිටිනි. මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ඇළ පිරී ඉතිරී තිබිණි. රාත්‍රී සේවා මුරය නිමකර අඩ නින්දේ සිටි ක්‍රිෂ්ණමූර්ති පිරදාසන් (26) සැණින් ක්‍රියාත්මක විය. සැකකරු පිටුපස ලුහුබඳින සහෝදර පොලිස් නිලධාරීන් තිදෙනාට එක්වූ කොස්තාපල් ක්‍රිෂ්ණමුර්ති ද දෙපාරක් නොසිතා ඇළට පැන්න සැකකරු අල්ලා ගැනීම වතුරට පැන්නේය. පිහිනීමට නොදත් ඔහු ජලයේ ගසාගෙන වරක් දෙවරක් මතු වී නොපෙනී ගියේය. මාංචු පිට වතුරට පැන ගත් සැකකරු හරි අගේට වතුරෙ පාවෙමින් පලා යද්දී සෙසු නිලධාරීන් සැකකරු යළි අල්ලා ගත්හ. නමුත් ක්‍රිෂ්ණමූර්ති අතුරුදන්ව ගොසිනි. එදිනම අතුරුදන් කොස්තාපල්වරයාගේ සිරුර සෙවීමට පොලිසිය ඇතුළු පිරිසක් ගත් වෑයම හරිගියේ නැත. මේ සටහන තබන විටත් ඔහුගේ සිරුර සොයමින් තිබිණි.

පොලිසියට බොහෝ විට එල්ල වන්නේ ගල්ය. නමුත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ද විනයගරුක, නීතිගරුක නිර්භය පොලිස් නිලධාරින් සිටින වග ද පිළිගත යුතුය. ක්‍රිෂ්ණමූර්ති පිරදාසන් ද වැටෙන්නේ ඒ හොඳ පොලිස් නිලධාරීන්ගේ ගොඩටය.

තම වටිනා දිවිය පරදුවට තබා සැකකරු අල්ලා ගැනීමට ඔහු වතුරට පැන්නේ පිහිනීමට නොහැකි බව දැන දැනමය. ශ්‍රී ලංකා පොලිස් සේවයට ගෞරවයක් ගෙන දෙමින් කටයුතු කිරීම නිසා කොස්තාපල් ක්‍රිෂ්ණමූර්ති පිරදාසන්ට සැරයන් තනතුර දක්වා උසස් වීමක් ලබාදීමට කැලණිය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිස්පතිවරයා වෙත නිර්දේශ කළේ ඒ නිසාය. ඒ අනුව රාජකාරි අතරතුර ඇළට පැන අතුරුදන් වූ කොස්තාපල්වරයා 2023.11.23 සිට ස්ථිර කොට පොලිස් සැරයන් තනතුරට උසස්වීමක් ලබාදීම නිර්දේශ කර ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවට එක් වන ඇතැමුන් නිසා පොලිසිය අපකීර්තියට පත් වූ අවස්ථා එමටය. නමුත් ශ්‍රී ලංකා පොලිසිය තුළ නීතිගරුක, විනයගරුක අවංක, අහිංසක පොලිස් නිලධාරීන් සිටින වග ක්‍රිෂ්ණමූර්ති වැනි තරුණ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාවලින් පැහැදිලි වන දෙයකි. අවිවාහක මේ තරුණ පොලිස් නිලධාරියා සිය දිවි සැරිය පරදුවට තැබුවේ පොලිස් රාජකාරිය ඉටු කරමිනි. මවත්, පියාත් සහෝදරියන් දෙදෙනා ද ක්‍රිෂ්ණමූර්තිගේ සිරුර හමුවන තුරු කඳුළු සලති. පොලිස් රාජකාරිය දේවකාරියක් කරගත් ක්‍රිෂ්ණමූර්ති පොලිස් දෙපාර්තමේන්තුවට ගෞරවයක් ඉතිරි කර අතුරුදන්ව සිටී. ඔහුට ශ්‍රී ලංකා පොලිසියේත්, සමස්ත ජනතාවගේත් උත්තමාචාරය හිමිවනු ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment