පෙර භවයේ කළ අකුසල් විපාක ජ්‍යොතිෂයෙන් දැනගන්න

197

යම් අයකු මෙලොවට බිහිවූ මොහොතේ මෙම විශ්වය තුළ පවතින ප්‍රධාන ග්‍රහ වස්තූන්ගේ බැබළීම කිනම් ආකාරයකින් තිබුණා ද යන්න පෙන්වා දෙන සටහන හෙවත් ජන්ම පත්‍රය අනුව මෙම මාතෘකාවට අදාළ කරුණු සොයා දැනගත හැකි වේ. රවි සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු යන මෙම ග්‍රහ වස්තූන් හා රාහු, කේතු, නම්වූ ඡායා ග්‍රහ දෙපළ ජන්ම පත්‍රයේ භාව දොළහේ භාව නවයක හැසිරීම් රටාව මේ සඳහා මුල්කර ගෙන සොයා බලමු.

මෙලොව උපත ලබා මනුෂ්‍යයින් වශයෙන් සිටින ස්ත්‍රී පුරුෂ කොයි කාගේත් මූලික අවශ්‍ය කාරණා අතර ඉඳුම්, හිටුම්, නිවාස, ඉඩකඩම්, ආහාර ද්‍රව්‍ය, බීම, ඇඳුම් පැලඳුම්, අධ්‍යාපනය ඥාන ශක්තිය, රැකී රක්‍ෂා කටයුතු, විවාහය, දූ දරුවන් හා විශේෂයෙන් මිල මුදල් අය මාර්ග ආදී සුබවාදීව හෝ අසුබවාදීව පිහිටීමට ඉහත කී ග්‍රහයෝ මුල්වෙති. එය අවිවාදයෙන් පිළිගත යුතුය. මෙහිදී මෙම මාතෘකාවට අදාළව පැහැදිලි කිරීමේදී ඉහත කී ග්‍රහයෝ අසුබවාදී ලෙස අප සියලු දෙනාට බලපෑම් ඇති කරන්නේ පෙර භවයේ කරන ලද නරක හැසිරීම් එනම් අකුසල් නිසා බව කිව යුතය. එසේනම් මේ සම්බන්ධ විග්‍රහය ඒ ඒ අයගේ උපන් ලග්නය අනුව බැලීමෙන් පැහැදිලි වන්නේය. විශේෂයෙන් මෙහිදී උපන් ලග්නයේ සිට භාව දොළහ ගැනම සොයා බැලිය යුතුවේ.

මේෂ- මේෂ ලග්නය හිමි අයකුගේ ලග්නාධිපති කුජ සිව්වැන්නේ යෙදී උපතින් නීච වීම පෙර භවයේ කරන ලද පාප කර්මයක ප්‍රතිඵයක් වන්නේය. පෙර ආත්මයක තමන් ඇසුරු කළ යහපත් ගුණවත් අයකුට නිතර නින්දා අපහාස කරමින් බොරු කේලාම් කියා අඹු සැමි අසමගිය ඇතිකරවීමේ පාපකර්මයක ප්‍රතිඵලයකි. මෙවැනි අයට මේ ආත්මයේ දී එම තත්ත්වයට මුහුණ දීමට සිදුවේ. සිව්වැන්න අධිපති චන්ද්‍රයා අටවැන්නේ උපතින් යෙදී නීච වීම යම්කිසි ගුණවත් යහපත් අයකු සතු ඉඩමක් නිවසක් බොරු අයිතිය පෙන්වා නඩු කියා තමන් සතුකර ගැනීමේ පාප කර්මයකි. මේ භවයේදී එවැනි අයට එම තත්ත්වයට මුහුණ දීමට සිදුවේ. තමන්ගේ නිවස ඉඩම අන් අයකුට හිමිවන්නේ නඩුවකිනි. යමෙකුගේ ජන්ම පත්‍රයේ ලග්නය මේෂ වී සෙනසුරු උපතින් 12 වැන්නේ යෙදීම නිසා කිසිම ආදායමක් රැකියාවක් නොලැබී හිඟන ජීවිතයකට පත්වේ. මෙය පෙර භවයන්හි අන් අයගේ ධනය සොරා කෑමේ විපාකයකි.

වෘෂභ- ලග්නාධිපති සිකුරු, කුජ නීච හා සතුරුවී පස්වැන්නේ උපතින් යෙදී සිටීනම් පෙර භවයේ අකුසලයකින් අධ්‍යාපන කටයුතු විනාශවී යනු ඇත. පෙර භවයකදී හොඳින් සාර්ථකව ඉගෙනීම ලැබූ දරුවකු සමග බලහත්කාරයෙන් අනියම් සබඳතාවයක් ඇතිකරගෙන අධ්‍යාපනය විනාශකර දැමීමේ පාපකර්ම විපාක දීමක් වන්නේය. සිව්වැන්නේ සෙනසුරු රාහු උපතින් යෙදී දසවැන්නේ රවි කේතු යෙදී ඇත්නම් එය පෙර භවයේ බලවත් පාපකර්මයක් පෙන්නුම් කිරීමකි. මෙවැනි අයකුට ස්ථිර නිවසක් ඉඩමක් හිමි නොවන අතර තැනින් තැන අනුන්ගේ ස්ථානවල ජීවත් වීමට සිදුවේ. පෙර ආත්මයේ හොර ඉඩම් ඔප්පු සාදා අයිතිවාසිකම් පෙන්වා බලහත්කාරයෙන් අනුන්ගේ නිවාස ඉඩම් අයිතිකර ගැනීමේ විපාක ඵලදීමකි.

මිථුන- මිථුන ලග්නය හිමි ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ උපතින් කුජ 7 වැන්නේ ද ගුරු 8 වැන්නේ ද සෙනසුරු 2 වැන්නේ ද යෙදී ඇතිනම් එම පිහිටීම පෙර භවයේ බලවත්ව අකුසලයක් කර ඇති බවට ග්‍රහ යෙදුමකි. කාම මිථ්‍යාචාරයේ හැසිරෙමින් අන් අයගේ පවුල් විනාශ කරමින් අඹු සැමි අරගල ඇති කිරීමට කේලම් බස් කියමින් හැසිරුණ නිසා මෙම ග්‍රහ තත්ත්වය ඇතිවේ. මෙවැනි ස්ත්‍රීන්ට පරුෂයන්ට මෙම මනුෂ්‍ය ආත්මයේ විවාහයක් සිදුනොවේ. සිදුවුණත් විවාහය අතරමග බිඳ වැටේ. විවාහ ජීවිතය සම්පූර්ණයෙන් නීච තත්ත්වයට පත්වේ. පෙර භවයේ යම් යම් අයගේ රැකියා කටයුතු අවුල් කරමින් කේලම් බස් කියා යම් අයකුගේ රැකියා අහිමි කරමින් සිටීම නිසා මේ ආත්මයේදී මෙවැනි අයට ස්ථිර රැකියාවක් හා ආදායම් මාර්ගයක්ද හිමි නොවේ.

කටක- කටක ලග්නය හිමි ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ ජන්ම පත්‍රයේ ලග්නයේ ශනි, රාහු,සිකුරු ග්‍රහ සංයෝගය උපතින් යෙදී තිබේ නම් එය පෙර භවයේ අකුශල කර්මයකි. විශේෂයෙන් අනුන්ගේ දේ සොරකම් කරමින් ජීවත් වූ අයෙකි. ස්ථිර වාසස්ථානයක් නැතිව තැන තැන ජීවත් වීමට මෙවැනි අයට සිදුවේ. එපමණක් නොව මේ මනුෂ්‍ය ලෝකයේදී කිසිම පිහිටක් ඔවුන්ට නොලැබේ. සමාජය තුළ ගැවසීමේදී මොවුන් හට නිතරම අප්‍රසාදය හා අන් අයගේ සැකයට නිතර භාජනය වන්නේය.

සිංහ- සිංහ ලග්නය හිමි අයකුගේ ජන්ම පත්‍රයේ උපතින් අටවැන්නේ සෙනසුරු චන්ද්‍ර සංයෝගය යෙදී හයවැන්නේ ගුරු යෙදී ඇති නම් මෙය පෙර භවයේ බලවත් අකුසල කර්ම කළ බවට ග්‍රහ යෙදුමකි. විශේෂයෙන් එළු, ගව, ඌරු ආදී සතුන්ට දස වධ දෙමින් තලා පෙලා මරා කෑමේ විපාක දෙන ග්‍රහ පිහිටීමක් වන්නේය. මෙවැනි අය මේ ආත්මයේදී දරුණු ස්නායු දුර්වලතාවයන් සමග අංශ භාග රෝගයට වයස අවුරුදු 48-49 සීමාවේදී ගොදුරුවී මළ මුත්‍රා ගොඩේ දුක් විඳිනු ඇත. මෙවැනි පුද්ගලයන්ගේ කුජ ග්‍රහයා ද දොළොස්වැන්නේ උපතින් යෙදී නම් ගේ දොර ඉඩකඩම් පවා විනාශවී යනු ඇත.

කන්‍යා- කන්‍යා ලග්නය හිමි ස්ත්‍රී හෝ පුරුෂ අයෙකුගේ සිකුරු ලග්නයේ නීච වීම හා හත්වැන්නේ බුධ නීචවී උපතින් යෙදීම පෙර භවයේ අකුසල කර්මයකි. යහපත් විවාහ ජීවිතයක් ගත කරමින් සිටි අඹු සැමි යුවළක් පෙර භවයේ කේලාම් බස් කියා විවාහ දිවිය කඩා කප්පල් කර දැමීමේ අකුසල කර්මයේ විපාක ඉහත ග්‍රහ තත්ත්වයෙන් පෙන්නුම් කෙරේ. මෙම ග්‍රහ පිහිටීම අනුව මනුෂ්‍ය ආත්මයක් ලබා සිටින මේ භවයේදී මොවුන්ගේද විවාහය ඒ ආකාරයෙන්ම අවුල්වී විනාශවී යනු ඇත. මෙම ග්‍රහ පිහිටීම යෙදීමෙන් විවාහය අවුල්වී ගිය ස්ත්‍රීන් හා පුරුෂයින් අද සමාජයේ බොහෝ සිටිති.

තුලා- තුලා ලග්නයේ සිකුරු 10 වැන්නේ කටකයේ උපතින් යෙදීමත් චන්ද්‍රයා සෙනසුරු සමග දෙවැන්නේ වෘශ්චික රාශියේ උපතින් යෙදීමත් අනුව පෙර භවයේ යම් රැකියාවක යෙදී සිටින අතර තුර ඒ ඒ අයගේ අඩු පාඩු සොයමින් ප්‍රධානීන්ට කේලාම් බස් පැවසීම නිසා අනෙකුත් අය අතරේ අසමගිය ඇති කර රැකියාවට ගැටලු ඇති කිරීමේ කර්ම ඵල විපාක පෙන්නුම් කිරීමකි. මේ මනුෂ්‍ය ආත්මයේදී මොහුටද යම් ස්ථානයක සමූහයක් අතරේ රැකියාවක් කිරීම අපහසුවේ. රැකියාව අහිමි වේ.

වෘශ්චික- වෘශ්චික ලග්නය හිමි ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ රාහු උපතින් ලග්නයේම යෙදී ඇතිනම් බොරු කපටි සම්මාදම්කාරයෙකි. මෙවැනි අයගේ ලග්නාධිපති කුජ එකොළොස්වැන්නේ යෙදී ඇත. පූජනීය ස්ථානයක් ඉදිකිරීම හෝ වෙනයම් පූජනීය පිනැති වැඩක් සම්බන්ධව පවසමින් විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සම්මාදම් මුදල් එකතු කිරීම මෙවැනි ග්‍රහ පිහිටීම් මත සිදුවේය. මෙය පෙර භවයේද කර ඇත. අන් අය මුලාකර මුදල් කඩා ගැනීමට මෙවැනි අය අති දක්‍ෂවේ. කෙසේ නමුත් මෙවැනි අයගේ ජන්ම පත්‍රයේ උපතින් චන්ද්‍රයා අටවැන්නේ සිටී. ඒ අනුව ගෝචරයෙන් සෙනසුරු 8 වැන්නට ආ දවසට වසර දෙක හමාරක් ඇතුළත මෙහි විපාකය නොඅඩුව ලැබෙන්නේ පිට ප්‍රදේශයකදී මහමග පණ ඇද කිසි කෙනෙකු නොමැතිව සුනඛයෙක් මෙන් මිය යෑමය.

ධනු- ධනු ලග්නය හිමියෙකුගේ ලග්නාධිපති ගුරු සෙනසුරු උපතින් දොළොස්වැන්නේ යෙදුනොත් එයද පෙර භවයේ කරන ලද අකුසලයක් පෙන්නුම් කිරීමකි. තමන්ගේ ජීවිතය කාලය තුළ ඉඩ කඩම් නිවාස දේපළ සම්බන්ධ නඩුවක් තම ඥාතීන්ගෙන් ඉදිරිපත්වී අවසානයේ නඩුවෙන් සියලු දේපළ අහිමි වෙනවා ඇත. පෙර භවයේ අනුන්ගේ හෝ තම ඥාතීන් සතු දේපළක් බලහත්කාරයෙන් අයිතිකර ගැනීමේ පාප කර්මයක් ඒ ආකාරයෙන් විපාක දෙනු ඇත. අටවැන්න හිමි චන්ද්‍රයා ද ල්ගනයේ උපතින් යෙදී මෙම අකුසල විපාකය සිදුවේ.

මකර- මකර ලග්නය හිමි ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ ලග්නාධිපති සෙනසුරු උපතින් අටවැන්නේද චන්ද්‍රයා කේතු සමග ලග්නයේද රාහු හත්වැන්නේද යෙදි ඇතිනම් පෙර භවයේ අකුසලයකි. මෙවැනි අයගේ විවාහය අවුල් වන අතර ලෙඩ රෝග ද සීමාවක් නැත. පෙර භවයේ ළා බාල ස්ත්‍රියක් බොරු පොරොන්දුවකින් මුලාකර ජීවිතයම අ තරමං කර ඇත. එම විපාකය මෙම ආත්මයේදී නොඅඩුව ලබා දෙන්නේ අධික දුක දීමෙනි.

කුම්භ- කුම්භ ලග්නය හිමි ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ කුජ 8 වැන්නේ උපතින් යෙදීම ඉතා අසුබවේ. පෙර භවයකදී පියාට අනතුරු කිරීම හා සහෝදරයන් සමග ගැටුම් ඇති කර අනතුරු කිරීම නිසා එය මේ ආත්මයේ පෙන්නුම් කිරීමකි. ඒ අතරම පෙර භවයේ පුරුෂයෙක් නම් තම භාර්්‍යාව මරා දැමූ අයෙකි. ස්ත්‍රියක් නම් තම ස්වාමිපුරුෂයා මරා දැමූ අයෙකි. මෙම ආත්මයේ එම විපාකයට එවැනි ස්ත්‍රීන්ට පුරුෂයන්ට සිදුවේ. එම අකුසල විපාකයෙන් කිසිදා බේරීමක් නැත.

මීන- මීන ලග්නයට අධිපති ගුරු 11 වැන්නේ මකර රාශියේද බුධ ලග්නයේද උපතින් යෙදුනේ නම් එම ස්ත්‍රිය හෝ පුරුෂයා වචන කතා කිරීමේදී ගොළු ස්වභාවයක් පැටලිලි ගතියක් ඇතිවේ. මෙය පෙර ආත්මයේ කරන ලද අකුසල විපාකයකි. කුකුළන් ආදී සතුන් ගෙල මිරිකා තදකර මරණයට පත් කිරීම, ගොළුවන්ට විහිළු කිරීම යම් අයකුගේ මුඛයට පාංකඩ ඔබා මරණයට පත් කිරීම ආදියට මේ ආත්මයේදී ඒ සඳහා විපාකය ගෙන දෙයි.

මා මෙතෙක් විස්තර කරන ලද කරුණු අනුව යම් අයෙක් පෙර භවයේ කරන ලද අකුසල් කර්ම විපාක ජ්‍යොතිෂයෙන් නියමාකාරව පැහැදිලි වෙන බව මෙයින් පෙන්වා දෙමි.

ජ්‍යෝතිර්වේදී ජේ. ගුණපාල
170, පාදුක්ක පාර,
අරමණාගොල්ල, හොරණ

advertistmentadvertistment
advertistmentadvertistment