පොලිෂ්කර නැතත් හොඳට පොලිෂ් වී ඇති ටිරාන් අලස්ගේ පොලිසි කතාව

1129

ගම්පොල පිහිටි පෞද්ගලික බැංකුවකට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් එහි සවිකර තිබූ ATM යන්ත්‍රය එහෙම පිටින්ම ගලවා වෑන් එකක පටවාගෙන යෑමේ පුවත මේ දිනවල ඉතා ප්‍රසිද්ධව පවතී. පැහැරගෙන යන අවස්ථාවේදී ATM යන්ත්‍රය තුළ රුපියල් හැත්තෑ හය ලක්ෂයක් තිබිණ. සාමාන්‍යයෙන් බැංකු හොරුන් වෙනදාට කරන්නේ බැංකුවට කඩා වැදී එහි කාර්ය මණ්ඩලයට වෙඩි තබා කවුන්ටර්වල ලාච්චු කඩා සල්ලි පැහැර ගැනීමයි. මේ මගින් මිනිස් ජීවිතවලටත් කවුන්ටර්වලටත් හානි සිදුවේ. අලුත් ක්‍රමයට අනුව ATM යන්ත්‍රය ගෙඩිය පිටින්ම ගලවාගෙන යෑමේදී මිනිස් ජීවිතවලටත් කවුන්ටර්වලටත් හානියක් නොවේ. ශ්‍රී ලංකාවේ සොරුන් අද මෙවැනි ක්‍රමයක් අනුගමනය කරනවා නම් හෙට එම ක්‍රමයේම ඊළඟ දියුණු පියවර වශයෙන් බැංකුවට කඩාවැදී එහි ප්‍රධාන මුදල් සේප්පුව ලොරියක පටවාගෙන යනවා ඇත. සාමාන්‍යයෙන් බැංකුවල මුදල් සේප්පු බිත්තියටම සවිකර තිබේ. ඒවා ගැලවීමට නොහැක. එවිට බිත්තියෙන් පදාසයක්ද කඩාගෙන සේප්පුවත් සමගම ලොරියට පටවාගත යුතුය. මේ සඳහා Fork Lift එකක් හෝ දොඹකරයක් අවශ්‍යය. මෙහිදී ද බැංකුවේ බිත්තියට පමණක් හානි සිදුවන අතර පැහැරගන්නා සේප්පුවට පවා හානියක් සිදුවන්නේ නැත.

මෙහි තුන්වන පියවර වශයෙන් සොරුන්ට තවත් අලුත් අදහසක් ඇතිවීමට ඉඩ තිබේ. ඒ වූකලී බැංකු ගොඩනැගිල්ල පිටින්ම ගෙන යාමය. මෙයට මාස කිහිපයකට පෙර කිසියම් දේශපාලනඥයකුගේ අනුග්‍රහය ලැබූ පුද්ගලයෙක් විශාල සඳගලක් ලොරියක පටවාගෙන තවමත් හඳුනාගෙන නැති තැනකට ගෙන ගියේය. සඳගලක් යනු සඳකඩ පහණේ ඡායා අනුරුවක් සහිත ටොන් 15 හෝ 20 ක් බර විශාල ගල් ගෙඩියකි. මේ ගල් ගෙඩිය සමහරවිට අවුරුදු 2000 ක් පමණ පැරණිය. මීළඟ දවසේදී මේ කට්ටිය මිහින්තලය හෝ සීගිරිය වුව ගලවාගෙන යෑමට ඉඩ තිබේ. අද සොරකම යනු තාක්ෂණික මෙවලම්වලින් සන්නද්ධ වූ මහා පරිමාන කර්මාන්තයකි. ගම්පොළ සල්ලි මැෂිම ඉස්සූ හොර නඩය මේ කතුවැකිය ලියන මොහොත වන විටත් අසුවී තිබුණේ නැත. පසුගිය කාලයේදී මේ රටේදී සිදුවූ හොරකම් වැඩි ප්‍රමාණයක් අල්ලා ගැනීමට පොලිසියට බැරි විය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුවූ ආකාරය අදටත් අභිරහසකි. ඔහුගේ මරණය සිදුවුණේ හදවත නැවතීමෙන් බව පමණක් පොලිසිය දන්නා බව පෙනේ. ශ්‍රී ලංකාවේ පොලිසියද ඉතාම නිවට නියාලු දියාරු ස්වරූපයකට පත්ව තිබේ. දුප්පත් මිනිහකු පැමිණිල්ලක් කිරීමට ගිය විට පොලිසිය එම පැමිණිල්ල භාරගන්නේ නැත.

විශේෂයෙන්ම දේශපාලනඥයකු හෝ ධනවතකු සම්බන්ධ වූ කුණු කේස් එකකට අදාළ පැමිණිල්ලක් නම් එය කිසිසේත්ම භාර නොගෙන විවිධ බයිලා ගායනා කරමින් පැමිණිලිකරුට ජීවිතය එපා කරවීම සඳහා පොලිසිය විශාල උත්සාහයක් ගනී. මත් ද්‍රව්‍යය සහ පාතාලය මැඬලීම පොලිසියේ Target එක විය යුතු බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් පසුගිය දිනක කියන ලදී. මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීහු පන්සීයකට වැඩි ප්‍රමාණයක් එතැන සිටියහ. ජාවාරම්කරුවන්ගෙන් හැම්පර් නොගන්නා ලෙසත් ටිරාන් අලස් ඒ මොහොතේදී පොලිසියෙන් ඉල්ලා සිටියේය. මත්ද්‍රව්‍යය සහ පාතාලය මැඬලීම පොලිසියේ Target එක විය යුතු බවට ටිරාන් කියූ කියමන කෙරෙහි කිසිදු හබයක් අප තුළ නැත. හැබැයි පොලිසියේ පළමුවන Target එක විය යුත්තේ තමන් පොලිසියේ බව කල්පනා කිරීමට හිත හදා ගැනීමය. මේ රටේ පොලිස් නිලධාරීන් වැඩිහරියක් කල්පනා කරන්නේ තමන් රජයේ ආයතනයක නොව පුද්ගලික security agency යක සේවකයන් බවය. මේ නිසා අනවශ්‍ය කේස්වලට නොපැටලී මහපාරේ ගුටි කෙළියක් යනවිට අහක බලාගෙන ගොස් තම අත පයත් බේරාගෙන රස්සාවත් බේරාගෙන ශේප් එකේ ජීවත් වීමට පොලිසියේ වැඩිදෙනා කැමතිය. එයට ප්‍රමුඛ හේතුව වන්නේ සාමාන්‍ය පොලිස් නිලධාරියකුගේ වැටුප ඉතාම පහත මට්ටමක පැවතීමය. දෙකයි පනහට රස්සාව නැතිකර ගැනීමටත් තුනයි පනහට මැරුම් කෑමටත් කවුරුත් කැමති නැත.

අපට එක් කාරණයක් අමතක විය. එනම් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ඉහත සඳහන් කතාව සුහුරු පාය ශ්‍රවණාගාරයේදී පැවති පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණයකදී පැවසූ බවය. ටිරාන් අලස් මොනවා කිව්වත් කුඩ්ඩන්ගෙන් හෝ ජාවාරම්කාරයන්ගෙන් හැම්පර් ගැනීම නැවැත්වීමට පොලිසියට බැරිය. පොලිස් රාජකාරිය යනු පැය 24 සහ දවස් 365 රාජකාරියකි. මේ රාජකාරියේදී පොලිස් නිලධාරීන්ට නිවාඩු ලැබෙන්නේ ඔවුන්ගේම නෑකමට නොව පොලිසියේ ඕනෑකමටය. එසේම ඇතැම් පොලිස් ප්‍රධානීහු ඉතා නින්දිත සහ තුච්ඡ වන සත්තු වෙති. උන් සාමාන්‍ය ජනතාවට කතා කරන්නේ තිරිසන් සතුන්ට කතා කරන විලාසයෙනි. ඇතැම් පොලිස් නිලධාරීහු ගෙදරට අවශ්‍ය ගෘහ භාණ්ඩ ටී. වී, ශීතකරණ යනාදිය අල්ලස් වශයෙන් ඉල්ලා සිටිති. මෙය ඇතැම් භික්ෂුන් වහන්සේගේ දානේ ලැයිස්තුව වැනිය. ඇතැම් පන්සල්වලට දානයක් දෙන්නට ගිය විට දිය යුතු දානයේ කෙසේ විය යුතුද යන්න දක්වන බඩු ලිස්ට් එකක් දායක දායිකාවන්ට දෙනු ලැබේ. උයන ලද කජු, බැදපු තෝර මාළු, වටලප්පම් හෝ කැරමල් පුඩින්, තම්බපු බිත්තර යනාදිය මේ ලිස්ට්වල තිබේ. එවිට දානය දීමට එන පුද්ගලයා මහත් අමාරුවකට වැටේ. පොලිසිය විසින් ලැබෙන පගාව පිළිගැනීමට පුරුදු විය යුතු අතර අහවල් දේ පගාව වශයෙන් තමන්ට අවශ්‍ය යැයි කීමෙන් වැළකිය යුතු බව අපි විශ්වාස කරමු. පොලිසිය හොඳට ආහාර ගතයුතු බවත් ලස්සනට ඇඳිය යුතු බවත් විනෝද ගමන් යා යුතු බවත් අපි විශ්වාස කරමු. එහෙත් ඔවුන් මේවා කළයුත්තේ තමන්ගේ වියදමින් මිස සැකකරුවන්ගේ හෝ විත්ති කරුවන්ගේ වියදමින් නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment