සිරියාවේ භූමිකම්පාවේ සුන්බුන් අතර උපත ලැබූ දැරියට නව මවක්

551

සති දෙකකට පෙර තුර්කි – සිරියා දේශසීමාවේ සිදු වූ දරුණු භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන්වලට යට වී සිටියදී උපත ලැබ සිය මියගිය මවගේ පෙකණි වැලට සම්බන්ධ වී සිටියදී සොයා ගත් දැරිය හදා වඩා ගැනීම සඳහා ඇයගේ නැන්දණිය හා මාමා විසින් භාරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. සිරියාවේ භූමිකම්පාව සිදු වූ ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන්වලට යට වී දරුණු ලෙස තුවාල වී සිටියදී සහන කණ්ඩායම් විසින් සොයා ගත් මෙම දැරිය මුලින් “අයා” ලෙස නම් කර තිබුණද මේ වන විට ඇයට සිය මවගේ නම වන “අෆ්රා” යන නම තබා තිබේ.

මෙම දැරිය සුන්බුන් අතරින් ගොඩගෙන රෝහල්ගත කිරීමෙන් පසු සමාජ මාධ්‍ය ජාලවල මෙම පුවත පළ වීමත් සමගම දහස් ගණනක් දෙනා එම දැරිය හදා වඩා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබුණු අතර අවසානයේ දැරියගේ ලේ ඥාති නැන්දණියක් හා මාමා කෙනකු දැරියව නිල වශයෙන් හදා වඩා ගැනීමට ලබාගෙන තිබේ. එහිදී දැරිය හා පවතින සිය ලේ ඥාතිත්වය නැන්දණිය විසින් ඩීඑන්ඒ පරීක්ෂණයකදී තහවුරු කර තිබේ . දැරියව හදා වඩා ගැනීමට භාරගත් ඇයගේ නැන්දණියගේ සැමියා වන කලීල් අල් සවාඩි විසින් විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ “අෆ්රා” ද දැන් තමන්ගේ ළමයෙකු බවයි. දැරිය මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව වාර්තා වී තිබේ. ඇයගේ දෙමවුපියන් හා පවුලේ සියල්ල භූමිකම්පාවෙන් මිය ගොස් ඇති බව තහවුරු වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment