විනාශකාරී බලය මගින් ප්‍රජාතන්ත්‍රවාදය සමතලා කරයි ද?

262

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වැනි දිනට පැවැත්වීම පිළිබඳ තවමත් නිශ්චිත අදහසක් ප්‍රකාශ කළ නොහැක. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද මැතිවරණය කල්දමා ගැනීමේ මෙහෙයුමට යටත් වීමට මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවාට සිදුවී තිබේ. මැතිවරණ කටයුතු වෙනුවෙන් සිදු කරන ලද සියලු ක්‍රියාමාර්ග අත්හැර දැමීමට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකට සිදුව තිබෙන අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සිදුවී තිබෙන්නේ එම කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමට ය. මේ වනවිටත් ඔහු සිය නීතිඥ සාලිය පීරිස් මහතා මගින් ඒ කාර්ය ද ඉටුකර ඇත. මෝසමක් මගින් කරන ලද ඒ දැනුම් දීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රතිචාරය ප්‍රකාශ වීමට තිබේ. එසේම මාර්තු 09 වැනිදා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන තීරණය මෙම 20 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත තිබුණ. එහෙත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥයන් විසින් කරන ලද ඉල්ලීමට අනුව එම තීන්දුව ප්‍රකාශයට පත් වන්නේ ද ලබන 23 වැනි දිනට ය. එනම් හෙට දිනට ය. කුමක් වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත එම තීණ්දුව නිසැකයෙන් ම ඓතිහාසික එකක් වනු ඇත.

ජනාධිපති රනිල් මේ වනවිට රටට ප්‍රකාශ කර ඇත්තේ රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වීමෙන් පසුව ලබන වසරේ දී ජනතාවට තම අභිමතය පරිදි අවශ්‍ය දේශපාලන වෙනස්කම් සිදුකර ගැනීමට පසුබිම සැකසෙනු ඇති බවය. ජනාධිපතිවරයා පසුගිය දිනක රටට ප්‍රකාශ කළේ තමාගේ ප්‍රමුඛතාව පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රටේ ආර්ථික අර්බුදය විසඳීම කෙරෙහි යොමුව තිබෙන බව ය. එය ප්‍රබල අවධාරණයක් වන්නා සේම මේ වසරේ කවර ආකාරයක හෝ මැතිවරණයක් නොපැවැත්වෙන බව තහවුරු කිරීමක් ද වේ. මෙය බැලූ බැල්මට පමණක් නොව, ගැඹුරින් විමර්ශනය කරන විට ද අතිශය වැදගත් තීන්දුවක් බව නිසැක ය. එහෙත් ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයාගේ තනි මතයට, නැතහොත් අභිමතය පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතියක් වෙනස් කළ හැකි ද යන්නයි.

විනාශකාරී බලය මගින් ප්‍රජාතන්ත්‍රවාදය සමතලා කරයි ද?

ආණ්ඩුව විසින් මෙම පළාත් පාලන මැතිවරණයට බාධා කරන බවට චෝදනා කරමින්, විපක්‍ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ ද නියමිත පරිදි එම මැතිවරණය සිදු කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීණ්දුවක් ලබාගැනීමට ය. එහෙත් එහි දී මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා විසින් තහවුරු කරන ලද්දේ මැතිවරණ ක්‍රියාදාමය දිගට ම සිදු කෙරෙන බවය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට තීණ්දුවක් ලබාදීමේ අවශ්‍යතාවක් නොවීය. එම මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයට ද පැහැදිලි විය. එනිසා මැතිවරණය හා සම්බන්ධ තීන්දුවක් නොදීම ද ඉතා නිවැරැදි ය.

මැතිවරණය පැවැත්වීම නිශ්චිත වසයෙන්ම මාර්තු 09 වැනිදාට සිදුවන බවට විපක්‍ෂ කණ්ඩායම් පුන පුනා ප්‍රකාශ කළේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රතිචාරයත් මැතිවරණ කොමසාරිස් පුංචිහේවාගේ සහතිකයත් පදනම් කර ගනිමින්ය. එහෙත් ආණ්ඩුව වෙනුවෙන් භාණ්ඩාගාරයේ ලේකම් දිවුරුම් පෙත්සමකින් ප්‍රකාශ කළේ මැතිවරණය සඳහා මුදල් ලබාදීමේ දුෂ්කරතාවක් තිබෙන බව ය. රාජ්‍ය මුදල් පිළිබඳ සත්‍ය කුමක් ද යන්න නිශ්චිතව ම ඇත්තේ මුදල් ඇමැතිවරයාත් ඔහුගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ය. මුදල් ඇමතිවරයා වන්නේ ද ජනාධිපති රනිල්ම ය. එනිසා ඔහු විසින් රාජ්‍ය මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන අනාවරණයන් ආවාට ගියාට ප්‍රතික්‍ෂේප කිරීමට ද ඉඩක් නැත.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ බොහෝ නායකයන් මෙන්ම ජනාධිපති උපදේශකයන් හා ජනාධිපති මාධ්‍ය අංශය ද මෙම මැතිවරණයට බාධා කරන බවට විවෘත චෝදනාවක් විපක්‍ෂයෙන් ඉදිරිපත්ව තිබෙන්නේ ද නිකම්ම නොවේ. ඒ සඳහා ඉතා සියුම් මෙහෙයුම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව ද රහසක් නොවේ. අපට පෙනී යන ආකාරයට ඒ සඳහා ජනාධිපතිවරයාගේ ආශිර්වාදය තිබුණි. එහෙත් ඔහු මුල සිට ම ඒ සඳහා අනුගමනය කළ කිසියම් සටකපට ක්‍රමවේදයක් ගැන විපක්‍ෂ වේදිකාවල දැඩිව අවධාරණය කළ කරුණක් ද විය. ඇත්ත වසයෙන් ම ජනාධිපතිවරයාට තිබෙන්නේ දේශපාලන අභියෝගයකැයි අපට හැඟේ. කුමක් වුවත් ඔහු තමන්ට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරූපයට හානි නොවන මෙහෙයුම් පිළිබඳව උනන්දු විය. ඔහු කිසි විටෙක එම මැතිවරණ ක්‍රියාදාමය වළක්වාලන නීතිමය නියෝග නිකුත් කළේ නැත. ඔහුට අවශ්‍ය වූයේ ඒ මැතිවරණ මෙහෙයුමේ නායකයන් දුර්වල කිරීමකි. ඔහු මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර එකඟතාවක් නැති බව පෙන්වා දීමට ක්‍රියාකළ බව කවුරුත් දනිති.

මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවාට අවශ්‍ය වූයේ මැතිවරණ ක්‍රියාවලිය පවත්වා තම වගකීම ඉටුකිරීමට වුවද එහි සාමාජිකා පී. එස්. එම්. චාල්ස්ගේ භූමිකාව ආණ්ඩුවේ අපේක්‍ෂාවට අනුබලයක් විය. ඇය සිය කැමැත්තෙන් ඉල්ලා අස්වූ බවට ප්‍රචාරයක් ද පැතිර ගියේය. අනතුරුව වාර්තා වූයේ ජනාධිපතිවරයා වෙත එවන ලද ඇගේ ඉල්ලා අස්වීම භාර ගෙන නොමැති බවය. මේ අතර ඇගේ දේශපාලන සබඳතා හෙළිවිය. ඇය ගෝඨාභය ජනාධිපතිවරයාගේ තෝරා ගැනීමක් බව හෙළි වීම නිසා ඇගේ ප්‍රතිචාර ඉබේ ම ඇණහිටි බව ද පෙනුණි. එහෙත් අනතුරුව කරළියට ආවේ රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ක්‍රියාන්විතයයි. එය චාල්ස්ට වඩා සාර්ථක ප්‍රතිඵල ලබාදුන්නකි. පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය භාර වූයේ ඇය යටතේ තිබෙන රජයේ මුද්‍රණාලයට ය. තැපැල් ඡන්දය නියමිත පරිදි පැවැත්වීමට නොහැකිව ඒ කටයුතු කල් දැමීමට හේතු වූයේ ඇගේ ක්‍රියාකාරකම් නිසා ය. මුලදී ඇය කතා කළේ මුදල් ප්‍රතිපාදන ගැනය. පසුව ඇය ප්‍රකාශ කළේ ඒ කාර්ය සඳහා අවශ්‍ය ආරක්‍ෂාව නැති බවය. එසේම ඇගේ කරුණු දැක්වීම් බොහෝ අයගේ විවේචනයට ද ලක් විය. අවසානයේ දී ඇය එදා එ.ජා.ප. රාජ්‍ය ඇමැතිවරයකු වූ රංගේ බණ්ඩාර සමග සමීපව ක්‍රියා කරමින් එම තනතුර ලබාගත් බව සමාජ දේශපාලන අංශවල ප්‍රචාරය විය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ පළමු අභියෝගයට මැතිවරණ කොමිසමට මුහුණ දීමට සිදු වූයේත් තැපැල් ඡන්ද විමසීම දින නොමැතිව කල් දැමීමට හේතු වූයේත් ඒ සිදුවීම් බව නිසැකය. ඇත්ත වසයෙන් ම මෙම කාන්තාවන් දේශපාලනිකව භාවිත කිරීම ගැන ආණ්ඩුවට විපක්‍ෂයෙන් දැඩි චෝදනා එල්ල විය. මෙරටේ ස්වාධීන කොමිසම් ගැන මෙන්ම ඒවාට පත්වන අය ගැන ද අපට කිව හැක්කේ කුමක්ද? ව්‍යවස්ථානුකූලව සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කෙබඳු වුවත් මේ ස්වාධීන කොමිෂන් යනු බලයේ සිටින ආණ්ඩුවල හා පුද්ගලයන් අත නැටවෙන රූකඩ බවට පත් වී නොතිබේ ද? කලාතුරකින් ඒ දේශපාලන අත පෙවීම්වලට කීකරු නොවන ස්වල්ප දෙනෙක් සිටිය හැකි වෙති. එහෙත් මේ සිදුවීම් පෙළගස්වා බලන ප්‍රබුද්ධ පුරවැසියකු තුළ ඇතිවන්නේ මේ කුජීත දේශපාලනයෙන් රට මුදාගැනීමට විධිමත් හා ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානවල අවශ්‍යතාවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇතිකළ මැතිවරණ කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට ආණ්ඩුව ඉඩ නොදුන් බවට කෙරෙන චෝදනාව අපට ද බැහැර කළ නොහැකිය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය දේශපාලන බලයෙන් ආක්‍රමණය කිරීමකි. මහජන වරමකින් බලය ලබාගන්නා දේශපාලනඥයන්ට එයට පිටුපා අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම නිසා අත්වී තිබෙන විපාක ඉතිහාසයෙහි සඳහන්ව තිබුණත් ඔව්හු ඒ බලය අභ්‍යාස කිරීමේ මනදොලකින් ආතුර වූවෝදැයි විටෙක හැඟේ. මැතිවරණ කල් දැමීමේ චූදිතයන් බවට පත්ව තම පක්‍ෂවල ගෞරවය හා ප්‍රජාතන්ත්‍රවාදී අභිමානය කෙලෙසා ගැනීම පිළිබඳ එජාපය හා ශ්‍රී.ල.නි.ප යන පාර්ශ්ව දෙකට ම අපකීර්තිමත් වාර්තා තිබේ. විශේෂයෙන් ජයවර්ධනගේ විධායක ක්‍රමය ඒ වාර්තා අලුත් කිරීමට පමණක් නොව, නීතියට උඩින් වැජඹීමට ද දුන් මහා බලයක් විය. සැබැවින් ම සිරිමාවන්ගේ යුගයට වඩා ජයවර්ධන යුගය ඒ අතින් බිහිසුණු හා ජුගස්සාජනක ද විය. මහින්ද රාජපක්‍ෂට ද ඒ අධිපති මානසිකත්වය තිබුණි. දැන් රනිල්ට විධායක බලය පැවරූ රාජපක්‍ෂවරුන් ඔහුට දිරි දෙන්නේත් ඒ විනාශකාරී බලය මගින් ප්‍රජාතන්ත්‍රවාදය සමතලා කිරීමට ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා උද්යෝගයෙන් ක්‍රියාකළ ව්‍යවස්ථාදායකය බලගැන්වීමේ ක්‍රියාන්විතය දැන් ඔහු විසින් ම අමතක කරනු ලැබ තිබේ ද? ඔහු මෙම පළාත් පාලන මැතිවරණයට බාධා කරන්නේ එදා ජේ. ආර්. ජයවර්ධන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ආකාරයට මැතිවරණ සිතියම හකුළා දමන බව නිවේදනය කරමින් නොවුවද සිදුවන්නේ එයම නොවේ ද? මහා භාණ්ඩාගාරයටත්, රජයේ මුද්‍රණාලයටත් මෙම මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවාට ඉල්ලා සිටිය හැකිය. ඒ කටයුතුවලට ආරක්‍ෂාව ලබාදෙන්නැයි පොලිස්පතිවරයාට ද දැන්විය හැකිය. එහෙත් ඒ කිසිම නිලධාරියකුට මෙන්ම ඔවුන් යටතේ තිබෙන කිසිදු ආයතනයකට වුවද තමන්ගේ නිත්‍යානුකූල භාරකාරත්වය හිමි බලධාරියා වන ජනාධිපතිවරයාට පිටින් කිසිම දෙයක් කළ නොහැකි බවද අපි දනිමු. ආරක්‍ෂක හා මුදල් යන අමාත්‍යාංශ දෙකම භාර වූ විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒවායේ යතුරු සාක්කුවේ දමාගෙන සිටින බලවතා ද වේ.

ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ නොකීවත් ‘අප මේ ඡන්දය ගන්නවා’ යැයි මොර දෙන විපක්‍ෂයට යටි සිතින් සිනාසෙනු ඇතැයි ද ‘ඔහේලා ඡන්දෙ අරගත්තා දැයි’ නිහඬව විමසනවා දැයි යන වගක් අපිට කිව නොහැක. එහෙත් මෙතෙක් සිදුව ඇත්තේ ඡන්දය එපා යැයි පැවසූ අයගේ ජයග්‍රහණයක් බව නම් පැහැදිලි ය. ජනාධිපතිවරයා ජනතාවට ප්‍රකාශ කළේ තමන්ට පක්‍ෂ දේශපාලනයක් නැති බවය. පාර්ලිමේන්තුවේ තමාට ඇත්තේ එක මන්ත්‍රී ධුරයක් පමණක් බවය. ජනාධිපති ලෙස මා නියෝජනය කරන්නේ මුළු රටේ ම ජනතාව බවද ඔහු ප්‍රකාශ කර තිබේ. එහෙත් අද සිදුවන්නේ ඒ ජනතා අභිලාෂයට එරෙහි වූ දේශපාලනයක් නොවේ ද? විපක්‍ෂයේ ප්‍රමුඛයන් පවසන ආකාරයට ම නුදුරු අනාගතයේ දී එළැඹෙන මහා මැතිවරණයක්, ජනාධිපතිවරණයක් කල් දැමීමට ඔහු ක්‍රියා කළහොත් සිදුවිය හැක්කේ කුමක් ද? මෙම පළාත් පාලන මැතිවරණයෙහි හරයාත්මක වටිනාකමට උඩින් පැන, එය අඩුවෙන් තක්සේරු කරන ජනාධිපතිවරයාගේ අනුකාරක මැති ඇමැතිවරුන් පිළිබඳව කතා කිරීම පවා නිෂ්ඵලය.

එදා රාජපක්‍ෂවරුන්ගේ මානසිකත්වයෙන් සියල්ල දුටු ඔවුන් අද ජනාධිපති රනිල්ගේ කණ්ණාඩියෙන් ඇත්ත යුත්ත දැකීම පුදුමයක් නොවේ. දින කීපයකට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කීවේ මේ රට වැනසූ හොරුන්, තක්කඩීන් වටකරගෙන සිටින ජනාධිපති රනිල්ට හොරකම්, දූෂණ නැවැත්විය නොහැකි බවය. ඇත්ත වසයෙන් ම ගෝඨාභය පාලනය යටතේ පවා සිදුවූ හොරකම් දූෂණ ගැන තවම චෝදනා නැඟෙයි. සීනි ජාවාරම්, තෙල් වංචා බදු කපාහැරීම් ආදියෙන් භාණ්ඩාගාරයට අහිමි වූ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් දැක්වේ. කුණු පොහොර නැව්වලට ද ජනතා මුදල් ගෙවා ඇත. ඒ සියලු අලාභ පාඩු විඳදරාගෙන සිය ජීවිතයේ අමිහිරි හා අප්‍රසන්න අත්දැකීම්වලින් පීඩිතව අද බහුතර ජනතාවකට කල් ගෙවීමට සිදුව තිබේ. ප්‍රභූ පාලනයකැයි සම්මත දූෂිත දේශපාලන කඳවුරක සෙවණ යට රටක ආර්ථිකය වැනසූ පිසාචයන්ට තවමත් යෙහෙන් වැජඹීමට ද හැකි වී තිබේ. ඒ රාජපක්‍ෂ කඳවුරේ ගැලවුම්කාරයා යන අවලාදය අද රනිල්ට එල්ල වෙයි. ඇත්ත වසයෙන්ම ඔහු කැපවන්නේ ගරාවැටෙන පවුල් පාලනයේ මුක්කුවක් වීමට නොව මේ රට යළි ගොඩනඟා නීතිය යුක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටය යන අදහස ජනහදට කාවැද්දීමට ජනාධිපති රනිල්ට හැකි වුවහොත් ඔහුගේ නම ඉතිහාසයේ දිදුලන ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවාදී නායකයා ලෙස සටහන් වීමට ද ඉඩ තිබේ. එහෙත් අද සිදුවන්නේ කුමක්ද?

ජනාධිපති රනිල්ගේ මැතිවරණ කල්දැමීමේ ප්‍රකාශය මෙන්ම ආර්ථික අර්බුදය සම්බන්ධ විග්‍රහ පිළිබඳවද දැන් විවිධ විවේචන නැඟෙයි. ඊයේ (20) ස.ජ.බ. විරෝධතාවක් ද කොළඹ දී සිදුවිය. සජිත් ප්‍රමුඛ නායකයන්ට පොලිසියේ විරෝධතා එල්ල වුවද උද්ඝෝෂණකරුවන් විසුරුවාලිය නොහැකි වූ බවද පෙනුණි. මේ විරෝධතා වැඩෙනු මිස නොනවතිනු ඇතැයි සිතිය නොහැක. මුළු රට ම නැති වුවත් සෑහෙන පිරිසක් මෙහි දී විපක්‍ෂවලට සහය පළකරනු ඇතැයි ද කල්පනා කළ හැකිය.

කෙසේ හෝ ලබන 23 වැනිදා (හෙට) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණය පිළිබඳ සිය තීන්දුව ප්‍රකාශ කරනු ඇත. මැතිවරණ කොමිසමේ සභාපතිගේ මෝසම ගැන ද එහිදී අවධානය යොමු කර එම තීණ්දුව ද ප්‍රකාශයට පත් වනු ඇතැයි සිතිය හැකිය. මෙයින් පසු සමාජ – දේශපාලන අංශවලින් ලැබෙන ප්‍රතිචාර කෙබඳු විය හැකිදැයි අපට ප්‍රකාශ කළ නොහැක. කුමක් වුවත් සිවිල් සංවිධාන හා මැතිවරණ නිරීක්‍ෂකයන් අවධාරණය කරන්නේ පළාත් පාලන මැතිවරණය යනු ජනතාවගේ අයිතියක් නිසා එයට බාධා සිදු නොකළ යුතු බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට ඒ බලය දේශපාලනිකව භාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව ඔව්හු එකහෙළාම පවසති. සියල්ල යහපත් ලෙස අවසන් විය යුතු බව යුක්තිගරුක පුරවැසියන්ගේ ප්‍රාර්ථනාවය. වරක් චීනයේ අසහාය නායක මාවෝ සේතුං ප්‍රකාශ කළ අදහසකින්ම බදාදා ලියැවිල්ල අවසන් කරමු.

“ඕනෑම අයෙකුට රෝසමල් සහමුලින් වුවද විනාශ කළ හැකිය. එහෙත් වසන්තය යළි උදාවනු නැවැත්විය හැකි ජගත්හු සිටිත් ද?’

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment