ශෙලෙස්මාවට ප්‍රතිකාර

424

පූජ්‍ය ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවන් වහන්සේට ලැබුණු බෙහෙත් වට්ටෝරු පොත් අතර වටිනාම පොත් කිහිපය අයත්ව තිබුණේ මහවලතැන්න වලව්වේ රටේ මහත්මයා වූ එස්. ඞී. මහවලතැන්න මහතාටය. මහවලතැන්නවරු රත්වත්තේ පරම්පරාවේ ආදිතමයෝ වෙති. මේ පරම්පරාව සිය නිජභූමියකොට ගත්තේ බළංගොඩ ප‍්‍රදේශයයි. බළංගොඩ වූ කලී අදටත් ශ‍්‍රී ලංකාවේ පිරිසිදුම ඔක්සිජන් වායුව සහිත ප‍්‍රදේශයව පවතී.

 පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවන් විසින් එක්රැස්කර ගැටපද විවරණය කර සංස්කරණය කෙරුණු බෙහෙත් වට්ටෝරු දහස් ගණනකි. ඒවායින් සමහරක් පොත් වශයෙන් මුද්‍රණද්වාරයෙන් ද නිකුත් වී ඇති අතර, තවත් කොටසක් අප‍්‍රකාශිතව සුරක්‍ෂිතව පවතී.

 ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ වට්ටෝරු අතුරින් මෙම සතියේ අවධානයට ලක්වන්නේ ස්වර භේදයට සහ ශෙලෙස්මාවට ප‍්‍රතිකාර ලෙස යොදා ගන්නා බෙහෙත් වට්ටෝරුය.

 * ශෙලෙස්මාවට බෙහෙත්

නික කොළ යුෂ හා දෙහි ඇඹුල් සමව ගෙන දෙඋලක්කුවට කකාරා තුන් දිනක් දෙන්න. කලක සිට තිබූ සෙම පහව යයි. වංඇපල කොළ දහසයක් පින්නෙන් උයා යුෂ ගෙන එම පමණට තල තෙල් යොදා වගපුල් සුනු කළඳක් එක්කර දෙන්න. සෙම නැති වේ. මිරිස්, වගපුල්, කොතඹුරු, සිද්දි`ගුරු, අරළු, හෙළලූනු උණු වතුරින් කල්ක අඹරා මී පැණියෙන් අනා දෙන්න. සියලූම ශෙලෙස්මා සුව වේ. සස්සඳ මුල්, වගපුල්, සිද්දි`ගුරු, අරළු සම සේ අඹරා මී පැණියෙන් දෙන්න. එනසාල්, අරළු, අසමෝදගම්, කපුරු, කොට්ටන්, කරාබු, කුරුඳුපොතු, සවින්දව ලූණු, වද, තිකුළු, සිවිය මේ සියල්ල සම සේ ගෙන කුඩුකර, මීපැණියෙන් බීමට දෙන්න. බෙල්ල ආශ‍්‍රිත බලවත් සෙම් හා වායු කාස රෝග ද සුවපත් වේ.

 හෙළලූනු, වගපුල්, කොතඹුරු, මිරිස්, අරළු අඹරා උණුවතුරින් දෙන්න. සෙම් රෝග පහව යයි.

 * මුඛයට නිතර කෙළ ඉනීම හෙවත් ප‍්‍රශේකයට

 අරළු, තිකුළු යන මේවා හෝ බෙලි, මිරිස්, සිද්දි`ගුරු යන මෙයින් හෝ කකාරා කසාය කර දෙන්න.කාසශ්වාස ප‍්‍රශේක කළුරෝග මලබද්ද යනාදිය නසයි.සවින්දව, සුදුදුරු, තිකුළු චූර්ණය මී පැණියෙන් හෝ කොල්ලූ කසායෙන් දෙන්න. කාසශ්වාස ප‍්‍රශේක ගුණ වේ.

 * ලේහයක්

 වරා මුල් කළං අටයි, තිප්පිලි කළං හතරයි, එනසාල් කළං දෙකයි, කුරුඳු පොතු කළඳයි ගෙන අඹරා චූර්ණ කර සීනි දහසය කළඳක් මිශ‍්‍රකොට අනා සුරැකිව තබා මී පැණියෙන් හෝ ගිතෙලෙන් හෝ දවසට තුන් කළඳ බැගින් ලේහ කොට කෑමට දෙන්න. ස්වර භේද, ක්‍ෂය රෝග, කාසශ්වාස, රුජා ශෙලෙස්මා යන මේ ආදී රෝගයන්ට ගුණ වේ.

 * නශ්‍යයක්

 බැවිල, කටුවැල්බටු, වගපුල්, එළබටු, වැල්මී, පොඬරු යන මේවා සමව ගෙන කල්ක කොට කල්කයෙන් සතර ගුණයක් එලඟිතෙල්, ගිතෙලට සමව එළකිරි වත්කොට සිද්ධ කළ ගිතෙල් නශ්‍ය කරනු. ස්වර භේදයට ගුණදායකය.

 * කඩහඬ ඇති වීමට

 ඉස වෙවුලූම් හා වෙවුලූම් ගුණ වී සතියෙන් කඩහඬ ඇතිවීමට ඇඹුලපල පතක් දිය නැලියක් වත්කොට සිඳ උලක්කුවක දමා මී උලක්කුවක් එක් කොට පානය කිරීමට දෙන්න.

 * හික්කා ස්වර භේදයට

 කිඳි, සිද්දි`ගුරු, තුවර, පුස්වැන්න. කටුවැල්බටු, වගපුල්, කරඹෙබිය, සිරිතේක්කු කසාය මී පැණි මිශ‍්‍රව දෙන්න. ස්වර භේද හික්කා ශ්වාස ගුණ වේ.

 * කිඳුරු හඬ ඇතිවීමට

 වද, සිද්දි`ගුරු, බැමිතිරිය මුල්, වගපුල්, සවින්දව ලූණු මී පැණියෙන් සතියක් දෙන්න. කිඳුරු ලියක හඬ මෙන් ඇසේ.

 * අරුචි ස්වර භේදයට

 සිවිය, කරාබු, එනසාල්, සියඹලා මඩ, බැමිතිරිය, දුරු, තල. රත්නිටුල් සමභාග කුඩු කොට ත‍්‍රිසුගන්ධි චූර්ණය මඳක් මිශ‍්‍රකර උක්සකුරු හා දෙන්න. ස්වර භේද, පීනස, සෙම් අරුචි නසා ගුණ වේ.

 සංස්කරණය – හර්ෂණ අමරසේකර

balangoda2
advertistmentadvertistment
advertistmentadvertistment